කොදෙව් නායකයා නායකත්වය අතහරී

1118

නිමා වූ විස්සයි විස්ස ලෝක කුසලානයේ පළමු වටයෙන් ඉවත් වීමට සිදු වීමත් සමඟ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ සීමිත පන්දුවාර නායක Nicholas Pooran එම තනතුරෙන් ඉවත් වීමට තීරණය කළ බව කොදෙව් ක්‍රිකට් ආයතනය තහවුරු කර තිබෙනවා.

හිටපු නායක Kieron Pollard ආබාධයකට ලක් වීම නිසා පසුගිය වසරේ ජූලි මාසයේ ඕස්ට්‍රේලියාවට එරෙහි තරගාවලියේ නායකත්වය දරමින් කණ්ඩායම ජයග්‍රහණයට මෙහෙයවීමෙන් අනතුරුව ඔහු 2021-22 පැවති පාකිස්තාන තරගාවලියේත් කොදෙව් කණ්ඩායම මෙහෙයවූවා.

මෙම වසරේ ජූලි මාසයේ Kieron Pollard ජාත්‍යන්තර පිටියෙන් සමුගැනීමත් සමඟ ඔහු කොදෙව් කණ්ඩායමේ නිත්‍ය සීමිත පන්දුවාර නායකත්වයට පත් වූ අතර ඔහු නායකත්වය දැරූ විස්සයි විස්ස තරග 23න් සහ එක්දින තරග 17න් ඔවුන් ජයගෙන තිබුණේ තරග 08ක් සහ 04ක් පමණයි.

නිමා වූ ලෝක කුසලාන තරගාවලිය ද Kieron Pollardගේ බලාපොරොත්තු සුන් වූ තරගාවලියක් වූ අතර සිම්බාබ්වේ සහ අයර්ලන්තය හමුවේ පරාජය ලබමින් ඔවුන් තරගාවලියේ පළමු වටයෙන්ම ඉවත් වුනා.

“ලෝක කුසලාන බලාපොරොත්තු සුන් වීමෙන් පසුව මම නායකත්වය ගැන ගොඩක් දුරට හිතුවා. මම ඉතා ආඩම්බරයෙන් මේ නායකත්වය භාර ගත් අතර මම ඉතා කැපවීමෙන් ඒකට සියලු දේ ලබා දුන්නා.

විස්සයි විස්ස ලෝක කුසලානයෙන් පමණක් අපිව මැනීම නොකළ යුතුයි. අපි නැවතත් සංවිධානය වීමට ටික කලක් තියෙන නිසා මාර්තු මස පැවැත්වෙන දකුණු අප්‍රිකා සංචාරයට සූදානම් වීමට කාලයක් ලබා දිය යුතුයි.

මම කිසිදෙයක් අතහරින්නේ නැහැ. කොදෙව් නායකත්වය ඔබට පිරිනමන ගෞරවයක් කියලයි මම හිතන්නේ. කොදෙව් ක්‍රිකට් සඳහා මම සම්පූර්ණයෙන්ම කැප වී තිබෙන බවට සැකයක් නැහැ. ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙකු ලෙස ඕනෑම සහයක් ලබා දීමට මම සූදානම්.

කොදෙව් නායකත්වයෙන් දැන් ඉවත් වීම කණ්ඩායමට මෙන්ම පෞද්ගලිකව ද මට හොඳ දෙයක් කියලා මම විශ්වාස කරනවා. ක්‍රීඩකයෙකු ලෙස මට පෞද්ගලිකව කණ්ඩායමට ලබා දෙන්න පුළුවන් දේවල් ගැන අවධානය යොමු කරන්න ඕන. මට දැඩි ලෙස අවශ්‍ය වන්නේ ලකුණු රැස් කිරීම සහ කණ්ඩායමට ලබා දිය හැකි උපරිම දායකත්වය ලබා දීමයි,” යැයි Nicholas Pooran ප්‍රකාශ කළා.

මෑත කාලයේ පිතිකරණයෙන් ද යම් පසුබෑමකට ලක්ව සිටින Nicholas Pooran අවසන් විස්සයි විස්ස ඉනිම් 10 ලබා ගෙන ඇත්තේ ලකුණු 94ක් පමණක් වන අතර ඔහු ලෝක කුසලානය පුරාවට ලබා ගත්තේ ද ලකුණු 25ක් පමණයි.

Nicholas Pooran අප කණ්ඩායමේ නායකත්වය දරමින් ලබා දුන් දායකත්වය ගැන සතුටට පත් වෙනවා. මම ඔහු සමඟ කතා කිරීමෙන් පස්සේ මට තේරුම් ගියා ඔහුට කණ්ඩායම වෙනුවෙන් බොහෝ දේවල් කරන්න තියෙනවා කියලා,” යැයි Jimmy Adams ප්‍රකාශ කළා.

කොදෙව් විස්සයි විස්ස කණ්ඩායමේ නව උප නායකයා ලෙස Rovman Powell කටයුතු කරන අතර Shai Hope එක්දින කණ්ඩායමේ උප නායකයා ලෙස කටයුතු කරනවා.

Cricbuzz ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<