ශ්‍රී ලංකාවට ලෝක කුසලාන සත්කාරකත්වයක්!

ICC U19 Men’s Cricket World Cup 2024

3626

2024 දී පැවැත්වීමට නියමිත වයස අවුරුදු 19න් පහළ පිරිමි ක්‍රිකට් ලෝක කුසලානයේ (ICC U19 Men’s Cricket World Cup 2024) සත්කාරකත්වය ශ්‍රී ලංකාවට ලබා දීමට ICCය විසින් තීරණය කර තිබෙනවා.

2024 සිට 2027 වසර තෙක් ICC විසින් සංවිධානය කරනු ලබන 19න් පහළ  ක්‍රිකට් තරගාවලිවල සත්කාරක රටවල් වශයෙන් ශ්‍රී ලංකාව, මැලේසියාව, තායිලන්තය, බංග්ලාදේශය, නේපාලය, සිම්බාබ්වේ සහ නැමීබියාව යන රටවලට ICC විසින් අනුමැතිය ලබා දී තිබෙනවා.

ඒ අනුව 2024 19න් පහළ පිරිමි ක්‍රිකට් ලෝක කුසලානය ශ්‍රී ලංකාවේ ද, 2026 තරගාවලිය සිම්බාබ්වේ සහ නැමීබියාව යන රටවල සත්කාරකත්වයෙන් ද පැවැත්වීමට නියමිත අතර, 2025 19න් පහළ කාන්තා ක්‍රිකට් තරගාවලිය මැලේසියාවේ සහ තායිලන්තයේ ද, 2027 තරගාවලිය බංග්ලාදේශයේ සහ නේපාලයේ දී ද පැවැත්වෙනු ඇත.

Martin Sneddenගේ සභාපතිත්වයෙන් යුත් මාණ්ඩලික අනුකමිටුවක අධීක්ෂණය යටතේ සිදු වූ ලංසු තැබීමේ ක්‍රියාවලියක් හරහා මෙම සත්කාරක රටවල් තෝරා ගෙන ඇති බව වාර්තා වෙනවා.

ICC විසින් සිය කළමනාකාරිත්වය සමඟ සිදු කළ දීර්ඝ සාකච්ඡාවකින් පසුව එම කමිටුව විසින් ලංසු තැබීම් පිළිබඳව ලබා දුන් නිර්දේශ පිළිගෙන තිබෙනවා.

මේ අතර එහි දී 2024 කාන්තා විස්සයි විස්ස ලෝක කුසලානයට කණ්ඩායම් (10) තෝරා ගන්නා ආකාරය ද ICCය විසින් අනුමත කර ගෙන තිබෙනවා.

ඒ අනුව 2023 ICC කාන්තා විස්සයි විස්ස ලෝක කුසලානයේ කාණ්ඩ දෙක නියෝජනය කරමින් මුල් ස්ථාන තුන දිනා ගන්නා කණ්ඩායම් හය සහ සත්කාරක බංගලාදේශයත් (1 කාණ්ඩයේ මුල් ස්ථාන තුන අතර නොවේ නම්), 2023 පෙබරවාරි 27 දින වන විට විස්සයි විස්ස කාන්තා කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල (MRF Tyres ICC T20I Rankings) ඊළඟ ඉහළම ස්ථාන දරන කණ්ඩායම් දෙකත් 2024 කාන්තා විස්සයි විස්ස ලෝක කුසලානය වෙනුවෙන් තේරී පත් වන මුල් කණ්ඩායම් 8 වනු ඇත.

ඉතිරි කණ්ඩායම් දෙක ICCය විසින් පවත්වනු ලබන ගෝලීය සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියක් හරහා තෝරා ගන්නා බව වාර්තා වෙනවා.

එමෙන්ම කණ්ඩායම් 14ක් සහභාගී වන 2027 පිරිමි ක්‍රිකට් ලෝක කුසලානය වෙනුවෙන් කණ්ඩායම් සුදුසුකම් ලැබීමේ ක්‍රියා පටිපාටිය ද මෙහි දී අනුමත කර ගෙන තිබෙනවා.

