Prabshimran සහ Harpreet දිල්ලිය තරගාවලියෙන් එළියට ඇද දමයි

225
Credit : BCCI

2023 Indian Premiere League ක්‍රිකට් තරගාවලියේ පස්වැනි ශතකයට හිමිකම් කියන්නට ඊයේ (13) Punjab Kings ආරම්භක පිතිකරු Prabshimran Singh සමත් වුනා.

ඔහුගේ ඉනිම නිසාම අභියෝගාත්මක ලකුණු පුවරුවක් ගොඩ නගා ගැනීමට හැකි වුනු Punjab කණ්ඩායම අවසානයේ Harpreet Brarගේ පන්දුකරණයේ උදව්වෙන් Delhi Capitals පහසුවෙන්ම පරාජය කරමින් ඔවුන්ව තරගාවලියෙන්ම ඉවත් කර දැමුවා.

වැඩි දිල්ලි ප්‍රේක්ෂක සහභාගිත්වයක් යටතේ පැවති තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට Delhi Capitals සමත් වූ අතර මුලින් පන්දුවට පහර දීමට Punjab Kings කණ්ඩායමට ඇරයුම් කිරීමට ඔවුන් තීරණය කළා.

තරග කිහිපයකට පසු පසුගිය තරගයේ දී කණ්ඩායම සමඟ එක්වී කිසිදු ලකුණක් ලබා ගැනීමට අපොහොසත් වූ භානුක රාජපක්ෂ ඊයේ නැවතත් Punjab කණ්ඩායමෙන් ඉවත් කර තිබුණා.

ඉනිම ඇරඹූ Punjab කණ්ඩායමේ මුල් කඩුලු 3ම පවර්ප්ලේ අවස්ථාව අවසන් වීමට පෙරම දැවී ගියා. ඒ ලකුණු 45කටයි. මේ අතරේ 22 හැවිරිදි ආරම්භක පිතිකරු Prabshimran Singh එක් අන්තයක තනි වී කල් මැරුවේ නව පන්දුව Punjab කණ්ඩායමට දැඩි තර්ජයනයක් එල්ල කළ නිසයි. පසුව එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක Sam Curran සමඟ එක්වී තුන්වැනි කඩුල්ලට අර්ධ ශතක සබඳතාවයක් ගොඩ නැගීමට ඔහු කටයුතු කළේ Punjab ඉනිම නැවතත් ස්ථාවර කරමින්.

පසුව තම ප්‍රහාරක වේගය තවදුරටත් ඉහළ දමා ගත් මෙම යොවුන් දකුණත් පිතිකරුවා පන්දු 65කට පමණක් මුහුණ දෙමින් ලකුණු 103ක් රැස් කළා. ඒ හතරේ පහර 10ක් සහ දැවැන්ත හයේ පහර 6ක් එල්ල කරමින්.

අවසානයේ පන්දුව අතට ගත් Mukesh Kumar මෙම අපූරු ශතක ලාභීයාව පිටියෙන් ඉවත් කරන්නේ ස්කූප් පහරක් වැරදී යාමට සලස්වමින්. Sam Curran ලකුණු 20ක් ලබා ගත්තේ පන්දු 24කට මුහුණ දෙමින්.

කෙසේ නමුත් වෙනදාට වඩා පිතිකරුවන්ට අවම සහයක් දැක්වූ තණතිල්ලක Prabshimran ලබා ගත් මෙම ශතකය මෙවර තරගාවලියේ අනෙක් ශතකවලට වඩා වැදගත්කමක් උසුලන බව සඳහන් කළ යුතුයි. Prabshimran තනිව ලකුණු 103ක් ලබා ගනිද්දී, සෙසු සියලු පිතිකරුවන් ඇතුළු Punjab Kings කණ්ඩායම ම ලකුණු 167කට සීමා වීමත් ඔහුගේ ඉනිමේ සුවිශේෂීත්වය කියා පානවා.

මීට අමතරව නැවතත් කණ්ඩායම සමඟ එක්වූ Sikandar Raza ඉනිමේ අවසන් කොටසේ දී පන්දු 7කින් නොදැවී ලකුණු 11ක් රැස් කළා. පන්දු යැවීමේ දී Ishant Sharma නැවතත් දස්කම් අතරට පිවිසියේ ලකුණු 27කට කඩුලු 2ක් දවා ගනිමින්. පන්දුවාර 20 අවසන් වන විට ඔවුන් කඩුලු 7කට ලකුණු 167ක් ලබා ගැනීම මෙම ක්‍රීඩාංගණයේ තරගයක් ලබා දීමට අවශ්‍ය අවම ලකුණ ලෙසට විචාරකයින් මත පළ කළා.

