Home Sinhala ශතක පිට ශතක වාර්තා වූ තරගයක පැතුම් සියල්ලන්ට ම ඉහළින් වැජඹෙයි

ශතක පිට ශතක වාර්තා වූ තරගයක පැතුම් සියල්ලන්ට ම ඉහළින් වැජඹෙයි

Afghanistan Tour of Sri Lanka 2024

173

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර පළමු එක්දින ක්‍රිකට් තරගයේ ශ්‍රී ලංකා ඉනිම ලකුණු 381 දක්වා රැගෙන යාමට පැතුම් නිස්සංකගේ වාර්තාගත ද්විත්ව ශතකයට හැකියාව ලැබුණා. 

තරගයේ කාසියේ වාසිය ඇෆ්ගන් නායක Hashmatullah Shahidi විසින් ජයග්‍රහණය කළ අතර ඔහු විසින් පළමුව පන්දු යැවීම තෝරා ගත්තා. මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී අද (09) දහවල් ආරම්භ වුනු මෙම තරගයේ දී කණ්ඩායම් ද්විත්වය විසින් ම තම කණ්ඩායමේ වේගපන්දු බළඇණිය පිළිබඳ වැඩි බලාපොරොත්තු තබා ඇති බවක් පෙනෙන්නට තිබුණා. 

ඇෆ්ගනිස්තානය විසින් වේගපන්දු යවන්නන් සිව් දෙනෙකු සමඟින් මෙම තරගයට අවතීර්ණ වීමට තීරණය කර තිබූ අතර ශ්‍රී ලංකාව ද විශේෂඥ වේගපන්දු යවන්නන් තිදෙනෙකු සමඟ තුන් ඉරියව් වේගපන්දු යවන්නකු ද කණ්ඩායමට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණා. 

මෙහි දී ශ්‍රී ලංකාව විසින් මීට පෙර සිම්බාබ්වේ සමඟ පැවැත්වුණු අවසන් එක්දින තරගයට සහභාගී වූ කණ්ඩායමෙන් ශෙවෝන් ඩැනියෙල් සහ සහන් ආරච්ච්ගේ ඉවත් කරමින් ඒ වෙනුවට පැතුම් නිස්සංක සහ ප්‍රමෝද් මදුශාන් කණ්ඩායමට ඇතුළත් කර තිබෙනවා.  

ශ්‍රී ලංකාව: 

අවිශ්ක ප්‍රනාන්දු, පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස් (නායක), සදීර සමරවික්‍රම, චරිත් අසලංක, ජනිත් ලියනගේ, වනිඳු හසරංග, මහීෂ් තීක්ශණ, දුශ්මන්ත චමීර, ප්‍රමෝද් මදුශාන්, ඩිල්ශාන් මදුශංක  

ඇෆ්ගනිස්තානය: 

Rahmanullah Gurbaz, Ibrahim Zadran, Rahmat Shah, Hashmatullah Shahidi(c), Mohammad Nabi, Ikram Alikhil(w), Gulbadin Naib, Azmatullah Omarzai, Noor Ahmad, Fazalhaq Farooqi, Fareed Ahmad Malik 

තරගය ආරම්භයේ පටන් ම ඇෆ්ගනිස්තානය විසින් වේගපන්දු යවන්නන් සිව් දෙනෙකු සමඟ තරගයට පැමිණීම කෙතරම් දුරට සාර්ථක ද යන්න පිළිබඳ සැක පහළ වුනා. එමෙන්ම නිමා වූ සිම්බාබ්වේ තරගාවලියේ දී තරමක් අසාර්ථක වූ ශ්‍රී ලංකා ඉනිමේ ආරම්භයට මෙවර ඉතා හොඳ ස්ථාවර බවක් ලබා දීමට පැතුම් සහ අවිශ්ක ප්‍රනාන්දු විසින් සමත් වුනා. 

ඔවුන් දෙදෙනා විසින් පන්දුවාර 26 පන්දු දෙකක් තුළ ඉනිමේ පළමු කඩුල්ල වෙනුවෙන් වේගවත් ලකුණු 182ක් එක් කිරීමට සමත් වුනා. ඇෆ්ගන් පන්දු යවන්නන් හට දිගට හරහට පහර දුන් අවිශ්ක විසින් පන්දු 88ක් තුළ ලකුණු 88ක් ලබා ගැනීමට සමත් වූ අතර, ඒ වෙනුවෙන් අවිශ්කගේ පිත්තෙන් හයේ පහර තුනක් සහ හතරේ පහර 8 එල්ල වුනා. 