ඒ අනුව ශ්‍රේණිගත කිරීම්වල ඉහළින්ම සිටින කණ්ඩායම් 8ත්, සත්කාරකත්වය දරන දකුණු අප්‍රිකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම් දෙකත් මුල් කණ්ඩායම් දහය ලෙස තරගාවලියට තේරී පත් වන අතර, ඉතිරි කණ්ඩායම් හතර ICCය විසින් පවත්වනු ලබන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියකින් තෝරා ගැනෙනු ඇති බවට වාර්තා වනවා.

එමෙන්ම ඇෆ්ගනිස්තාන රජයේ නියෝජිතයකු සහ එරට ක්‍රිකට් පාලක මණ්ඩලය අතර දෝහා හීදී පැවති සාකච්ඡාවක් පිළිබඳව ද ඇෆ්ගන් ක්‍රියාකාරී කමිටුව විසින් ICCය වෙත දන්වා තිබුණා.

එහි දී රජයේ නිලධාරියා විසින් ඇෆ්ගනිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයට (ACB) ඇෆ්ගන් රජයෙන් කිසිදු ආකාරයක මැදිහත් වීමක් නොවී ස්වාධීනව කටයුතු කිරීමට ඉඩ සැලසීමට කැප වන බවත්, ICC වෙත සම්පූර්ණ ගෞරවය දක්වමින් සහ ඔවුන්ට අනුකූලව කටයුතු කරනා බවටත් පවසා තිබුණා.

මෙහි දී ඇෆ්ගන් ක්‍රියාකාරී කමිටුවේ (Afghanistan Working Group) සභාපති ලෙස කටයුතු කරන Imran Khwaja විසින් එම සාකච්ඡාව පිළිබඳ සඳහන් කර තිබුණේ,

“එම හමුව ඉතා ධනාත්මක මෙන්ම ගෞරවනීය අන්දමින් පැවැත්වුණු අතර, එහි දී රජයේ නියෝජිතයා විසින් ඇෆ්ගනිස්තානයේ කාන්තා ක්‍රිකට් වෙනුවෙන් ICC ව්‍යවස්ථා ප්‍රකාරව කටයුතු කිරීමට එකඟ වන බවට පැහැදිලි ලෙස පැවසුවා. එය (කාන්තා ක්‍රිකට්) නැවත ආරම්භ කිරීම අභියෝග සහගත දෙයක් වුවත් ACB සමඟ ඔවුන් දිගටම කටයුතු කරන බවත්, පවසා සිටියා, “යනුවෙනුයි.

“ක්‍රියාකාරී කමිටුව විසින් ඇෆ්ගනිස්තාන රජයේ කැපවීම සම්බන්ධයෙන් සමීපව නිරීක්ෂණය කරන අතර, ඒ පිළිබඳ ICC වෙත වාර්තා කිරීම කරනු ඇත.”

රජය විසින් පවසන ආකාරයෙන්ම කටයුතු සිදු වනවා ද යන්න තමන් විසින් නිරීක්ෂණය කරනා බවට ක්‍රියාකාරී කමිටු සභාපති විසින් ICCය වෙත තව දුරටත් පවසා තිබුණා.

මේ අතර මෙතෙක් කල් ICCයේ මූල්‍ය හා වාණිජ කමිටුවේ සභාපතිත්වය දැරූ අයර්ලන්තයේ Ross McCollum එම තනතුරින් ඉවත් වී ඇති අතර, ඒ වෙනුවට BCCI හී ලේකම් ධුරය දරන Jay Shah විසින් එහි නව සභාපති ලෙස වැඩ බාරගෙන ඇති බව ද වාර්තා වනවා.

ක්‍රීඩාවේ දිනෙන් දින අලුත් වන සියලු තොරතුර ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<