ජපානයේ Aichi-Nagoya හි දී පැවැත්වෙන 20 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් පිරිමි ඉසව්වට ඉන්දීය කණ්ඩායම සමඟින් එක් වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ප්‍රතිවාදීන් ඉදිරියේ හිමි වූ ලකුණු 124ක පරාජයත් සමඟින් ඔවුන්ගේ රන් පදක්කම් සිහිනය ගිලිහෙනවා.
ලත් පරාජය හමුවේ ඔවුන් ලෝකඩ පදක්කම් සටනට එක් වෙන අතර ජයග්‍රාහී ඉන්දීය ක්‍රීඩකයෝ රන් පදක්කම් සටනට සුදුසුකම් ලබා ගත්තා.
>>ශ්‍රී ලංකාව තරගයක් නැතිව ම අවසන් පූර්ව වටයට<<
Nisshin හී Korogi Athletic Park ක්‍රීඩාංගණයේ දී අද (1දා) පැවැති මෙම තරගයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් 26 හැවිරිදි වියේ පසුවෙන කඩුලු රැකීමේ අත් ආවරණ ද හිමි ඉදිරි පෙළ වමත් පිතිකරු සොහාන් ද ලිවේරා, 21 හැවිරිදි වියේ පසුවෙන ආරම්භක වමත් පිතිකරු සිනෙත් ජයවර්ධන සහ 23 හැවිරිදි වියේ පසුවෙන තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන ක්‍රීඩක වනුජ සහන් ද ජාත්‍යන්තර විස්සයි විස්ස වරම් දිනා ගත්තා.
තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඉන්දීය ක්‍රීඩකයෝ කඩුලු 7ක් දැවී ලකුණු 169ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ලබා ගැනීමට හැකි වෙන්නේ ලකුණු 45ක් පමණයි.
ශ්‍රී ලංකා කණ්ඩායම
සහන් ආරච්චිගේ (නායක), සිනෙත් ජයවර්ධන, ලසිත් කෲස්පුල්ලේ, සොහාන් ද ලිවේරා (කඩුලු රකින්නා), නුවනිඳු ප්‍රනාන්දු, අශේන් බණ්ඩාර, චාමික කරුණාරත්න, වනුජ සහන්, තරිඳු රත්නායක, විජයකාන්ත් වියස්කාන්ත් සහ බිනුර ප්‍රනාන්දු.
ඉන්දීය කණ්ඩායම
Shreyas Iyer (නායක), Vaibhav Sooryavanshi, Abhishek Sharma, Sanju Samson (කඩුලු රකින්නා), Ishan Kishan, Axar Patel, Tilak Varma, Shivam Dube, Washington Sundar, Ravi Bishnoi සහ Jasprit Bumrah
පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඉන්දීය ක්‍රීඩකයෝ ශ්‍රී ලංකාවට එරෙහි ව වේගවත් ආරම්භයක් ලබා ගන්නවා. එහි දී ඔවුන් පළමු ප්‍රවේගවත් පන්දුවාර 6 අවසන් කරන්නේ ලකුණු 58ක් ලබා ගනිමින් වන අතර ඔවුන්ගේ ඉනිමේ ලකුණු 100 පන්දු 75කින් සහ ලකුණු 150 පන්දු 110කින් වාර්තා කරනවා.
එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ Ishan Kishan. ඔහු ඉනිම අවසන් වෙද්දී පන්දු 46ක දී හයේ පහර 5ක් සහ හතරේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 80ක් ලබා සිටියා. එය ඔහුගේ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග දිවියේ 13 වැනි අර්ධ ශතකයයි.
ඔහුට අමතර ව ආරම්භක පිතිකරු Vaibhav Sooryavanshi පන්දු 21කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 38ක් ලබා ගත්තා. ඊට අමතර ව නායක Shreyas Iyer පන්දු 13ක දී හතරේ පහරක් සමඟින් ලකුණු 13ක් ලබා ගන්නවා.
අනෙක් සෑම පිතිකරුවෙක්ගේ ම ඉනිම් තනි ඉලක්කමකට සීමා වූ අතර පන්දු යැවීමේ දී නායක සහන් ආරච්චිගේ සහ තරිඳු රත්නායක කඩුලු ද්විත්වය බැගින් දවා ගත් අතර ඊට අමතර ව වනුජ සහන්, නුවනිඳු ප්‍රනාන්දු සහ ලසිත් කෲස්පුල්ලේ කඩුල්ල බැගින් දවා ගත්තා.
