දැල්පන්දු ලෝක කුසලානයේ සිංහ සලකුණ

Netball World Cup 2023

2683
Netball World Cup 2023

හෙට (28) දිනයේ පටන් දකුණු අප්‍රිකාවේ දී ආරම්භ වීමට නියමිත 16 වැනි දැල්පන්දු ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ද  කණ්ඩායමක් එකතු වෙනවා. 

ක්‍රීඩිකාවන් 12 දෙනෙකුගෙන් සමන්විත මෙම කණ්ඩායම මෙවර තරගාවලිය වෙනුවෙන් සහභාගී වෙන්නේ ශ්‍රී ලංකාව විසින් දැල්පන්දු ලෝක කුසලාන ඉතිහාසයේ සහභාගී වෙන 11 වැනි තරගාවලිය ලෙසයි. 

වසර 60ක් තරම් දුර අතීතයක් ඇති දැල්පන්දු ලෝක කුසලාන ඉතිහාසයේ 16 වතාවක් මෙම ලෝක කුසලාන තරගාවලිය පැවැත්වී ඇති අතර ඒ අතරින් එකොළොස් වතාවක් හෝ ඊට වැඩි අවස්ථා ගණනක දී දැල්පන්දු ලෝක කුසලානය නියෝජනය කිරීමේ අවස්ථාව උදා වී ඇත්තේ රටවල් 10කට පමණයි. ශ්‍රී ලංකාවත් ඒ රටවල් 10 අතරට එක් වීම විශේෂත්වයක්. 

History of netball world cup and netballමෙතෙක් දැල්පන්දු ලෝක කුසලාන ඉතිහාසයේ ශ්‍රී ලංකාව විසින් දක්වපු විශිෂ්ටතම දක්ෂතාව තමයි ආරම්භක ලෝක කුසලාන තරගාවලියේ දී රටවල් එකොළහක් අතරින් 09 වැනි ස්ථානය ජයග්‍රහණය කිරීම. 

ඒ හා සමාන දක්ෂතාවක් 2011 වසරේ දීත් ඔවුන් විසින් දක්වන්න සමත් වෙන්නේ කණ්ඩායම් 16ක් අතරින් 14 වැනි ස්ථානයට පත් වෙන ගමන්.  

මීට අමතරව ස්ථානමය වශයෙන් තරමක් පසුපසින් සිටියත් 1991 (කණ්ඩායම් 20 අතරින් 15), 1995 (කණ්ඩායම් 27 අතරින් 19) 1999 (කණ්ඩායම් 26 අතරින් 21), 2003 (කණ්ඩායම් 24 අතරින් 18) යන වර්ෂවල දීත් ශ්‍රී ලංකාව සාපේක්ෂව තරමක් හොඳ මට්ටමේ දක්ෂතා පෙන්වපු බව සඳහන් කරන්න පුළුවන්. 

දැල්පන්දු ලෝක කුසලාන ඉතිහාසය 

දැල්පන්දු ලෝක කුසලාන ඉතිහාසයේ ආධිපත්‍යය සම්පූර්ණයෙන්ම තියෙන්නේ The Diamonds නම් අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන ඕස්ට්‍රේලියාව සහ The Silver Ferns යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන නවසීලන්තය යටතේයි.  

මෙතෙක් ඉතිහාසයේ පැවැත්වුණු ලෝක කුසලාන තරගාවලි 15න් 11 ම ශූරතාවය ඕස්ට්‍රේලියාව සතු වෙද්දී, නවසීලන්තයට ශූරතාවන් 5ක් හිමි වුනා. ඊට අමතර ට්‍රිනිඩෑඩ් සහ ටොබෑගෝ දේශයට එක් ශූරතාවක්* හිමි වෙලා තියෙනවා. 