වෙනදාට පහසුවෙන් හඹා යන මෙවන් ලකුණු සංඛ්‍යා ඊයේ දිනයේ මෙම තණතිල්ලේ හඹා යාම Delhi Capitals කණ්ඩායමට පහසු වුනේ නැහැ. ඔවුන් මුල් කඩුල්ලටම ලකුණු 69ක් එක් කළත්, පසුව ඔවුන්ගේ මැදපෙළ දරුණු කඩා වැටීමකට ලක්වුනා. ඒ සුපුරුදු පරිදි ඔවුන්ගේ නායකයා මෙන්ම ආරම්භක පිතිකරුවා ද වන David Warner අර්ධ ශතකයක් රැස් කළ ද, අනෙක් කිසිදු පිතිකරුවෙක් ඒ ආසන්නයටවත් ලඟා වීමට අපොහොසත් වීම නිසයි.

පන්දු 27ක් පමණක් වැයවුනු Warnerගේ සුපිරි ප්‍රහාරයට හතරේ පහර 10ක් සහ එක් හයේ පහරක් ඇතුළත් වුනා. අනෙක් අන්‍තයෙන් ඉනිම ඇරඹූ Philip Salt පන්දු 17කට මුහුණ දී රැස් කළේ ලකුණු 21ක් පමණයි. තම පළමු පන්දුවාරයේ දී ම ලකුණු 13ක් ලබා දුන් Harpreet Brar පසුව වැටුණු තැනින් නැගිට එමින් ඔහුව පිටියෙන් ඉවත් කළා. ඕස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩක Mitchell Marshට ලබා ගැනීමට හැකි වුනේ ලකුණු 3ක් පමණයි.

පසුගිය තරගවල දී දිල්ලියේ මැදපෙළ තුරුම්පුව බවට පත්වූ Rilee Rossouw ලකුණු 5කට පිටියෙන් ඉවත් කරන්නට නැවතත් ක්‍රියාත්මක වූ Harpreet Brar සමත් වුනේ පන්ජාබයට නැවතත් තරගය තුල හොඳ අවස්ථාවක් නිර්මාණය කරමින්. එතකින් නොනැවතුනු ඔහු අර්ධ ශතකලාභී David Warner සහ Manish Pandey පිටියෙන් ඉවත් කරන්නේ Delhi ඉනිම ලකුණු 88ට කඩුලු 6ක් බවට පරිවර්තනය කරමින්.

ඉනිමේ අවසන් කොටසේ දී Delhi පසුපෙළ පිතිකරුවන් කෙටි ඉනිම් කිහිපයක් ක්‍රීඩා කිරීම නිසා මුළු ලකුණු සංඛ්‍යාව 136ක් දක්වා ඉහළ නැගුන ද, Panjab අවසන් ඉලක්කය අසලකටවත් ළඟා වන්නට ඔවුන්ට හැකි වුනේ නැහැ. මේ නිසා Punjab Kings කණ්ඩායමට ලකුණු 31ක පහසු ජයක් හිමි වුනා. පන්දු යැවීමේ දී විශිෂ්ට දස්කම් දැක්වූ 27 හැවිරිදි වමත් දඟපන්දු යවන Harpreet Brar ලකුණු 30කට කඩුලු 4ක් බිඳ හෙළුවා.

Panjab Kings – කඩුලු 7ක් දැවී ලකුණු 167 (පන්දුවාර 20): Prabshimran Singh 103, Sam Curren 20, Sikandar Raza 11*, Ishant Sharma 2/27, Mukesh Kumar 1 /3, Praveen Dubey 1/19, Axar Patel 1/27.

Delhi Capitals – කඩුලු 8ක් දැවී ලකුණු 136 (පන්දුවාර 20): David Warner 54, Philip Salt 21, Aman Hakim Khan 16, Praveen Dubey 16, Kuldeep Yadav 10*, Harpreet Brar 4/30, Rahul Chahar 2/16, Nathan Ellis 2/26.

තරගයේ වීරයා සම්මානය හිමි වුනේ විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් ඉතා කුඩා ලකුණු සංඛ්‍යාවකින් අවසන් වන්නට තිබූ Punjab ඉනිම ඉහළට ඔසවා තැබූ Prabshimran Singhටයි.

ඊයේ ලැබූ පරාජයත් සමඟින් Delhi Capitals කණ්ඩායමට තරගාවලියේ මීලඟ වටයට පිවිසීමේ අවස්ථාවත් ගිලිහී ගියා. තරග 12කට මුහුණ දී සිටින ඔවුන් මේ දක්වාම ලබාගෙන ඇත්තේ ජයග්‍රහණ 4ක් පමණයි.

Indian Premiere League ක්‍රිකට් තරගාවලියේ Rajastan Royals සහ Royal Challengers Bangalore කණ්ඩායම් අතර තරගය අද (14) සවස 3.30ටත්, Chennai Super Kings සහ Kolkata Knight Riders කණ්ඩායම් අතර තරගය අද රාත්‍රී 7.30ටත් ආරම්භ වනවා. බොහෝ දුරට මෙම තරග ද්විත්වයට වනිඳු හසරංග, මතීෂ පතිරණ සහ මහීෂ් තීක්ෂණ සහභාගි වනු ඇති.

තරගාවලියේ උණුසුම සජීවීව විඳ ගැනීමට රැඳී සිටින්න ThePapare.com වෙබ් අඩවිය සමඟින්ම!

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<