IPL කණ්ඩායම් Play-Off යන්නේ මෙහෙමයි

IPL 2023

3618

මෙවර IPL තරගාවලියේ මූලික වටය අවසන් වීමට තවත් දින කිහිපයක් ඉතිරි වී ඇති නමුත් තවමත් කිසිදු කණ්ඩායමක් නිල වශයෙන් Play-Off තරග වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වී නැහැ.

මේ වන විට IPL ලකුණු සටහනේ ලකුණු 16ක් සමඟින් පෙරමුණේ පසුවීමට Gujarat Titans සමත් වී ඇති අතර, ඔවුන්ට මූලික වටයේ තවත් තරග දෙකක් ඉතිරි ව පවතිනවා. නමුත් ඔවුන් එම තරග දෙක ම පරාජය වුවහොත් සහ ඔවුන්ගේ දල ලකුණු වේගය (Net Run Rate) අසාමාන්‍ය ලෙස පහත බැස්ස හොත්, මෙවර තරගාවලියේ ඉදිරි වටයට යෑමේ අවස්ථාව පවා ඔවුන්ට අහිමි වීමට ඉඩ තිබෙනවා.

එමෙන් ම ඊයේ (13) Punjab Kings හමුවේ ලද පරාජයෙන් පසුව Delhi Capitals කණ්ඩායමේ Play-Off බලාපොරොත්තු නම් සම්පූර්ණයෙන් ම නිමා වුනා. නමුත් ඉතිරි කණ්ඩායම් 9ම තවමත් ඉදිරි වටයට පිවිසීමේ බලාපොරොත්තු සහිතවයි තරගාවලියේ රැඳී සිටින්නේ.

මෙහි දී Royal Challengers Bangalore සහ Sunrisers Hyderabad කණ්ඩායම් දෙකට පමණක් තවත් තරග 3 බැගින් ඉතිරි ව ඇති අතර අනෙක් සෑම කණ්ඩායමකට ම ඉතිරි ව ඇත්තේ තරග 2 බැගිනුයි.

එම නිසා ම අද (14) දිනයේ පටන් මෙවර IPL තරගාවලියේ පැවැත්වීමට නියමිත සෑම තරගයක ම ප්‍රතිඵලය මෙම ලකුණු සටහනේ කණ්ඩායම්වල අවසන් ස්ථානය තීරණය කිරීමට තීරණාත්මක ලෙස බලපානු ඇති බව විශ්වාස කළ හැකි.

පහතින් දැක්වෙන්නේ මෙවර තරගාවලියේ Play-Off තරග වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට කණ්ඩායම්වලට ඇති අවස්ථා පිළිබඳ සරල පැහැදිලි කිරීමක්.

Gujarat Titans (ලකුණු – 16)

මේ වන විට ලකුණු සටහනේ අංක 1 රැඳී සිටින Gujarat Titans කණ්ඩායමට ඉතිරි ව ඇති තරග දෙකෙන් එකක් ජයග්‍රහණය කිරීමට සමත් වුවහොත් ඔවුන්ට Play-Off වටය සඳහා නිල වශයෙන් ම සුදුසුකම් ලබා ගැනීමට හැකියාව පවතිනවා.

Chennai Super Kings (ලකුණු – 15)

Chennai කණ්ඩායමට ද අද දිනයේ Kolkata Knight Riders සමඟ පැවැත්වෙන තරගය ජයග්‍රහණය කිරීම මඟින් Play-Off තරග වටයට නිල වශයෙන් පිවිසීමේ අවස්ථාව (KKR සමඟ තරගය පරාජය වුවහොත් DC සමඟ තරගය ජයග්‍රහණය කළ යුතුයි) පවතිනවා. එමෙන් ම ඔවුන්ට ඉතිරි ව ඇති තරග දෙක ම ජයග්‍රහණය කිරීමට හැකි වුවහොත් ලකුණු සටහනේ මුල් ස්ථාන දෙකෙන් එක් ස්ථානයක් හිමිකර ගැනීමට ද හැකියාව පවතිනවා.

Mumbai Indians (ලකුණු – 14)

මේ වන විට ලකුණු සටහනේ තෙවැනි ස්ථානයේ රැඳී සිටින Mumbai Indians කණ්ඩායමට ඉතිරි ව ඇති තරග දෙක ම ජයග්‍රහණය කළ හැකි නම් ඉදිරි වටය සඳහා සැකයකින් තොරව ම සුදුසුකම් ලැබිය හැකි. නමුත් ඔවුන් එක් තරගයක් පමණක් ජයග්‍රහණය කළහොත් ඔවුන්ට සිය දල ලකුණු වේගය මෙන් ම අනෙක් කණ්ඩායම් පිළිබඳව ද සැලකිලිමත් ව සිටීමට සිදු වනවා.