History of netball world cup and netball*. 1979 ලෝක කුසලානයේ දී අවසන් මහා තරගයක් පැවැත්වුණේ නැහැ. රවුන්ඩ් රොබින් ක්‍රමයට පැවැත්වුණු තරගාවලියේ දී ඕස්ට්‍රේලියාව, නවසීලන්තය සහ ට්‍රිනිඩෑඩ් ටොබෑගෝ කණ්ඩායම් තුන ම තරග 9ක් ක්‍රීඩා කරලා ඉන් තරග 8 බැගින් ජයග්‍රහණය කරන්න සමත් වෙනවා. මේ නිසා මේ රටවල් තුනට ම 1979 ලෝක කුසලානයේ සම ශූරතාව හිමි වෙනවා. 

2023 ලෝක කුසලාන තරගාවලිය 

ඉතිහාසයේ ප්‍රථම වතාවට අප්‍රිකානු මහද්වීපයට තල්ලු වුන මෙවර දැල්පන්දු ලෝක කුසලානය මෙම මස 28 වැනිදා සිට අගෝස්තු මාසයේ 06 වැනිදා දක්වා දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් හිදි පැවැත්වීමට සැලසුම් කරලා තියෙනවා. 

මෙවර තරගාවලිය වෙනුවෙන් A,B,C සහ D ලෙස කාණ්ඩ හතරකින් රටවල් 16ක් තරගාවලියට එකතු වෙන්න නියමිතයි. 

  A  B  C  D 
1  ඕස්ට්රේලියාව  එංගලන්තය  ජැමෙයිකාව  නවසිලන්තය 
2  ටොන්ගා  මලාවි  දකුණු අප්රිකාව  උගන්ඩාව 
3  සිම්බාබ්වේ  ස්කොට්ලන්තය  වේල්සය  ට්රිනිඩෑඩ් සහ ටොබෑගෝ 
4  ෆීජි  බාර්බඩෝස්  ශ්රී ලංකාව  සිංගප්පූරුව 

 

මෙම කණ්ඩායම් තරගාවලියේ මූලික වටයේ දී තමන්ගේ කාණ්ඩයේ අනෙක් කණ්ඩායම් තුන සමඟින් තරග වදින්න නියමිතයි. ඒ තරගවලින් පසුව මූලික වටය අවසානයේ එක් එක් කාණ්ඩයේ මුල් ස්ථාන 3 හිමි කර ගන්න සමත් වෙන කණ්ඩායම් තරගාවලියේ ඉදිරි වටය වෙනුවෙන් තේරී පත් වෙනවා.  

නමුත් යම් කණ්ඩායමක් ඉදිරි වටයට තේරී පත් නොවුනා කියලා ඔවුන්ගේ ලෝක කුසලාන ගමන එතෙකින් නතර වෙන්නේ නැහැ. ලෝක කුසලානයට ඉදිරිපත් වෙන කණ්ඩායම් 16 ම අංක 1 සිට 16 දක්වා ශ්‍රේණිගත කිරීම් සිදු කිරීම වෙනුවෙන් තවත් තරග පැවැත්වීමටත් නියමිතයි. 

මෙහි දී තරගාවලිය ප්‍රධාන වශයෙන් කොටස් තුනකට වෙන් වෙනවා. පළමු වටයෙන් පසුව කණ්ඩායම් 12ක් දෙවැනි වටයට සුදුසුකම් ලබන්නේ ශූරතාවය වෙනුවෙන් සටන් කිරීම වෙනුවෙන්. ඒ අතරේ ඉතිරි කණ්ඩායම් 4 විසින් තරගාවලියේ 13-16 තෙක් ස්ථාන වෙනුවෙන් සටන් වැදීමට නියමිතයි. 

දෙවැනි වටයට සුදුසුකම් ලබපු කණ්ඩායම් 12 අතරින් කණ්ඩායම් 4ක් තරගාවලියේ අවසන් පූර්ව වටයත්, ඉන් කණ්ඩායම් දෙකක් අවසන් මහා තරගයටත් සුදුසුකම් ලබන්න නියමිතයි. 

