සාන්ත පීතර විද්‍යාලය අවසන් පූර්ව වටයට

වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලිය 2022

467

වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (15) ක්‍රියාත්මක වුනා.

එහි දී පැවති Tier B කොටසේ තවත් එක් අර්ධ අවසන් පූර්ව තරගයකින් රත්ගම දේවපතිරාජ විද්‍යාලය හමුවේ ලකුණු 10ක තියුණු ජයක් ලබා ගැනීමට ගියවර ශූරතාවය දිනා ගත් සාන්ත පීතර විද්‍යාලයට හැකි වුනා.

කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ දී පැවති මේ තරගයේ ආරම්භය තරමක් ප්‍රමාද වුනා. ඒ තණතිල්ල ප්‍රදේශයේ තිබූ තෙත ස්වභාවය නිසාවෙනුයි.

කෙසේ නමුත් පැය කිහිපයක ප්‍රමාදයකින් අනතුරුව තරගය ආරම්භ කිරීමට විනිසුරුවරුන් හට හැකියාව ලැබුණු අතර එහි දී එක් ඉනිමක් පන්දුවාර 27කට සීමා වුනා.

කාසියේ වාසිය දිනූ සාන්ත පීතර විද්‍යාල නායක නිමුතු ගුණවර්ධන පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා. ඔවුන් නියමිත පන්දුවාර 27 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 122ක් ලබා ගත් අතර කවික ජයසුන්දර ලකුණු 27ක් ලබා ගන්නා විට, රුසඳ ගමගේ ලකුණු 24ක් ලබාගෙන සාන්ත පීතර ඉනිමේ වැඩිම ලකුණු ලාභීන් බවට පත්වුනා.

පන්දු යැවීමේ දී ඉරුෂික තිමිර කඩුලු 3ක් දවා ගන්නා විට, චමින්ද සඳරුවන් ලකුණු 24කට කඩුලු 2ක් දවාගෙන සාන්ත පීතර පිතිකරුවන් පාලනය කළා.

දේවපතිරාජ ක්‍රීඩකයින් පන්දුවාර 11ක දී කඩුලු 4ක් දැවී ලකුණු 64ක් ලබාගෙන ඉතාමත් හොඳ ස්ථාවර මට්ටමක සිටි නමුත් වමතින් දඟපන්දු යවන ශෙනොන් රොද්‍රිගෝ සහ නායක ගුණවර්ධන එක්ව දේවපතිරාජ කඩුලු ඉක්මනින් දවා ගනිමින් සාන්ත පීතර විද්‍යාලය ජයග්‍රහණය වෙත රැගෙන ගියා.

ඒ අනුව පන්දුවාර 21කුත් පන්දු 3ක් අවසානයේ දී දේවපතිරාජ විද්‍යාලයට සියල්ලන්ම දැවී ලබා ගන්නට හැකි වුනේ ලකුණු 112ක් පමණයි.

  • සාන්ත පීතර විද්‍යාලය – 122/9 (27): කවික ජයසුන්දර 27, රුසද ගමගේ 24, ඉරුෂික තිමිර 3/14, චමින්ද සඳරුවන් 2/24.
  • දේවපතිරාජ විද්‍යාලය – 112 (21.3): පවන් සංදේශ් 35, ශෙනොන් රොද්‍රිගෝ 3/31, නිමුතු ගුණවර්ධන 2/18.

සුහද දෙදින ක්‍රිකට් තරග,

එසේම අද දිනය තුල 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් පිටියේ දෙදින සුහද තරග දෙකක් ක්‍රියාත්මක වුනා.

දෙවැනි දිනයට පැවති ගුරුකුල සහ ලුම්බිණි විද්‍යාල අතර තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුවත්, ලුම්බිණි විද්‍යාලය එහි පළමු ඉනිමේ වාසිය දිනා ගත්තා.

සාන්ත තෝමස් විද්‍යාලය සහ ඉසිපතන විද්‍යාලය අතර අද ආරම්භ වූ අනෙක් දෙදින තරගයේ දී සාර්ථක සහ පෙරළිකාර දස්කම් දැක්වීමට සාන්ත තෝමස් විද්‍යාලයේ වේගපන්දු යවන්නන් සමත් වුනා. ඒ ඉසිපතන පළමු ඉනිම ලකුණු 31කට සීමා කරමින්.

එහි දී ආකාශ් ප්‍රනාන්දු සහ නේතන් කල්දේරා යන වේගපන්දු යවන්නන් දෙදෙනා පිළිවෙළින් කඩුලු 5ක් සහ කඩුලු 4ක් දවාගෙන සුපිරි දස්කම් දැක්වූවා.

තරගයේ පළමු දිනය අවසන් වන විට, සිය පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරන සාන්ත තෝමස් විද්‍යාලය කඩුලු 4ක් දැවී ලකුණු 201ක් ලබාගෙන සිටින්නේ ඉසිපතන පළමු ඉනිමට වඩා ලකුණු 180ක වාසියක් ලබා ගෙනයි.

එහි දී රොමේෂ් මෙන්ඩිස් (ලකුණු 70) සහ සෙනේෂ් හෙට්ටිආරච්චි (ලකුණු 51*) අර්ධ ශතක ලබාගෙන දස්කම් අතරට පැමිණියා.

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය සහ ඉසිපතන විද්‍යාලය

  • ඉසිපතන විද්‍යාලය – 31 (20.3): ආකාශ් ප්‍රනාන්දු 5/08, නේතන් කල්දේරා 4/11
  • සාන්ත තෝමස් විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 201/4 (39.3): රොමේෂ් මෙන්ඩිස් 70, සෙනේෂ් හෙට්ටිආරච්චි 51*, සේනාධි බුලන්කුලම 29, මහිත් පෙරේරා 30*.

ගුරුකුල විද්‍යාලය සහ ලුම්බිණි විද්‍යාලය

  • ගුරුකුල විද්‍යාලය – 167 (64.4): පූර්ණ කල්හාර 42, වගීෂ ආමන්ත 32, දෙනුර දෙමන්සිත් 25, සහන් කෞශල්‍ය 3/13, යසිරු යුගාත් 3/48 & 205/7 (87.4): ජනිත් මිහිරංග 51*, මොහොමඩ් මුර්ශාඩ් 50*, ජනිත් ශෙහාන් 25, යුවන්ත මදුශංක 21, යසිරු යුගාත් 3/48
  • ලුම්බිණි විද්‍යාලය – 176 (52.1): මලිත් බිම්සර 66, නබීල් රාජුඩීන් 46, දුශාන් ඉමාෂා 31, සත්සර එශාන් 5/43, ජනිත් ෂෙහාන් 2/49.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<