“ශ්‍රී ලංකාවේ පාපන්දු කඩාවැටීමට ප්‍රධානම හේතුව FFSL” – රූමි

981

වර්තමානයේ ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව තුළ උදාවී ඇති අඳුරු තත්වයට අදාළව මොහොමඩ් රූමි හසන් විසින් ශ්‍රී ලංකා පාපන්දු පරිපාලකයින් සහ මෙරට පාපන්දු ආකෘතිය විවේචනය කර ඇත. 

UTV නාලිකාවේ අබ්දුර් රහ්මාන් විසින් සිදු කළ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම නියෝජනය කළ හිටපු ක්‍රීඩකයෙකු සහ Colombo FC කණ්ඩායමේ වත්මන් ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන රූමි විසින් මේ ආකාරයට ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාවේ වත්මන් තත්වය පිළිබඳව ඇති සිය කලකිරීම පිළිබඳව අදහස් දක්වන්නට විය. 

ඒ අනුව ඔහු මෙහි දී සමස්තයක් ලෙස මෙරට ජාතික පාපන්දු කණ්ඩායම, පාසල් පාපන්දු ක්‍රීඩාව, මෙම යුගයේ සිටින ක්‍රීඩකයින් මෙන්ම ඔවුන් මෙම ‘Coronavirus’ වසංගත කාලය තුළ ඊට අනුගත විය යුතු ආකාරය පිළිබඳව ද අදහස් එක්කරනු ලැබීය. 

ජාත්‍යන්තර පාපන්දු ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව අවසන් ස්ථානයට ස්ථාන 4ක් පමණක් ඉදිරියෙන් එහි 206 වැනි ස්ථානය දක්වා පහත බැසීම පිළිබඳව විමසා සිටි විට ඔහු පවසා සිටියේ; 

“අපි ක්‍රීඩා කරපු 1980 සහ 1990 දශකවල ශ්‍රී ලංකාව හිටියේ ශ්‍රේණිගත කිරීම්වල 123 වැනි ස්ථානයේ. 2000 වසර වෙද්දී අපි හිටියේ 156 වැනි ස්ථානයේ. ඊට පස්සේ අනෙක් රටවල් ඉස්සරහට යන්න උත්සාහ කරද්දී අපි කෙමෙන් කෙමෙන් ශ්‍රේණිගත කිරීම්වල පහතට වැටෙන්න ගත්තා. 

මේකට පාපන්දු සම්මේලනයත් වගකියන්න ඕනේ, මොකද අපිට නිසි පාපන්දු ආකෘතියක් තිබුණේ නැහැ. අපිට නිසි සැලැස්මක් තිබුණේ නැහැ. ඒ වගේම අපි සතුව තාම තරුණ ක්‍රීඩකයින් දියුණු කිරීමේ නිසි වැඩසටහනකුත් නැහැ. ඉතින් අනෙක් රටවල් ඉස්සරහට යද්දී අපි පාපන්දු ක්‍රීඩාවෙන් තවත් අවුරුදු 30ක් විතර පසුපසට ගිහින් තියෙන්නේ. 

මේකට හේතුව තමයි අපි ළඟ නිසි සැලැස්මක් සහ වැඩපිළිවෙළක් නැති එක. ඔවුන් හරියට සැලසුම් කළොත් විතරයි අපේ ක්‍රීඩා සමාජ, පාසල්, යොවුන් සහ පුහුණු මධ්‍යස්ථාන වගේ හැම ඒ එක එක හැම තලයක්ම හරියට ව්‍යුහගත වෙන්නේ. නමුත් අද වෙනකන්ම මම එහෙම හරි සැලැස්මක් දැකලා නැහැ.” 

එමෙන්ම රූමි තවදුරටත් අදහස් දක්වමින් මෙහි දී පවසා සිටියේ මාලදිවයිනට පාපන්දු ක්‍රීඩාව ඉගැන්වූයේ ශ්‍රී ලංකාව වුවත්, ඔවුන් මේ වන විට දීර්ඝ ගමනක් පැමිණ අපව අභිබවා ගොස් ඇති බවයි. 

“ඒක ගැන කතා කරනවා නම් අපිට ඒක ගොඩක් ගැඹුරෙන් කතා කරන්න වෙනවා. මාලදිවයිනට ඔවුන්ගේ පාපන්දු ක්‍රීඩාව ගැන හොඳ දැක්මක් තිබුණා. ඒ කාලේ ගත්තොත් අපි ඔවුන්ව ගෝල 8, 9කින් පරාද කරයි. නමුත් එහෙමයි කියලා ඔවුන් කවදාවත් පසුබට වුනේ නැහැ. ශ්‍රී ලංකාව විතරක් නෙමෙයි ඔවුන් අනෙක් කණ්ඩායමක් එක්ක ක්‍රීඩා කරලත් පරාජයට පත්වුණා. ඒත් ඔවුන් ඒ හැම පරාජයකින් ම ඔවුන් ළඟ තිබුණ දුර්වලකම් ඉගෙන ගෙන ඒවා නිවැරදි කරගන්න කටයුතු කළා. ඒ තිබුණ දැක්ම සහ සැලසුම නිසා ඒක වෙනුවෙන් සටන් කරලා තමයි ඔවුන් ඉදිරියට ආවේ.” 