ශ්‍රී ලංකාවේ තරග  

2022 වසරේ සිංගප්පූරුවේ දී පැවැත්වුණු ආසියානු දැල්පන්දු ශූරතාවය ජයග්‍රහණය කළ The Lionesses යන අන්වර්ථ නාමයෙන් ජාත්‍යන්තර දැල්පන්දු ක්ෂේත්‍රයේ පිළිගැනීමට ලක් වී තිබෙන ශ්‍රී ලංකා කණ්ඩායම සහ එහි අනුශූරතාව දිනා ගන්න සමත් වුන සිංගප්පූරුව මෙවර ලෝක කුසලානයේ දී ආසියානු කලාපය නියෝජනය කරමින් තරගාවලියට පිවිසෙනවා.

History of netball world cup and netballඒ අතරින් ශ්‍රී ලංකාවට මෙවර තරගාවලියේ දී C කාණ්ඩය යටතේ තරග වැදීමට නියමිත වෙලා තියෙන්නේ ජැමෙයිකාව, සත්කාරක දකුණු අප්‍රිකාව සහ වේල්සය සමඟින්. 

මේ අතරින් ජැමෙයිකාව සහ දකුණු අප්‍රිකාව දැනට දැල්පන්දු ශ්‍රේණිගත කිරීම් වල රැඳිලා ඉන්නේ අංක 4 සහ 5 ස්ථාන වල. ඊට අමතර වේල්සය ශ්‍රේණිගත කිරීම් හි අංක 9 ස්ථානයේ රැඳිලා ඉන්නවා. මෙම ශ්‍රේණිගත කිරීම් වල ශ්‍රී ලංකාවට හිමි වෙලා තියෙන්නේ 15 වැනි ස්ථානය. 

මේ කණ්ඩායම් සමඟ ශ්‍රී ලංකාව විසින් තරගාවලියේ ආරම්භක දිනයේ පටන් ම තරග වදින්න නියමිතයි. 

මූලික වටයේ ශ්‍රී ලංකාව සහභාගී වෙන තරග සහ වේලාවන් (ශ්‍රී ලංකා වේලාවෙන්) 

  • ජූලි 28 – ජැමෙයිකාව (රාත්‍රි 9.30) 
  • ජූලි 29 – දකුණු අප්‍රිකාව (රාත්‍රි 7.30) 
  • ජූලි 30 – වේල්සය (දහවල් 12.30) 

මේ තරග තුනේ දී ලැබෙන ප්‍රතිඵල අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරි තරග මොන විදිහට පැවැත්වෙනවා ද කියන දේ තීරණය වීමට නියමිතයි. 

ශ්‍රී ලංකා සංචිතය; තිශලා අලගම, සේමිනී අල්විස්, ගයන්ජලී අමරවංශ, රශ්මි දිව්‍යාංජලී, දුලංගි වන්නිතිලක, මල්මි හෙට්ටිආරච්චි, ගයනි දිසානායක, චතුරංගි ජයසූරිය, ගයත්‍රි කෞෂල්‍යා, තර්ජනී ශිවලිංගම්, භාෂිනී යෝෂිතා ද සිල්වා, ශානිකා පෙරේරා. 

  • ප්‍රධාන පුහුණුකාරිණිය – තිලකා ජිනදාස 
  • සහය පුහුණුකාරිණිය – දීපී නාලිකා ප්‍රසාදි 

මේ ක්‍රීඩිකාවන් අතරින් ලෝකයට එල්ල වෙන ප්‍රබලතම තර්ජනය වෙන්නේ තර්ජනී ශිවලිංගම් බව රහසක් නෙවෙයි. 

ආසන්න වශයෙන් අඩි 7ක් පමණ උස (අඩි 6 අඟල් 9.1) උස තර්ජනී තමයි මෙවර තරගාවලියට සහභාගී වෙන උසම ක්‍රීඩිකාව වෙන්නෙත්. 