Lucknow Super Giants (ලකුණු – 13)

ඊයේ Sunrisers කණ්ඩායමට එරෙහිව ලද විශිෂ්ට ජයග්‍රහණය නිසා ලකුණු සටහනේ සිව්වැනි ස්ථානය තෙක් ඉදිරියට පැමිණීමට Lucknow සමත් වුනා. එමෙන් ම ඔවුන්ට ඉතිරි ව ඇති තරග දෙක ම ජයග්‍රහණය කිරීමට හැකියාව ලැබුණහොත් කිසිදු ගැටලුවකින් තොරව ම ඉදිරි වටය සඳහා පිවිසීමට ඉඩ කඩ පවතිනවා. නමුත් ඔවුන් ඉන් එක් තරගයක් පමණක් ජයග්‍රහණය කළහොත් ඔවුන්ට අනෙක් කණ්ඩායම්වල ඉදිරි ගමන පිළිබඳ සැලකිලිමත් වීමට සිදු වනවා.

එමෙන් ම ඉහත සඳහන් කළ ලකුණු තත්ව යටතේ ලබන 16 (අඟහරුවාදා) Mumbai Indians සහ Lucknow Super Giants කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිත තරගය ඉතාමත් තීරණාත්මක එකක් වනු ඇති බව අනුමාන කළ හැකි.

එම තරගය විසඳුමක් සහිත ව අවසන් වුවහොත් එමගින් මෙම කණ්ඩායම් දෙකෙන් එකක ඉදිරි ගමන තරමක් අවිනිශ්චිත තත්වයකට පත් වීමට ඉඩ කඩ පවතිනවා.

එමෙන් ම එම තරගයෙන් තීරණයක් ලැබීම ලකුණු සටහනේ සිව්වැනි ස්ථානයෙන් යට සිටින අනෙක් කණ්ඩායම්වලට ද මහත් අස්වැසිල්ලක් අත් කරනු ඇති.

මේ වන විට ලකුණු සටහනේ 5, 6සහ 7වැනි ස්ථානවල රැඳී සිටින කණ්ඩායම් විසින් (Rajasthan Royals, Punjab Kings සහ Royal Challengers Bangalore) තමන්ට ඉතිරි ව ඇති සියලු ම තරග ජයග්‍රහණය කළහොත් ලකුණු 16 බැගින් ලබා ගැනීමට හැකියාව පවතිනවා.

නමුත් ඔවුන්ට ඉදිරි වටයට පිවිසීමට අවස්ථාව හිමිවනවා ද, නැද්ද යන කරුණ තවමත් අවිනිශ්චිත තත්වයක පවතින අතර, ඉදිරි සතියේ දී පැවැත්වෙන තරගවලින් ලැබෙන ප්‍රතිඵල අනුව ඒවා පිළිබඳ අවසන් තීරණයක් ලබා ගැනීමට හැකියාවක් ලැබේවී.

උදාහරණයක් ලෙස Rajasthan Royals කණ්ඩායමට ක්‍රීඩා කිරීමට ඇති ඉතිරි තරග දෙක Punjab Kings සහ Royal Challengers Bangalore කණ්ඩායම් සමඟ පැවැත්වීමට නියමිත අතර, ඔවුන් එම තරග දෙක ම ජයග්‍රහණය කළහොත් සහ Mumbai Indians- Lucknow Super Giants තරගය තීරණයක් සහිත ව අවසන් වීම මගින් Rajasthan කණ්ඩායමට ලකුණු සටහනේ සිව්වැනි ස්ථානයට පත්වීමේ හැකියාව පවතිනවා.

එම නිසා අද දිනයේ Chennai-Kolkata ගැටුමට අමතර ව පැවැත්වීමට නියමිත Rajasthan Royals – Royal Challengers Bangalore කණ්ඩායම් අතර තරගය ද අතිශය උණුසුම් ස්වභාවයක් ගනු ඇති බව විශ්වාස කළ හැකි.

එමෙන් ම එම උණුසුම් තරග සජීවී ව නැරඹීමේ අවස්ථාව ද ThePapare.com වෙතින් ඔබට හිමි වී තිබෙනවා. IPL උණුසුම විඳ ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟින්.

ESPN cricinfo සහ Sportskeeda ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<