දිනය අවසානයේ ත්‍රිත්ව සහ ගුරුකුල පෙරමුණට

19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය 2022

294

වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තරග ද්විත්වයක් අද (21) පැවැත්වුණේ පනාගොඩ සහ මහනුවර කේන්ද්‍ර කරගෙනයි.

පාසල් ක්‍රිකට් තරගාවලියේ  මහනුවර ධර්මරාජ විද්‍යාලය සහ ත්‍රිත්ව විද්‍යාලය අතර සුහද තරගයක් අද ආරම්භ වෙද්දී, තවත් දෙදින තරගයක් ආරම්භ වුනේ වෙස්ලි විද්‍යාලය සහ ගුරුකුල විද්‍යාලය අතරයි.

සුහද දෙදින ක්‍රිකට් තරගාවලිය

මහනුවර අස්ගිරිය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ආරම්භ වූ තරගයේ පළමු දිනය අවසානයේ පෙරමුණේ සිටියේ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයයි.

ත්‍රිත්ව කණ්ඩායමේ විභවිත් ඇහැළේපොළ (3/24), තරන විමලධර්ම (3/25) සහ සුපුන් වඩුගේ (2/02) ගේ පන්දු යැවීම හමුවේ ධර්මරාජ ඉනිම ලකුණු 107කට සීමා වුනා.

ධර්මරාජය වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූ බී. අබේරත්න ලකුණු 31ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ත්‍රිත්ව ක්‍රීඩක එස්. විජේතුංග 53, එස් පීරිස් 51 සහ සුපුන් වඩුගේ ලබා ගත් සටන්කාමී ඉනිම් නිසා ඔවුන් පළමු ඉනිමට ලබා ගත් ලකුණු සංඛ්‍යාව 231ක්.

ත්‍රිත්ව ක්‍රීඩකයින්ට හොඳ අභියෝගයක් එල්ල කළ ඩී. වන්නිනායක ලකුණු 50කට කඩුලු හතරක් දවා ගද්දී කේ. බන්දුලසේන සහ එස්. බණ්ඩාර අතරේ කඩුලු දෙක බැගින් බෙදී ගියා.

  • ධර්මරාජ විද්‍යාලය පළමු ඉනිම: 107 (43.1) – බී. අබේරත්න 31, විභවිත් ඇහැළේපොළ 3/24, තරන විමලධර්ම 3/25, සුපුන් වඩුගේ 2/02.
  • ත්‍රිත්ව විද්‍යාලය පළමු ඉනිම: 231 (53) – එස්. විජේතුංග 53, එස්. පීරිස් 51, සුපුන් වඩුගේ 41, ඩි. වන්නිනායක 4/50.

දෙදින ක්‍රිකට් තරගාවලිය

පනාගොඩ යුද හමුදා ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ මෙම තරගයේ පළමු දිනය අවසානයේ තරමක ඉදිරියෙන් සිටීමට කැළණිය ගුරුකුල විද්‍යාලයට හැකි වුනා.

සිය පළමු ඉනිම ක්‍රීඩා කළ වෙස්ලි ඉනිම ලකුණු 182කට සීමා කිරීමට ගුරුකුල පන්දු යවන්නන්ට හැකි වූ අතර අගනා ඉනිමක් ක්‍රීඩා කළ වෙස්ලි ක්‍රීඩක චමත් ගෝමස් ලකුණු 97ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී ගුරුකුල විද්‍යාලය වෙනුවෙන් පූර්ණ කල්හාර ලකුණු 22ට කඩුලු තුනක් දවා ගැනීමට සමත් වූ අතර හිරුණ නිම්සර සහ තත්සර ඒෂාන් කඩුලු දෙක බැගින් දවා ගත්තා.

ගුරුකුල ක්‍රීඩක පූර්ණ කල්හාර ලබා ගත් අර්ධ ශතකය (78) නිසාවෙන් පළමු ඉනිමට ලකුණු 202ක් ලබා ගනිමින් තරමක පෙරමුණක් ගැනීමට ඔවුන්ට හැකි වුනා.

වෙස්ලි විද්‍යාලය වෙනුවෙන් රවිඳු සිගේරා කඩුලු තුනක් දවා ගද්දී උවින් පෙරේරා, ලිනල් සුබසිංහ සහ චමත් ගෝමස් අතරේ කඩුලු දෙක බැගින් බෙදී ගියා.

  • වෙස්ලි විද්‍යාලය පළමු ඉනිම: 182 (32.3) – චමත් ගෝමස් 97, සනිතු අමරසිංහ 46, පූර්ණ කල්හාර 3/22, හිරුණ නිම්සර 2/22, තත්සර ඒෂාන් 2/39.
  • ගුරුකුල විද්‍යාලය පළමු ඉනිම: 202 (57.1) – පූර්ණ කල්හාර 78, දෙනුර දෙමන්සිත් 22, ජනිත් මිහිරංග 20*, රවිඳු සිගේරා 3/24, උවින් පෙරේරා 2/17, ලිනල් සුබසිංහ 2/33, චමත් ගෝමස් 2/37.

19න් පහළ පාසල් පළමු පෙළ ක්‍රිකට් පිටියේ සියලු තොරතුරු දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<