ඒ වගේ ම නිමා වුනු 2019 ලෝක කුසලානයේ දී ශ්‍රී ලංකාවට හිමි වුනේ තරගාවලියේ 15 වැනි ස්ථානය වුනත් මේ තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා (Goal Scorer) බවට පත් වෙන්න තර්ජනී විසින් සමත් වෙන්නේ ලකුණු 348ක් සමඟින්. ඇයට මේ සඳහා වැය වෙන්නේ තරග 7ක් පමණයි! 

History of netball world cup and netballමේ විශේෂත්වයන් නිසාම 2023 දැල්පන්දු ලෝක කුසලානය වෙනුවෙන් නිර්මාණය වුන නිල වෙබ් අඩවියේ තර්ජනී පිළිබඳ විශේෂ ලිපියක් පසුගිය දා පළ වුනා. 

“ඒ ජයග්‍රහණ (2019 ලෝක කුසලානයේ වැඩිම ලකුණු ලාභියා වීම) ගැන මම නිහතමානී ව සතුටු වෙනවා. මම නිතරම කියනවා වගේ මේක කණ්ඩායම් තරගයක්. ඒ නිසා සියලු ම ගෞරවය ක්‍රීඩිකාවන් අතර සමානව බෙදී යා යුතුයි. ඒ නිසා ඒ ජයග්‍රහණ ගැන මම මගේ කණ්ඩායම වෙනුවෙන් ආඩම්බර වෙනවා.  

මට මගේ කණ්ඩායම ගැන හොඳ විශ්වාසයක් තිබෙනවා. වඩා හොඳ ජයග්‍රහණයක් සමඟින් එම දක්ෂතා නැවත ප්‍රදර්ශනය කරන්න අපි බලාපොරොත්තු වෙනවා.” 

2008 වසරේ දී ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම සමඟ එක් වුන තර්ජනී මේ වන විට 44 හැවිරිදි වියේ පසු වෙනවා. ඒ වගේ ම මෙය ඇයගේ අවසන් දැල්පන්දු ලෝක කුසලානය බවත් ඇය විසින් තහවුරු කරනවා. 

“දැල්පන්දු ක්‍රීඩාව මිනිසුන් එකට එකතු කරනවා සහ ඒ නිසාම මම දේශීය ව සහ ජාත්‍යන්තර වශයෙන් ඉතා හොඳ ජාලයක් නිර්මාණය කර ගෙන තිබෙනවා. 

මගේ සෑම පියවරක දී ම මාව දිරිමත් කරන විශාල රසික ප්‍රජාවක් මම උපයාගෙන තිබෙනවා. ඒ වගේ ම මම මගේ රට වෙනුවෙන් ක්‍රීඩා කරන ඕනෑම අවස්ථාවක මට අමතර ශක්තියක් ලැබෙනවා. 

මෙය මගේ අවසාන ලෝක කුසලාන තරගාවලිය වගේ ම මම ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සිදු කරන අවසන් ජාත්‍යන්තර තරග සංචාරයත් වන නිසා මට බොහෝ දේ පැවසිය නොහැකියි. නමුත් සෑම කෙනෙකුගෙන් ම ලැබෙන ආදරයට ස්තුතියි.” 

එමෙන්ම මෙවර තරගාවලියේ දී තම කණ්ඩායම විශේෂ දක්ෂතා දැක්වීමේ බලාපොරොත්තුවෙන් යුතුව මග බලා සිටින බව ද ඇය විසින් සඳහන් කළ වග මෙම ලිපියෙහි සඳහන් ව තිබුණා. 

තර්ජනී විසින් සඳහන් කරන පරිදි ම ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම මෙවර කාන්තා ලෝක කුසලානයේ දී දක්ෂතා අතරට පිවිසෙනු ඇති ද යන්න ඔබට ThePaPare.com හරහා දැන ගැනීමේ හැකියාව ද පවතිනවා. 

2023 දැල්පන්දු ලෝක කුසලානයේ සියලු තරග විස්තර දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

>>තවත්විශේෂාංගලිපිසඳහාපිවිසෙන්න<<