අවිශ්කගේ දැවී යාමෙන් පසුව පැතුම් සමඟ කඩුල්ලේ එක් වුන නායක කුසල් මෙන්ඩිස් හට නම් අද දිනය එතරම් සාර්ථක එකක් වුනේ නැහැ. මෙන්ඩිස් පන්දු 31ක් වැය කරමින් ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 16ක් පමණයි. කෙසේ වෙතත් මෙන්ඩිස්ගෙන් පසුව පැතුම් සමඟ කඩුල්ලේ එක් වූ සදීර සමරවික්‍රම විසින් ඉනිමේ 3 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 69ක් තුළ ලකුණු 120ක තවත් වේගවත් සබඳතාවක් පැවැත්වීමට සමත් වුනා. මෙහි දී සදීර විසින් 36කින් ලකුණු 44ක් ලබා ගැනීමට සමත් වුනා. සදීරගෙන් ලද සහයත් සමඟින් පැතුම් මෙම කාලය තුළ පන්දු 35ක් පමණක් වැය කරමින් ලකුණු 71ක් ලබා ගැනීමට සමත් වුනා. 

ඉනිමේ 48 වැනි පන්දුවාරය ක්‍රියාත්මක කළ Fareed Ahmad විසින් සදීරගේ කඩුල්ල දවා ගැනීමට සමත් වූ අතර, ඉන් පසුව චරිත් අසලංක පැතුම් සමඟින් කඩුල්ලේ එක් වුනා. 

මේ වන විට පැතුම් ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගැනීමේ වාර්තාව සහ සිය ද්විත්ව ශතකයට සමීප වී සිටි නිසා අසලංක විසින් හැකි සෑම මොහොතක ම පැතුම්ට පිතිකරණ වගකීම බාර දුන්නා. එයින් උපරිම ඵල නෙලාගත් පැතුම් ඉනිමේ 49 වැනි පන්දුවාරයේ 5 වැනි පන්දුවේ දී එක්දින ඉනිමක ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වීමේ වාර්තාව බිඳ හෙළීමට සමත් වුනේ මීට පෙර වාර්තාවේ හිමි කරු වූ සනත් ජයසූරියගේ දෑස් මානයේ දීමයි. 

2000 වසරේ දී ඉන්දියාවට එරෙහිව ලකුණු 189ක් ලබා ගනිමින් ශ්‍රී ලංකාවේ ඉහළම එක්දින ඉනිමේ වාර්තාව පිහිටවූ සනත් ජයසූරිය හුනස්නෙන් නැඟී සිටිමින් පැතුම් වෙනුවෙන් අත්පොළසන් නගන අතරේ තමන් මුහුණ දුන් මීළඟ පන්දුවට ද පැතුම් දැවැන්ත හයේ පහරක් එල්ල කළා. 

එතැනින් ද නොනැවතුණු පැතුම් තරගයේ අවසන් පන්දුවාරයේ දී ශ්‍රී ලාංකිකයකු විසින් එක්දින ජාත්‍යන්තර තරගයක වාර්තා කළ පළමු ද්විත්ව ශතකය ද තමන්ගේ කර ගැනීමට සමත් වූ අතර, තරගයේ නියමිත පන්දුවාර 50 අවසන් වන විට පැතුම් නිස්සංක විසින් නොදැවී ලකුණු 210ක් ලබා ගැනීමට සමත් වී සිටියා. 

සිය ලකුණු 210 ලබා ගැනීම සඳහා පැතුම් වැය කළේ පන්දු 139ක් පමණක් වන අතර ඔහුගේ ඉනිමේ ප්‍රහාරාත්මක වේගය 151.07ක් වැනි ඉහළ අගයක රැඳී තිබුණා. 

එමෙන්ම මෙම ඉනිම වෙනුවෙන් හයේ පහර 8ක් සහ හතරේ පහර 20ක් එක් කර ගැනීමට පැතුම් සමත් වුනා.  

ඒ අනුව අද පටන් ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින ඉනිමක ඉහළම ලකුණු ලාභියාගේ වාර්තාව පැතුම් නිස්සංකගේ නම ඉදිරියෙන් ලියැවී පවතිනු ඇති. 

ශ්‍රී ලංකා ඉනිමේ අවසන් පන්දුවාර 10 තුළ පමණක් ශ්‍රී ලංකා පිතිකරුවන් විසින් එක් කඩුල්ලක් දැවී යමින් ලකුණු 120ක් ලබා ගැනීමට සමත් වීම විශේෂත්වයක්. 

