අහන් සහ සිතාර දඹුලු ක්‍රීඩකයෝ අමාරුවේ දමයි

SLC National Super League 4 Day Tournament 2024

394
SLC National Super League 4 Day Tournament 2024

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන National Super League සිව් දින ක්‍රිකට් තරගාවලියේ මෙම සතියේ දෙවැනි දිනය වූ අද දවස (9) නිමා වෙද්දී Team Kandy කණ්ඩායමේ නායක, අහන් වික්‍රමසිංහ සහ සිතාර ගිම්හාන් ලකුණු 158ක සබඳතාවක් ගොඩ නැගීමට සමත් වෙනවා.

ඔවුන් මෙම සබඳතාව ගොඩ නගන්නේ Team Dambulla කණ්ඩායමට එරෙහිවයි.

මෙම ඉනිම් සමඟින් අහන් වික්‍රමසිංහ සහ සිතාර ගිම්හාන් අද දවසේ අර්ධ ශතක ලැබූවන්ගේ ලැයිස්තුවට එක් වූ අතර ඔවුන් සමඟ එම කණ්ඩායම ම නියෝජනය කරන පවන්ත වීරසිංහ ද ඊට එක් වුණා.

පන්දු යැවීමේ දී දිනයේ හොඳම පන්දු යැවීම වාර්තා කළේ Team Galle කණ්ඩායමේ නිමේෂ් විමුක්ති. ඔහු Team Jaffna කණ්ඩායමට එරෙහි ව ලකුණු 44කට කඩුලු 4ක් දවා ගනිමින් දක්ෂතා දැක් වූවා.

Team Galle සහ Team Jaffna

  o ක්‍රීඩාංගණය – මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය, හම්බන්තොට

o කාසියේ වාසිය – Team Galle

පළමුවෙන් පන්දුවට පහර දුන් Team Galle ක්‍රීඩකයෝ පෙර දින කඩුලු 9ක් දැවී ලකුණු 265ක් ලබා සිටි අතර, අද දින උදෑසන ම ඔවුන් ඉනිම අත්හිටුවමින් ප්‍රතිවාදී ක්‍රීඩකයන්ට පන්දුවට පහර දීමට ආරාධනා කළා.

ඒ අනුව පිටියට පිවිසි ඔවුන් තම පළමු ඉනිම සඳහා ලබා ගත්තේ සියලුම දෙනා දැවී ලකුණු 185ක් පමණයි.

Team Jaffna කණ්ඩායම හා එක් ව සිටි හසිත බෝයගොඩට පෙර දින පන්දුවක් වැදීම නිසා තරගයෙන් විවේක ගැන්වුණ අතර ඒ වෙනුවෙන් රොන් චන්ද්‍රගුප්ත කණ්ඩායමට එක් කර තිබුණා.

නිශාන් මධුශ්ක සමඟ රොන් චන්ද්‍රගුප්ත Team Jaffna ඉනිම ආරම්භ කළ අතර ඔවුන් දෙදෙනා විසින් පළමු කඩුල්ලට පන්දු 148ක දී ලකුණු 69ක සබඳතාවක් එක් කළා. කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස රොන් චන්ද්‍රගුප්ත පන්දු 78කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 34ක් ලබා සිටිය දී දැවී ගියා.

ඊළඟ කඩුල්ල ලෙසින් නිශාන් මධුශ්ක පන්දු 103කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟ ලකුණු 49ක් ලබා සිටිය දී දැවී ගියා.

අනතුරුව Team Jaffna කණ්ඩායමට වැඩි ලකුණු ප්‍රමාණයක් එක් කළේ නිපුන් කරුණානායක. ඔහු පන්දු 117කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 39ක් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී නිමේෂ් විමුක්ති ලකුණු 41කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව මිලාන් රත්නායක ලකුණු 43කට කඩුලු 3ක්, නිශාන් පීරිස් කඩුලු 2ක් සහ උදිත් මධුශාන් කඩුල්ලක් ලෙසින් දවා ගත්තා.

ලකුණු 80ක් ඉදිරියෙන් සිටිමින් තම දෙවැනි ඉනිමට පිටියට පිවිසි Team Galle ක්‍රීඩකයෝ තරගයේ දෙවැනි දිනය අවසන් වන විට කිසිවෙක් නොදැවී ලකුණු 51ක් ලබා සිටියා.