FA කුසලානයක් මෙන්ම ‘Dialog’ ශූරයින්ගේ කුසලානය තෙවරක් ද ජයග්‍රහණය කර ඇති රූමි මෙහි දී පරිපාලකයින් දෝෂාරෝපණය කරන අතරතුර වර්තමානයේ සිටින ක්‍රීඩකයින්ව විවේචනය කරන්නට ද කටයුතු කළේ ඔවුන් සිය උපරිම දක්‍ෂතා කරා ළඟා වීමට කටයුතු කර නොමැති බව දක්වමිනි. 

“ජාතික කණ්ඩායමේ ඇඳුමෙන් සැරසිලා අපේ රට නියෝජනය කරපු ක්‍රීඩකයෙක් විදිහට මට අපේ ක්‍රීඩකයින් දකිද්දී තියෙන්නේ ලොකු කලකිරීමක්. අපේ ක්‍රීඩකයින්ගේ විනයත් මේ වෙනකොට තියෙන ගැටලුවක්. අපේ කාලේ අපි වෙලාවට නිදාගත්තා, නිසි පරිදි ආහාර පාන ලබා ගත්තා, පුහුණුවීම්වලට වෙලාවට ගියා වගේම සමස්තයක් විදිහට ගත්තොත් අපිට හොඳ විනයක් තිබ්බා. 

නමුත් දැන් අපේ ක්‍රීඩකයින්ගේ විනය වගේම ගෙදර වැඩත් ගොඩක් අඩු තත්වයක තියෙන්නේ. ඒක තමයි අපි හොඳින් ක්‍රීඩා නොකරන්න හේතුව වෙලා තියෙන්නේ. ඇඳුම ඇඳලා සපත්තු දාපු පළියට ඔබ ක්‍රීඩකයෙක් වෙන්නේ නැහැ. ක්‍රීඩකයෙක් සතුව ස්වයං සූදානම කියන එක තියෙන්න ඕන. දැන් ඉන්න ක්‍රීඩකයින් ළඟ ඒක ගොඩක් අඩුයි. ඒ නිසා මේක ගොඩක් කලකිරෙන තත්වයක්.” 

Colombo FC කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරීත්වය දරන අතරතුර පසුගිය වසර දෙකක කාලය පුරාවට කොළඹ රාජකීය විද්‍යාලයේ ප්‍රධාන පාපන්දු පුහුණුකරු ලෙස ද කටයුතු කරනු ලැබූ රූමි එහි දී තමන්ගේම පාසල වූ සහිරා විද්‍යාලය සමඟ ශූරතා රැසක් ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව මාස 12ක් වැනි කෙටි කාලයක් තුළ දී රාජකීය විද්‍යාලයේ පාපන්දු ක්‍රීඩාවේ තත්වය ද සම්පූර්ණයෙන් ම වෙනස් කරන්නට සමත් විය. ඒ ඔහු රාජකීය විද්‍යාලයීය පාපන්දු කණ්ඩායම 2018 වසරේ දී සමස්ත ලංකා පාසල් පළමු කාණ්ඩයේ පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය කරා රැගෙන යාමත් සමඟයි. 

අපි මේක පාසල් තලයේ සිටම පටන් ගන්න ඕනේ. ගෙදර ඉඳන්ම මේවා උගන්නන්න ඕනේ. ඒ කියන්නේ අපි දරුවන්ට කියලා දෙන්න ඕනේ ක්‍රීඩාවේ වගේම ඔවුන්ගේ ජීවිතවලත් තියෙන වටිනාකම. නමුත් ගොඩ දෙනෙක් මේ දේවල් ඔවුන්ට කියලා දෙන්නේ නැහැ. මේ දේවල් ගැන වගේම යොවුන් කාලේ දී මේ දෙකම සමබරව කරගෙන යන විදිහ ගැන අපි දරුවන්ට කියලා දුන්නොත් ක්‍රීඩකයින් විදිහට ඔවුන් වැරදි පැත්තකට යොමුවෙන්න තියෙන අවස්ථාව ගොඩක් අඩුයි. 

ශ්‍රී ලංකාව ගත්තොත් අපි මෙහේ පාපන්දු ක්‍රීඩාව වෘත්තියක් විදිහට දකින්නේ නැහැ. නමුත් පාපන්දු කියන්නේ වෘත්තියක්. අපිට ක්‍රීඩකයින්ට ඔවුන් යොවුන් කාලයේ ඉඳලම හරි මාර්ගෝපදේශයක් ලබා දෙන්න පුළුවන් නම් අවසානයේ දී ඔවුන් හොඳ වෘත්තිකයින් බවට පත්වෙයි. අපි ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩකයින් දිහා බැලුවොත් ඔවුන් ධනවත් ක්‍රීඩකයින්. 