ඇෆ්ගනිස්තානය පාර්ශවයෙන් පන්දු යැවීමෙන් යම පමණකට හෝ සාර්ථක වුනේ හිටපු නායක Mohommad Nabi පමණයි. ඔහු විසින් සිය පන්දුවාර 10 තුළ ලකුණු 44කට එක් කඩුල්ලක් බිඳ හෙළීමට සමත් වුනා. අනෙක් පන්දු යවන්නන් සියල්ලන් ම පන්දුවාරයකට ලකුණු 7කට වඩා ලබා දෙමිනුයි සිය පන්දු යැවීම් සිදු කර තිබුණේ. 

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවෙන් ලද දැවැන්ත ඉලක්කය හඹා යාමට පිටියට පිවිසුණු ඇෆ්ගනිස්තාන මුල් පෙළ පිතිකරුවන්ට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට ප්‍රමෝද් මදුශාන් ප්‍රමුඛ ශ්‍රී ලංකා වේගපන්දු යවන්නන් විසින් ඉඩ ලබා දුන්නේ නැහැ. 

තරගයේ මුල් පන්දුවාර කිහිපය තුළ කඩුල්ලෙන් ලද වාසිය ද සමඟින් ප්‍රමෝද් මදුශාන් විසින් ඉක්මන් කඩුලු 3ක් බිඳ හෙළීමට සමත් වූ අතර, ඉන් පසුව දුශ්මන්ත චමීර ද තවත් ඇෆ්ගන් කඩුලු ද්විත්වයක් බිඳ හෙළීමට සමත් වුනා. 

ඒ අනුව ඉනිමේ 8 වැනි පන්දුවාරයේ තෙවන පන්දුව වන විට ඇෆ්ගනිස්තාන ඉනිම කඩුලු 5කට ලකුණු 55ක් ලෙස දිස් වුනා. නමුත් මේ වන විට පන්දු යවන්නන් හට කඩුල්ලෙන් ලද සහයෝගය කෙමෙන් අඩු වෙමින් පැවති අතර, මේ හේතුවෙන් එතැන් පටන් ඇෆ්ගන් ඉනිමේ හය වැනි කඩුල්ල වෙනුවෙන් පිටියේ එක් වූ Azmatullah Omarzai සහ හිටපු නායක Mohammad Nabi විසින් විශිෂ්ට සබඳතාවකට මුල පිරුවා. 

මොවුන් දෙදෙනා විසින් පළමුව තරමක් සෙමෙන් සිය ඉනිම් ආරම්භ කළ නමුත් පසුව පිටියේ වාසිය ද සමඟ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට දිගට හරහට පහර දීමට පටන් ගත්තා. 

පන්දු 222ක් මුළුල්ලේ Omarzai සහ Nabi යුගලය විසින් කඩුල්ලේ රැඳී සිටිමින් ලකුණු 242ක දැවැන්ත සබඳතාවක් පැවැත්වීමට සමත් වූ අතර, මෙය ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේ හය වැනි කඩුල්ල වෙනුවෙන් පැවැත්වුණු දෙවැනි හොඳම සබඳතාව ලෙස ද වාර්තා අතරට එක් වුනා.  

වරෙක මෙම සබඳතාව නිසා තරගයේ වාසිය ඇෆ්ගනිස්තානය දෙසට හැරවෙන බවක් පවා පෙනෙන්නට තිබුනත් නැවතත් ක්‍රියාත්මක වූ ප්‍රමෝද් මදුශාන් සිය සිව් වැනි කඩුල්ල ලෙස Nabi ව දවා ගැනීමට සමත් වුනා. 

ඒ වන විට Mohommad Nabi පන්දු 130කින් ලකුණු 136ක් ලබා ගැනීමට සමත් වී සිටියා. Nabiගේ මෙම ඉනිමට හයේ පහර තුනක් සහ හතරේ පහර 15ක් ඇතුළත් වුනා. 

Nabiගේ දැවී යාමෙන් පසුවත් Omarzai සිය ප්‍රවේගකාරී ඉනිම නතර කරන ආකාරයක් පෙනෙන්නට තිබුණේ නැහැ. ඉනිමේ අංක අට පිතිකරු ලෙස පිටියට පිවිසි Ikram Alikhil සමඟ එක් වූ Omarzai හත් වැනි කඩුල්ල වෙනුවෙන් තවත් ලකුණු 42ක් එක් කිරීමට සමත් වුනා. 