ආරම්භක පිතිකරුවන් ලෙසින් පිටියට පිවිසි නායක සංගීත් කුරේ නොදැවී ලකුණු 28ක් සහ ඔෂඳ ප්‍රනාන්දු නොදැවී ලකුණු 21ක් ලබා සිටියා. මේ වෙද්දී ඔවුන් ප්‍රතිවාදීන්ට වඩා ලකුණු 131ක් ඉදිරියෙන් සිටිනවා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • Team Galle – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 265 (90.0)ඔෂඳ ප්‍රනාන්දු 58, මොහොමඩ් ශමාස් 31, විශාද් රන්දික 46, ධනංජය ලක්ෂාන් 33, නිමේෂ් විමුක්ති 25, මිලාන් රත්නායක 22, නිශාන් පීරිස් නොදැවී 26, සංතුශ් ගුණතිලක 3/21, රවිඳු ප්‍රනාන්දු 2/41, ධනංජය ලක්ෂාන් 2/26
  • Team Jaffna– පළමු ඉනිම සියලුම දෙනා දැවී 185 (76.4)නිශාන් මධුශ්ක 49, රොන් චන්ද්‍රගුප්ත 34, නිපුන් කරුණානායක 39, මිලාන් රත්නායක 3/43, නිශාන් පීරිස් 2/22, නිමේෂ් විමුක්ති 4/41
  • Team Galle– දෙවැනි ඉනිම කිසිවෙක් නොදැවී 51 (11.0)සංගීත් කුරේ නොදැවී 28, ඔෂඳ ප්‍රනාන්දු නොදැවී 21

 

Team Dambulla සහ Team Kandy

  o ක්‍රීඩාංගණය – රංගිරි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය, දඹුල්ල.

o කාසියේ වාසිය – Team Dambulla

කාසියේ වාසිය දිනා ගනිමින් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි Team Dambulla කණ්ඩායම තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 311ක් ලබා ගත්තා.

ඊට පිළිතුරු ලෙසින් පෙර දිනයේ දී පිටියට පිවිසි  Team Kandy ක්‍රීඩකයෝ කිසිවෙක් නොදැවී ලකුණු 14ක් ලබා සිටි අතර අද ඔවුන් තරගය දෙවැනි දිනයට නතර කරන විට කඩුලු 9ක් දැවී ලකුණු 369ක් ලබා සිටියා. ඒ අනුව ඔවුන් ප්‍රතිවාදීන්ට වඩා මේ වෙද්දී ලකුණු 58ක ඉදිරියෙන් පසු වෙනවා.

Team Kandy ඉනිම වෙනුවෙන් අර්ධ ශතක ඉනිම් 3ක් වාර්තා වීම කැපී පෙණුනා. ඒ අතුරින් ඉහළ ම ලකුණු වාර්තා කිරීමේ ගෞරවය සිතාර ගිම්හාන් සතු වෙනවා. ඔහු පන්දු 107කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 94ක් ලබා ගන්නවා.

ඊට අමතර ව නායක අහන් වික්‍රමසිංහ පන්දු 82කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 75ක් ලබා ගන්නවා. ඔවුන් දෙදෙනා 5 වැනි කඩුල්ල සඳහා පන්දු 174කට මුහුණ දෙමින් ලකුණු 158ක සබඳතාවක් ගොඩ නැගීමට සමත් වෙනවා.

ඔවුන් දෙදෙනාට අමතර ව පවන්ත වීරසිංහ පන්දු 117කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 60ක් ලබා ගන්නවා.

කඩුලු දවා ගැනීමේ දී කමිඳු මෙන්ඩිස්, දුශාන් හේමන්ත සහ මර්වින් අභිනාෂ් කඩුලු 2 බැගින් දවා ගන්නා ලද අතර සොනාල් දිනූෂ, මොහොමඩ් ෂිරාස් සහ චලන ද සිල්වා විසින් කඩුල්ල බැගින් දවා ගන්නවා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • Team Dambulla – පළමු ඉනිම සියලුම දෙනා දැවී 311 (83.0) රනේෂ් සිල්වා 32, කමිඳු මෙන්ඩිස් 73, සොනාල් දිනූෂ 82, දුශාන් හේමන්ත 30, චමිඳු විජේසිංහ 39, ලසිත් ඇඹුල්දෙණිය 2/67, වනුජ සහන් 6/70
  • Team Kandy – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 369 (94.0) කසුන් විදුර 34, පවන්ත වීරසිංහ 60, සහන් කෝසල 29, සිතාර ගිම්හාන් 94, අහන් වික්‍රමසිංහ 75, වනුජ සහන් නොදැවී 29, මර්වින් අභිනාෂ් 2/77, දුශාන් හේමන්ත 2/53, කමිඳු මෙන්ඩිස් 2/35

මෙම තරග ද්විත්ය හෙට (10) තෙවැනි දිනයට ක්‍රියාත්මක වීමට නියමිතයි.

තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<