ක්‍රිකට් ආයතනයෙන් ජාතික ක්‍රීඩා අරමුදලට පරිත්‍යාගයක්

171

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ජාතික ක්‍රීඩා අරමුදලට රුපියල් මිලියන 120ක මුදලක් පරිත්‍යාග කිරීමට කටයුතු කර තිබෙනවා.

මෙම වසරේ ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර මෙරට දී පැවති තරගාවලියේ දී ප්‍රවේශපත් අලෙවියෙන් ලැබූ මුදල් එලෙස පරිත්‍යාග කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබුණා.

මෙරට සියලු ක්‍රීඩාවෙහි දියුණුව ඉලක්ක කර ගනිමිනුයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එම පරිත්‍යාගය සිදු කර තිබෙන්නේ.

ඕස්ට්‍රේලියානු කණ්ඩායම මෙම වසරේ ජුනි සහ ජූලි මාසවල දී මෙරට දීර්ඝ සංචාරයක නිරත වූ අතර එහි දී ඔවුන් ටෙස්ට් තරග දෙකක්, එක්දින තරග පහක් සහ විස්සයි තරග තුනකට සහභාගී වුනා.

එම තරගාවලියේ ප්‍රවේශපත් අලෙවියෙන් ලැබූ මුදල ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි ද සිල්වා සහ අනෙකුත් සාමාජිකයින්ගේ මුලපිරීමකට අනුව ජාතික ක්‍රීඩා අරමුදලට ලබා දී ඇති අතර එම මුදල නොවැම්බර් 03 වැනිදා ක්‍රීඩා අමාත්‍යංශයට ලබා දී තිබුණා.

මෙය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ජාතික ක්‍රීඩා අරමුදලට මුදල් ලබා දුන් පළමු අවස්ථාව නොවන අතර ඔවුන් මීට පෙර ද රුපියල් මිලියන 100ක මුදලක් ජාතික ක්‍රීඩා අරමුදලට මෙම වසරේ දී ලබා දුන්නා.

එමෙන්ම ඔවුන් මෙම වසරේ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායමට රුපියල් මිලියන 22.5ක මුදලක් ලබා දීමට කටයුතු කළ අතර ඔවුන් ආසියානු දැල්පන්දු ශූරතාවය දිනා ගත් දැල්පන්දු කණ්ඩායමට රුපියල් මිලියන 36ක් (එක් අයෙකුට මිලියන 2 බැගින්) මුදලක් ලබා දුන්නා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<