සාන්ත බෙනඩික්ට් සහ ත්‍රිත්ව විද්‍යාලයත් අවසන් හතරට

19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලිය 2022

414

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එක්ව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ සීමිත පන්දුවාර පාසල් ක්‍රිකට් තරගාවලියේ Tier A කොටසේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග දෙකක් ඊයේ (12) සහ අද (13) ක්‍රියාත්මක වුනා.

එහි දී සාන්ත බෙනඩික්ට් විද්‍යාලය සහ ත්‍රිත්ව විද්‍යාලය Tier A කොටසෙන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට සමත් වුනා.

සාන්ත බෙනඩික්ට් විද්‍යාලය සහ කුරුණෑගල මලියදේව විද්‍යාලය – (Tier A – අර්ධ අවසන් පූර්ව තරගය)

කොළඹ සාන්ත පීතර විද්‍යාල ක්‍රීඩාංගණයේ පැවති වර්ෂාව හේතුවෙන් තරගයේ ආරම්භය ප්‍රමාද වීම නිසා මෙම තරගයේ ඉනිමක් පන්දුවාර 43කට සීමා වුනා.

කාසිය වාසිය දිනාගත් මලියදේව විද්‍යාලය පළමුව පන්දු රැකීමට තීරණය කළ අතර ඒ අවසරයෙන් පිටියට පිවිසි සාන්ත බෙනඩික්ට් විද්‍යාලය පන්දුවාර 26කුත් පන්දු 5ක් තුළ දී සියලු දෙනා දැවී රැස් කරගත්තේ ලකුණු 93ක් පමණයි. සාන්ත බෙනඩික්ට් විද්‍යාලය වෙනුවෙන් ශෙරෝන් කන්නංගර ලකුණු 30ක් වාර්තා කරගැනීමට සමත් වුනා.

පන්දු යැවීමේ දී කුරුණෑගල මලියදේව විද්‍යාලයේ චාරුක හේරත් ලකුණු 26ක් ප්‍රතිවාදීන්ට ලබා දෙමින් කඩුලු 6ක් දවා ගැනීමට සමත් වන විට ගයන වීරසිංහ ලකුණු 24කට කඩුලු 2ක් බිඳ හෙළීමට සමත් වුනා.

ඒ අනුව ලකුණු 94ක් ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් පිටියට පිවිසි කුරුණෑගල මලියදේව විද්‍යාලය වර්ෂාව නිසා තරගය නතර කරන විට පන්දුවාර 8කුත් පන්දු 3ක දී එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 45ක් රැස් කරගැනීමට සමත්ව තිබුණා. එහි දී ජයමින් මුතුකුමාරණ නොදැවී ලකුණු 31*ක් වාර්තා කරගැනීමට සමත් වුනා.

වර්ෂාවෙන් ඇති වූ බාධාවන් නිසා අවසානයේ දී මෙම තරගය අතහැර දැමීමට තරග තීරකවරුන් කටයුතු කළ අතර ඒ අනුව තරගාවලියේ නීති රීති වලට අනුකූලව පළමු වටයේ ඉහළ ලකුණු සාමාන්‍යක් රඳවා ගත් කණ්ඩායමට අර්ධ අවසන් වටයට සුදුසකම් ලබාගැනීමට අවස්ථාව හිමි වුනා. ඒ අනුව පළමු වටයේ ඉහළ ලකුණු සාමාන්‍යක් රඳවා ගත් සාන්ත බෙනඩික්ට් විද්‍යාලය අර්ධ අවසන් වටය සඳහා සුදුසුකම් ලබාගත්තා.

සාන්ත බෙනඩික්ට් විද්‍යාලය – 93 (26.5): ෂෙරෝන් කන්නන්ගර 30, චාරුක හේරත් 6/26, ගයන වීරසිංහ 2/24.

කුරුණෑගල මලියදේව විද්‍යාලය – 45/1 (8.3): ජයමින් මුතුකුමාරණ 31*

මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය – (Tier A – අර්ධ අවසන් පූර්ව තරගය)

කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාල ක්‍රීඩාංගණයේ දී පැවති මේ තරගයේ කාසියේ වාසිය දිනාගත් ත්‍රිත්ව විද්‍යාලය පළමුව පන්දු රැකීමට තීරණය කළා. තරණ විමලධර්ම ඇතුළු ත්‍රිත්ව පන්දු යැවීම හමුවේ සාන්ත සෙබස්තියන් විද්‍යාලයට සියල්ලන්ම දැවී රැස් කරගැනීමට හැකි වුනේ ලකුණු 80ක් පමණයි.

පිළිතුරු ඉනිම හඹා යමින් සිටි ත්‍රිත්ව කණ්ඩායම පන්දුවාර 20ක් අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 64ක් වාර්තා කරගෙන සිටිය දී තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායට අනුව තරගයේ අවසන් ප්‍රතිඵලය තීරණය වුනා. ඒ අනුව පන්දුවාර 20ක දී ත්‍රිත්ව විද්‍යාලයට අවශ්‍යව තිබූ ඉලක්කය වූයේ ලකුණු 50ක් වන අතර ඒ අනුව ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායට අනුව කඩුලු 5ක ජයක් හිමි කරගැනීමට ත්‍රිත්ව විද්‍යාලය සමත් වුනා.

සාන්ත සෙබස්තියන් විද්‍යාලය – 80 (30): අදිත කුඩලිගම 23, තරණ විමලධර්ම 3/16, මනුල කුලරත්න 2/14, දිනුක තෙන්නකෝන් 2/16.

ත්‍රිත්ව විද්‍යාලය – 64/5 (20): රහල් අමරසිංහ 29, විරොෂ් විජේසිංහ 2/18.

ඒ අනුව මේ වන විට Tier A සහ Tier B කොටස යටතේ පැවැත්වීමට නියමිත අර්ධ අවසන් පූර්ව තරග 8න් තරග 4ක් (Tier A 2ක් සහ Tier B 2ක්) පවත්වා අවසන් අතර තවත් තරග 4ක් ඉදිරි දින කිහිපය තුළ පැවැත්වීමට නියමිතයි. තරගාවලියේ නවතම තොරතුරු දැනගැනීමට රැඳී සිටින්න, ThePapare.com අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<