කෙසේ වෙතත් එය ජයග්‍රහණයක් කරා යාමට නම් ඇෆ්ගනිස්තානයට ප්‍රමාණවත් වුනේ නැහැ. නියමිත පන්දුවාර 50 අවසන් වන විට ඇෆ්ගනිස්තානය විසින් කඩුලු 7ක් දැවී ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 339ක් පමණයි. ඒ වන විට නොදැවී කඩුල්ලේ රැඳී සිටි Azmatullah Omarzai පන්දු 115කින් ලකුණු 149ක් ලබා ගැනීමට සමත් වී සිටියා. Omarzaiගේ මෙම ඉනිම සඳහා හයේ පහර 6ක් සහ හතරේ පහර 13ක් අඩංගු වුනා. 

ඒ අනුව ශ්‍රී ලංකාවට මෙම තරගයෙන් ලකුණු 42ක ජයග්‍රහණයක් හිමි වුනා.  

තරගයේ වීරයා සම්මානය හිමි වුනේ විශිෂ්ට ද්විත්ව ශතකයක් වාර්තා කළ පැතුම් නිස්සංකටයි. 

මේ අතර අද තරගයේ දී පැතුම්, Nabi සහ Omarzai යන පිතිකරුවන් තිදෙනා ම සිය හොඳම එක්දින ඉනිම් දියත් කිරීමට සමත් වූ අතර, ලකුණු 75කට ඇෆ්ගන් කඩුලු 4ක් බිඳ හෙළූ ප්‍රමෝද් මදුශාන් ද සිය හොඳම එක්දින පන්දු යැවීම සටහන් කර ගැනීමට සමත් වීම විශේෂත්වයක්. 

ඇෆ්ගන් – ශ්‍රී ලංකා දෙවැනි එක්දින ක්‍රිකට් තරගය ඉරිදා (11) පැවැත්වීමට නියමිතයි.  

එම තරගය පිළිබඳව ද සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

Result


Sri Lanka
381/3 (50)

Afghanistan
339/6 (50)

Batsmen R B 4s 6s SR
Pathum Nissanka not out 210 139 20 8 151.08
Avishka Fernando c Ibrahim Zadran b Fareed Ahmad 88 88 8 3 100.00
Kusal Mendis c Gulbadin Naib b Mohammad Nabi 16 31 1 0 51.61
Sadeera Samarawickrama c Azmatullah Omarzai b Fareed Ahmad 45 36 4 1 125.00
Charith Asalanka not out 7 8 0 0 87.50


Extras 15 (b 0 , lb 3 , nb 2, w 10, pen 0)
Total 381/3 (50 Overs, RR: 7.62)
Bowling O M R W Econ
Fazal Haq Farooqi 9 0 77 0 8.56
Azmatullah Omarzai 6 0 55 0 9.17
Fareed Ahmad 9 1 79 2 8.78
Gulbadin Naib 8 0 61 0 7.62
Noor Ahmad 8 0 62 0 7.75
Mohammad Nabi 10 0 44 1 4.40


Batsmen R B 4s 6s SR
Rahmanullah Gurbaz b Pramod Madushan 1 3 0 0 33.33
Ibrahim Zadran c Pathum Nissanka b Pramod Madushan 4 7 1 0 57.14
Rahmat Shah c Kusal Mendis b Dushmantha Chameera 7 14 0 0 50.00
Hashmatullah Shahidi b Pramod Madushan 7 11 1 0 63.64
Azmatullah Omarzai not out 149 115 13 6 129.57
Gulbadin Naib c Pathum Nissanka b Dushmantha Chameera 16 7 4 0 228.57
Mohammad Nabi c & b Pramod Madushan 136 130 15 3 104.62
Ikram Alikhil not out 10 14 1 0 71.43


Extras 9 (b 0 , lb 3 , nb 1, w 5, pen 0)
Total 339/6 (50 Overs, RR: 6.78)
Bowling O M R W Econ
Dilshan Madushanka 9 0 65 0 7.22
Pramod Madushan 10 0 75 4 7.50
Dushmantha Chameera 7.3 0 55 2 7.53
Wanidu Hasaranga 10 0 57 0 5.70
Maheesh Theekshana 10 0 56 0 5.60
Janith Liyanage  3 0 25 0 8.33
Charith Asalanka 0.3 0 3 0 10.00



තරගය පිළිබඳ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<