- Tier B T20 පිටියේ පෑ දස්කම් විස්කම්
- ශ්‍රී ලංකා කාන්තාවන්ට මෙවරත් රිදී පදක්කම
- Major Club විස්සයි විස්සෙන් සොයගත් මිණි කැට
- එංගලන්තය 3-0කින් ජයග්‍රහණය සමරයි
- ආසියානු ක්‍රිකට් ඉසව්වට ශ්‍රී ලංකා කණ්ඩායම් සූදානම්
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට ඉන්දීය පන්දු යවන්නෝ ඉඩ ලබා දුන්නේ නැහැ. ඔවුන්ගේ පළමු කඩුලු ත්‍රිත්වය පන්දු 7ක් තුළ දවා ගත් ඉන්දීය පන්දු යවන්නෝ තම ප්‍රවේගවත් පන්දුවාර 6 අවසන් කරන්නේ කඩුලු 6ක් දවා ගනිමිනුයි. ඒ වෙද්දී ශ්‍රී ලංකා ලකුණු පුවරුවට එක් ව තිබුණේ ලකුණු 33ක් පමණයි.
ඒ වෙද්දී ඉනිම් හැර ගොස් තිබුණේ සිනෙත් ජයවර්ධන (0), සොහාන් ද ලිවේරා (0), ලසිත් කෲස්පුල්ලේ (0), සහන් ආරච්චිගේ (9), අශේන් බණ්ඩාර (0) සහ නුවනිඳු ප්‍රනාන්දු (15) යි.
ශ්‍රී ලංකා ඉනිමේ හොඳම කඩුලු සබඳතාව වූයේ නුවනිඳු ප්‍රනාන්දු සහ සහන් ආරච්චිගේ එක් ව සිව් වැනි කඩුල්ලට පන්දු 12ක දී එක්කළ ලකුණු 16ක සබඳතාවයි. එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන්නේ සහන් ආරච්චිගේ ගේ දැවී යෑමත් සමඟිනුයි.
ඔහු දැවී යන විට පන්දු 8කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණ 9ක් ලබා සිටියා. නුවනිඳු ප්‍රනාන්දු 6 වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 11කට මුහුණ දෙමින් හයේ පහර 2ක් සමඟින් ලකුණු 15ක් ලබා සිටියා.
ශ්‍රී ලංකා ඉනිමේ අනෙකුත් පිතිකරුවන් වූ වනුජ සහන් (1), තරිඳු රත්නායක (5), චාමික කරුණාරත්න (4) සහ බිනුර ප්‍රනාන්දු (0) ද දුර්වල ඉනිම් ක්‍රීඩා කරද්දී විජයකාන්ත් වියස්කාන්ත් ඉනිම අවසන් වෙද්දී නොදැවී ලකුණු නොලබා පිටියේ රැඳී සිටියා. ඒ අතුරින් ඉනිමේ අවසන් කඩුලු ත්‍රිත්වය පිට පිට පන්දු 3ක දී දුවද්දී දැවී යෑමක් ද සමඟින් අහිමි වෙනවා.
ශ්‍රී ලංකා ඉනිමේ තවත් පන්දු 61ක් ඉතිරි ව තිබිය දී එම ඉනිම අවසන් වෙද්දී Abhishek Sharma, Jasprit Bumrah සහ Axar Patel කඩුලු ද්විත්වය බැගින් දවා ගත් අතර ඊට අමතර ව Washington Sundar ද කඩුල්ලක් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
ඉන්දියාව – කඩුලු 7ක් දැවී 169 (20.0) Vaibhav Sooryavanshi 38, Ishan Kishan නොදැවී 80, තරිඳු රත්නායක 2/32, සහන් ආරච්චිගේ 2/28
ශ්‍රී ලංකාව – සියලුම දෙනා දැවී 45 (9.5) නුවනිඳු ප්‍රනාන්දු 15, සහන් ආරච්චිගේ 9, Jasprit Bumrah 2/07, Axar Patel 2/08, Abhishek Sharma 2/02
ඉන්දීය කණ්ඩායමට ලකුණු 124ක ජයක්.
මෙම තරගයට අමතර ව අද දවසේ දී අනෙක් අවසන් පූර්ව තරගය ද පැවැති අතර එහි දී බංග්ලාදේශය පරාජය කරමින් පාකිස්තානය අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තා. ඒ අනුව පාකිස්තානය සහ ඉන්දියාව රන් පදක්කම සඳහාත් ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය ලෝකඩ පදක්කම සඳහාත් තරග වැදීමට සුදුසුකම් ලබා ගත්තා. එම තරගය මේ මස 3 වැනිදා Nisshin හී Korogi Athletic Park ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිතයි.
දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















