ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ප්‍රධානියා ඉල්ලා අස්වෙයි

238

කොරෝනා වයිරසයත් සමඟින් ඇණහිටි ක්‍රිකට් ක්‍රීඩාව නැවත ආරම්භ වෙමින් පවතින අවස්ථාවේ දී ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක කෙවින් රොබට්ස් සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

කොරෝනා වයිරස අර්බුදය හමුවේ ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය හැසිරවීම සම්බන්ධයෙන් සෑහීමකට පත්නොවන හෙයින් එහි නායකත්වය වෙනස් කරන ලෙස සංවිධායක මණ්ඩලය නායකත්වයෙන් ඉල්ලා සිටීමත් සමඟ එම ආයතනය තුල අර්බුදයක් නිර්මාණය වූ අතර ඒ අනුව ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක කෙවින් රොබට්ස් අඟහරුවාදා ඉල්ලා අස්විය.

ඉන්දීය ක්‍රිකට් තරු කිහිපයක් තරග තහනමකට අතවනයි?

රොබට්ස්ගේ ඉවත් වීම වසංගතය අතරතුර මෙම තත්ත්වයට වැටෙන තුන්වැනි ඕස්ට්‍රේලියානු ක්‍රීඩා ප්‍රධානියා බවට පත්ව ඇත. ඕස්ට්‍රේලියාවේ රග්බි සම්මේලනයේ රේලීන් කාසල් සහ ජාතික රග්බි ලීගයේ ටොඩ් ග්‍රීන්බර්ග්ට මීට පෙර එලෙස අර්බුද හමුවේ තම ධූරවලින් ඉවත් විය.

ඕස්ට්‍රේලියා ක්‍රිකට් සභාපති අර්ල් එඩින්ග්ස් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පැවසුවේ විස්සයි විස්ස ලෝක කුසලාන ප්‍රධානී නික් හොක්ලි විසින් රොබට්ස්ගේ වගකීම් අතුරු පදනමක් මත පවරා ගන්නා බවත්, එම ධූරය සඳහා ස්ථිර ආදේශකයක් සඳහා සොයා බැලීමක් සිදු කරන බවයි.

“කෙවින්ට ඒ පිළිබඳව දැනිලා තිබුණා. ඒ වගේම මණ්ඩලය එකඟ වුනා. කොරෝනා වයිරසයෙන් පස්සේ නැවත යථා තත්ත්වයට පත්වෙන මේ වෙලාවේ ඕස්ට්‍රේලියාවේ ක්‍රිකට් නව නායකත්වයකට යන්න සූදානම්. සංවිධානය නැවත සකස් කිරීමට සුදුසුම කාලය මෙයයි” යනුවෙන් එඩින්ග්ස් වාර්තාකරුවන්ට පැවසීය.

රොබට්ස් සිය ක්‍රිකට් ධූරය වසර 3ක කොන්ත්‍රාත් කාලයක් සඳහා භාරගත්තේය. සිය තෙවසරක කොන්ත්‍රාත්තුවෙන් අඩක් පමණක් ගෙවී තිබිය දී ඉවත්ව යෑමට හේතුව විස්තර කිරීම එඩින්ග්ස් ප්‍රතික්ෂේප කළේය.

සංගක්කාරගෙන් කෝලි ගැන අනාවැකියක්

කෙසේ වෙතත්, හිටපු ඕස්ට්‍රේලියානු කඩුලු රකින්නා වන ඉයන් හීලි පැවසුවේ වයිරසය නිසා ඇති වන මූල්‍ය අවදානම්වලට ප්‍රතිචාර දැක්වීමේ දී රොබට්ස් පිළිබඳව ක්‍රීඩාවට සම්බන්ධ වූවන්ගේ විශ්වාසය නැති වී ඇති බවයි.

“ඔහු කිසිදු හේතුවක් නොමැතිව භීතියට පත්වුනා. වසංගතය හමුවේ ඉතා නොමේරූ ආකාරයකින් කටයුතු කළා. ඔහුට ඔහුගේ යම් යම් තීරණ පිළිබඳව ප්‍රාන්තවලට සහ ක්‍රීඩකයින්ට විනිවිදභාවයෙන් යුතුව පැහැදිලි කිරීමට නොහැකි වුනා” හීලි මෙල්බර්න් හි SEN ගුවන් විදුලියට පැවසීය.

රොබට්ස් ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනයේ බොහෝ කාර්ය මණ්ඩලය ඉවත් කර රාජ්‍ය ආයතන හා ක්‍රීඩකයින්ට කරනු ලබන ගෙවීම් කප්පාදු කිරීමට උත්සාහ කළ අතර වයිරසයෙන් තම ආයතනයේ ආදායමට දැඩි බලපෑමක් එල්ල වනු ඇතැයි බොහෝ විට තර්ක කළේය.

කෙසේ වෙතත් ඉන්දියාවට එරෙහි ටෙස්ට් තරගමාලාවක් ඇතුළුව ඕස්ට්‍රේලියාවේ දේශීය තරග සමය බොහෝ දුරට ඉදිරියට යා හැකි බව පැහැදිලි වීමෙන් පසුව රොබට්ස්ගේ එම තීරණයට පුළුල් ප්‍රතිරෝධයක් ලැබුණි.

47 හැවිරිදි රොබට්ස් නිව් සවුත් වේල්ස් හි හිටපු ආරම්භක පිතිකරුවෙකු වන අතර ක්‍රීඩකයන්ගේ ගෙවීම් කපා හැරීමට ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය 2017 දී ගත් අසාර්ථක පියවරට නායකත්වය දීමෙන් පසු ඔහු කිසි විටෙකත් ජනප්‍රිය චරිතයක් නොවීය.

ඔහුගේ කෙටි සේවා කාලය තුළ කැපී පෙනෙන සිදුවීම් වූයේ මාර්තු මාසයේ දී ඕස්ට්‍රේලියාව විසින් දිනා ගන්නා ලද කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට සත්කාරකත්වය සැපයීම සහ 2018 දී පන්දුව පළුදු කිරීමේ වංචාවෙන් පසු දඬුවම් එල්ල වූ හිටපු නායකයින් වන ස්ටීව් ස්මිත් සහ ඩේවිඩ් වෝනර් ටෙස්ට් කණ්ඩායමට නැවත එක් කිරීමයි.

“ඔහු ආයතනය ස්ථාවර කිරීමට සහ ප්‍රජාව තුළ ක්‍රිකට් ක්‍රීඩාව නැවත ගොඩනඟා ගැනීමට වෙහෙස මහන්සි වී වැඩ කළා” යැයි එඩින්ග්ස් පැවසීය.

දඬුවම් ලැබූ පකිස්තානු ක්‍රීඩකයාගෙන් ආයාචනයක්

ඕස්ට්‍රේලියාවේ සියලුම මට්ටමේ ක්‍රිකට් සඳහා ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්මක් මේ සතියේ නිකුත් කරන බව ක්‍රිකට් ආයතනය පැවසීය.

ඕස්ට්‍රේලියාව හා ඉන්දියාව අතර ටෙස්ට් තරගාවලිය සැලසුම් කළ පරිදි පැවැත්වීමට හැකිවනු ඇතැයි ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය බලාපොරොත්තු වේ.

ඕස්ට්‍රේලියාව කොරෝනා වයිරසය සාර්ථකව පාලනය කළ රටක් ලෙස සැලකෙන අතර එරට වාර්තා වූ රෝගීන් 7345 අතරින් රෝගීන් 6856ක් සුවය ලබා ඇති අතර වාර්තා වූ මරණ සංඛ්‍යාව 102කි.  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<