ඉතින් අපිට ඒ තත්වයට ක්‍රීඩකයින් දියුණු කරන්න ඕනේ නම් ඔවුන් යොවුන් අවධියේ සිට ම අපි ඒක පටන් ගන්න ඕනේ. මට සැලැස්මක් තියෙනවා ශ්‍රී ලංකාවේ පාපන්දු පාසලක් ආරම්භ කරන්න. අපි එතැන ක්‍රීඩකයින් දියුණු කිරීම සිදු කරලා ඔවුන්ව විදෙස් පාපන්දු සමාජ වලට සම්බන්ධ කළොත් ඒක හරහා ඔවුන්ට අවස්ථාවක් ලැබෙනවා එහෙට ගිහින් තමන්ට වටිනාකමක් ගොඩනඟා ගන්න.”

තවත් විශේෂාංග ලිපි;

එමෙන්ම ‘Coronavirus’ වසංගත තත්වය හේතුවෙන් මේ වන විට අපහසු කාලයකට මුහුණ දී සිටින පාසල් සහ ක්‍රීඩා සමාජ ක්‍රීඩකයින් වෙත මෙහි දී වටිනා අවවාදයක් ලබා දෙන්නට ද රූමි අමතක කළේ නැත. 

“අපි අපේ ගෙවල් ඇතුළටම වෙලා ඉන්නකොට ඒකෙන් අපේ ශරීරය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. අපේ ශක්තිය වගේම ශරීරයේ නම්‍යශීලී බවත් අඩුවෙන්න පුළුවන්. ඉතින් එතකොට අපි මානසිකව වැටෙන්න පුළුවන්. ඉතින් මට ක්‍රීඩකයින්ට දෙන්න තියෙන අවවාදය තමයි cardio, strengthening, on the spot running, skipping සහ මූලික ව්‍යායාම වගේ ව්‍යායාමවල නිරත වෙන්න කියන එක. ඒ වගේ ව්‍යායාම නිවසේම පොඩි ඉඩකඩක කරන්න පුළුවන්.

ඒ වගේ දේවල් විනාඩි 40 ගානේ අඩුම තරමේ සතියට දවස් 3ක් කළොත් ක්‍රීඩකයෙක්ට තමන්ගේ ශාරීරික යෝග්‍යතාවය පවත්වගන්න පුළුවන්. ඉතින් ඒක ලොකු දෙයක් නෙමෙයි. ඒත් මේ කාලේ පුරාවට ක්‍රීඩකයෙක් මොකුත්ම නොකර ඉඳලා බර වැඩි වුනාට පස්සේ ඒ බර අඩු කරගන්න ඔහුට මාස 6ක් හෝ 7ක් වගේ ලොකු කාලයක් ගතවෙන්න පුළුවන්. 

ඉතින් ඒ වගේ දෙයක් වෙන ඒක පාපන්දු ක්‍රීඩකයෙක්ට ගොඩක් අමාරු දෙයක්. ක්‍රීඩකයෙක් මාස 6-7ක කාලයක් තමන්ගේ බර අඩුකරගන්න විතරක් අවධානය යොමුකරනකොට ඔහුගේ අනෙක් හැකියාවන් සහ දක්‍ෂතාවය පහළ බහිනවා. ඒ නිසා තමන්ගේ ශාරීරික යෝග්‍යතාවය පවත්වගත්තොත් පුහුණුවීම් නැවත ආරම්භ කරද්දී ඒක ක්‍රීඩකයෙක්ට ලොකු පහසුවක්.”

තවත් කියවන්න;

මෑතක දී මොහොමඩ් අමනුල්ලා සමඟින් පාපන්දු පුහුණු කිරීමට අදාළව AFC A ඩිප්ලෝමාවක් ලබාගත් රූමි හට ඉදිරියේ දී ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කිරීමේ බලාපොරොත්තුවක් ඇත්දැයි විමසා සිටි විට ඔහු පවසා සිටියේ; 

“අතීතයේ දී මට පුහුණු කිරීමේ බලපත්‍රයට අදාළව ගැටලුවක් තිබුණා. ඔවුන් ඒක ගැන මට කතා කරලා තියෙනවා. ජාතික කණ්ඩායමක් පුහුණු කිරීමට නම් අපිට ‘A බලපත්‍රයක්’ තිබිය යුතුයි. ඉතින් ඒ කාලේ මට ඒක තිබුණේ නැති නිසා මට ජාතික කණ්ඩායමේ පුහුණුකරු වෙන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. නමුත් අනාගතයේ දී ජාතික කණ්ඩායම පුහුණු කරන්න මම කැමැත්තෙන් ඉන්නේ.”

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<