එංගලන්ත ක්‍රීඩකයින් නැවතී සිටි හෝටලය අසල වෙඩි ප්‍රහාරයක්

එංගලන්ත කණ්ඩායමේ පාකිස්තාන සංචාරය 2022

931

පාකිස්තානයේ ටෙස්ට් තරග සංචාරයක නිරතව සිටින එංගලන්ත කණ්ඩායමේ රැඳී සිටි මුල්තාන් නුවර හෝටලය අසලින් වෙඩි ශබ්ද කිහිපයක් ඇසී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

වසර 17කට පසුව පාකිස්තානයේ සංචාරයක නිරත වන එංගලන්ත ක්‍රීඩකයින් සිය දෙවැනි ටෙස්ට් තරගයට සූදානම් වීමට මුල්තාන් නුවරට පැමිණ සිටින අවස්ථාවේ දීයි මෙය සිදුව ඇත්තේ.

තරගාවලියේ වැඩි අවධානයක් දිනා ගත් පළමු තරගය තියුණු සටනකින් පසුව ජයග්‍රහණය කිරීමට එංගලන්ත කණ්ඩායමට හැකි වුනා.

ඒ අනුව ඔවුන් දෙවැනි ටෙස්ට් තරගයට සහභාගි වීමට සූදානම් වෙමින් සිටිය දී පෙරේදා (07) මුල්තාන් ක්‍රීඩාංගණය අසල වෙඩි තැබීමක් සිදු ව තිබූ අතර ඊයේ (08) ඔවුන්ගේ හෝටලය අසලින් වෙඩි ශබ්ද ඇසී තිබුණා.

එංගලන්ත කණ්ඩායමේ දෙවැනි ටෙස්ට් තරගය සඳහා පුහුණුවීම් වලට යාමට පැයකට පමණ පෙර මෙම වෙඩි ශබ්ද ඇසී ඇති නමුත්, ඔවුන්ගේ පුහුණුවීම් කටයුතු සඳහා එය බාධාවක් නොවූ බව මාධ්‍ය වාර්තා කළා.

එමෙන්ම පාකිස්තාන පොලිසිය විසින් වෙඩි තැබීමට සම්බන්ධ පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇති බව ද පාකිස්තාන වාර්තා සඳහන් කරනවා.

දෙවැනි ටෙස්ට් තරගය පිළිබඳව අවධානය යොමු කරද්දී එංගලන්ත කණ්ඩායම එක් වෙනසක් සිදු කර ඇති අතර ආබාධයට ලක් වූ  Liam Livingstone වෙනුවට වේගපන්දු යවන ක්‍රීඩක Mark Wood කණ්ඩායමට කැඳවීමට ඔවුන් කටයුතු කර තිබෙනවා.

“පැයට කිලෝමීටර් 150ට වඩා වැඩි වේගයකින් පන්දු යැවීමට හැකි ක්‍රීඩකයෙක් තම සංචිතයේ සිටීම කණ්ඩායමට විශාල වාසියක්. ඒ මට්ටමේ කෙනෙක් සිටීමෙන් කණ්ඩායමට බොහෝ දේ ලැබෙනවා වගේම අපිට කඩුලු 20ම දවා ගන්න තියෙන ඉඩත් ඒකෙන් වැඩි වෙනවා,” යැයි එංගලන්ත නායක Ben Stokes ප්‍රකාශ කළා.

Hindustan Times ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<