සීමා මායිම් බිඳිමින් සිහිනය ජය ගත් Sadasivam Kalaiyarasi

766
Sadasivam Kalaiyarasi (වමේ) සහ පුහුණුකරු Jeevarathinam Priyadharshan (දකුණේ)

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට ඇතුළත් වූ පළමු දමිල ක්‍රීඩිකාව බවට පත්වීමට කිලිනොච්චියේ උපත ලැබූ Sadasivam Kalaiyarasi හට පසුගිය දා හැකි වුනා.

30 වසරක ඊලාම් යුද්ධයෙන් බැට කෑ උතුරු පළාතේ කිලිනොච්චි දිස්ත්‍රික්කයේ උපත ලැබූ Sadasivam Kalaiyarasi කුඩා කළ සිට විවිධ බාධකවලට මුහුණ දුන්නත්, ඇයගේ පියා නිසා ඇය ක්‍රිකට් ක්‍රීඩාවට විශාල ලෙස ආදරය කළා.

එම නිසාවෙන් ක්‍රිකට් ක්‍රීඩා කිරීමට පෙලඹී ඇයගේ ප්‍රධානතම සිහිනය වුනේ ජාතික කණ්ඩායමකට වරම් දිනා ගැනීමයි.

“මගේ තාත්තා තමයි මට ක්‍රිකට්වලට උනන්දුව ඇති කළේ වගේම මට ඒකට සහයෝගය දුන්නේ. අද මම මේ තැන ඉන්නේ මගේ තාත්තා නිසයි”,  Kalaiyarasi ප්‍රකාශ කළා.

දැඩි ක්‍රිකට් ලෝලියෙකු වූ Kalaiyarasiගේ පියා ඇයව කුඩා කළ සිටම ක්‍රිකට් තරග නැරඹීමට රැගෙන ගොස් තිබූ අතර ඇය ද හොඳින් ක්‍රීඩා කරනු දැකීමෙන් පසුව Jeevarathinam Priyadharshan මහතාගේ මගපෙන්වීම යටතේ පුහුණුවීම් අරඹා තිබුණා.

සිය ගෝලයෙකු වූ Sadasivam Kalaiyarasi පිළිබඳව අදහස් දක්වමින් Jeevarathinam Priyadharshan මහතා ප්‍රකාශ කළේ,

“ඇය ඉතාමත් ප්‍රබල වේගපන්දු යවන්නියක්. ඇයගේ පන්දු යැවීම ස්ථාවරයි වගේම විශ්වාස කළ හැකියි. ඒ වගේම මෑත කාලයේ දී ඇයගේ පිතිකරණයත් ගොඩක් දියුණු වෙලා තියෙනවා. ටික දවසකට කලින් පැවති කලාපීය තරගයක දී ඇය හයේ පහරවල් හතක් එල්ල කළා”.

ඇයව අවුරුදු 19න් පහළ තාවකාලික සංචිතයට තෝරාගත් පුවත ඇයගේ 16 වැනි උපන්දිනයට මසකට පෙර ඇසීමට ලැබුණු අතර ඇයට කෙසේ හෝ අවසන් සංචිතයට ඇතුළත් වීමට ලැබුණහොත් වසර තුනක ඉතා වටිනා පුහුණුවක් ලබා ගැනීමට ඇයට හැකි වනවා.

ඇයගේ ඉදිරිය පිළිබඳව අදහස් දක්වමින් ඇගේ පුහුණුකරු Jeevarathinam Priyadharshan ප්‍රකාශ කළේ ඇය මේ වන විටත් ලකුණුවලින් ඉදිරියෙන් සිටින නිසාවෙන් ඇය නිසැකයෙන්ම අවසන් සංචිතයට පැමිණෙන බවයි.

වත්මන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු Kalaiyarasiගේ ක්‍රිකට් ලොව වීරවරිය වන අතර ඇය මෙන් ක්‍රීඩා කිරීම තමන්ගේ හීනය බව Kalaiyarasi ප්‍රකාශ කළා.

“අපගේ සමාජයේ ගෑනු දරුවෙක්ට ක්‍රීඩාවෙන් ඉදිරියට යන්න ගෙදරින් උදව් ලැබෙන අවස්ථාවන් ගොඩක් අඩුයි. නමුත් Kalaiyarasiගේ දෙමව්පියන් ගොඩක් වෙනස්”, යැයි ඇයගේ පුහුණුකරු වැඩි දුරටත් ප්‍රකාශ කළා.

Kalaiyarasi පියා කෘෂිකාර්මික ගොවිපළක වැඩ කරමින් නිවසේ කටයුතු මෙන්ම ඇයගේ බාල සොහොයුරන් දෙදෙනාගේ වැඩ කටයුතු සිදු කරන අතර ඇයගේ මව මීට මාස 07කට පෙර විදෙස්ගතව ඇත.

ඇයගේ මව ගෘහ සේවිකාවක් ලෙස කටයුතු කරමින් සිය දියණියගේ ක්‍රීඩා කටයුතුවලට උපකාර කරන අතර Kalaiyarasiට ද මෑතක් වනතුරු හොඳ පාවහන් යුගලයක් නොමැත. එමෙන්ම ඇය දැනට ද තුන් වේලක් ආහාර අනුභව කරන්නේ ඉතාමත් කලාතුරකින්.

“මම උදෑසනම පුහුණුවීම් සඳහා යන විට මගේ තාත්තට එයාගේ වැඩත් එක්ක උයලා ඉවර කරන්නේ ලැබෙන්නේ නැහැ. ඒ නිසා මම ආහාර ගන්නේ හවස 4ට පමණ නැවතත් ගෙදරට පැමිණි පසුවයි.

මොන දේ වුනත් ඔහු මට උපරිම සහයෝගය දෙනවා. සමහර වෙලාවට මම කොට කලිසම් අදින එක ගැන මගේ ගමේ අය විවිධ අදහස් දක්වනවා. ඒත් මගේ තාත්තා කෙල්ලෝ කරන්න ඕනේ නැත්තේ මොනාද කියලා කවදාවත් කියලා නැහැ. එයාට සල්ලි තියෙන හැම වෙලේම මට කලිසමක් ගෙනල්ලා දෙනවා”, යැයි Kalaiyarasi ප්‍රකාශ කළා.

දරිද්‍රතාව, සමාජ තත්වය ඇතුළු අර්බුද රාශියක් ජය ගනිමින් ක්‍රීඩාවෙන් ඉදිරියට යෑමට වෙර දරන Sadasivam Kalaiyarasi හට එම සියලු අභියෝග ජය ගනිමින් තමන්ගේ ඉලක්කයට යාමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවායි ThePapare.com අපගේ ප්‍රාර්ථනාවයි.

The Hindu පුවත්පත ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<