සොනාල් සහ වනුජ දිනය වර්ණවත් කරයි

SLC National Super League 4 Day Tournament 2024

111
SLC National Super League 4 Day Tournament 2024

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන National Super League සිව් දින ක්‍රිකට් තරගාවලියේ අද (8) ආරම්භ වූ සතියේ පළමු දිනයේ දී පිතිකරුවන් ලෙසින් දක්ෂතා දැක්වීමට ඔෂඳ ප්‍රනාන්දු, කමිඳු  මෙන්ඩිස් සහ සොනාල් දිනූෂ සමත් වූවා.

ඊට අමතර ව පන්දු යැවීමේ දී දිනයේ දක්ෂතම පන්දු යවන්නා වූයේ  Team Kandy කණ්ඩායමේ වනුජ සහන්. ඔහු Team Dambulla කණ්ඩායමට එරෙහිව කඩුලු 6ක් දවා ගත්තා.

Team Galle සහ Team Jaffna

  o ක්‍රීඩාංගණය – මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය, හම්බන්තොට

o කාසියේ වාසිය – Team Galle

Team Jaffna: ධනංජය ද සිල්වා (නායක), නිශාන් මදුශ්ක, හසිත බෝයගොඩ, නිපුන් කරුණානායක, කමේෂ් නිර්මාල් (කඩුලු රකින්නා), සංතුශ් ගුණතිලක, රවිඳු ප්‍රනාන්දු, ලහිරු මධුශංක, දිලුම් සුදීර, ශෂික දුල්ශාන්, ශිරාන් ප්‍රනාන්දු.

Team Galle: සංගීත් කුරේ (නායක), ඔෂඳ ප්‍රනාන්දු, ලක්ෂාන් එදිරිසිංහ, මොහොමඩ් ශමාස්, පසිඳු සූරියබණ්ඩාර, ධනංජය ලක්ෂාන්, විශාද් රන්දික (කඩුලු රකින්නා), නිමේෂ් විමුක්ති, නිශාන් පීරිස්, මිලාන් රත්නායක, උදිත මධුශාන්.

කාසියේ වාසිය දිනා ගත් ගාලු නායක සංගීත් කුරේ පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව තම කණ්ඩායම සතු කර ගත්තා. ඒ අනුව ඔවුන් තම පළමු ඉනිම වෙනුවෙන් පළමු දිනය අවසන් වෙද්දී කඩුලු 9ක් දැවී ලකුණු 265ක් ලබා සිටියා.

ගාලු ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ ආරම්භක පිතිකරු ඔෂඳ ප්‍රනාන්දු. ඔහු පන්දු 92කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සමඟින් ලකුණු 58ක් ලබා ගත්තා. පළමු කඩුල්ල වෙනුවෙන් සංගීත් කුරේ සමඟ එක් වෙමින් ලකුණු 31ක සබඳතාවක් ගොඩ නගන ඔහු දෙවැනි කඩුල්ල වෙනුවෙන් මොහොමඩ් ශමාස් (31) එක්ව පන්දු 128ක දී ලකුණු 67ක සබඳතාවක් ද ගොඩ නගනවා.

මොහොමඩ් ශමාස්ගේ දැවී යෑමත් සමඟින් ගාලු ඉදිරි පෙළ තවත් පිතිකරුවන් දෙදෙනෙක් ලකුණු 2ක් තුළ දවා ගැනීමට සංතුශ් ගුණතිලක සමත් වෙද්දී ඔෂඳ ප්‍රනාන්දු 5 වැනි කඩුල්ල ලෙසින් දැවී යනවා.

අනතුරුව කඩුල්ලේ දී නැවත වතාවක් ගාලු ඉනිම ගොඩ නැගීමට විශාද් රන්දික සහ ධනංජය ලක්ෂාන් සමත් වූවා. ඔවුන් දෙදෙනා එක් ව 6 වැනි කඩුල්ලට ලකුණු 59ක සබඳතාවක් ගොඩ නගනවා.

ධනංජය ලක්ෂාන් පන්දු 55කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 33ක් රැස් කරද්දී විශාද් රන්දික පන්දු 101කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 46ක් ලබා ගන්නවා.

අනතුරු ව නිමේෂ් විමුක්ති ද පන්දු 35ක දී හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 25ක් ගාලු කණ්ඩායමට එක් කළ අතර 9 වැනි කඩුල්ලට එක් වූ මිලාන් රත්නායක සහ නිශාන් පීරිස් ලකුණු 44ක සබඳතාක් එක් කළා.

මිලාන් රත්නායක පන්දු 73කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 22ක් ලබා ගත් අතර තරගය පළමු දිනයට නතර කරන විට නිශාන් පීරිස් ලකුණු 26ක් ද සහ උදිත් මධුශාන් ලකුණු 4ක් ද ලබා නොදැවී පිටියේ රැදී සිටියා.

කඩුලු ලබා ගැනීමේ දී සංතුශ් ගුණතිලක ලකුණු 21කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව රවිඳු ප්‍රනාන්දු සහ ධනංජය ද සිල්වා කඩුලු 2 බැගින් දවා ගත් අතර දිලුම් සුදීර කඩුල්ලක් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • Team Galle – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 265 (90.0)ඔෂඳ ප්‍රනාන්දු 58, මොහොමඩ් ශමාස් 31, විශාද් රන්දික 46, ධනංජය ලක්ෂාන් 33, නිමේෂ් විමුක්ති 25, මිලාන් රත්නායක 22, නිශාන් පීරිස් නොදැවී 26, සංතුශ් ගුණතිලක 3/21, රවිඳු ප්‍රනාන්දු 2/41, ධනංජය ලක්ෂාන් 2/26

 

Team Dambulla සහ Team Kandy

  o ක්‍රීඩාංගණය – රංගිරි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය, දඹුල්ල.

o කාසියේ වාසිය – Team Dambulla

Team Dambulla – රනේෂ් සිල්වා (නායක), සනොජ් දර්ශික, කමිඳු මෙන්ඩිස්, මිනොද් භානුක (කඩුලු රකින්නා), පවන් රත්නායක, සොනාල් දිනූෂා, දුශාන් හේමන්ත, චමිඳු විජේසිංහ, චලන ද සිල්වා, මොහොමඩ් ශිරාස්, මර්වින් අභිනාශ්.

Team Kandy – අහන් වික්‍රමසිංහ (නායක), කසුන් විදුර, කමිල් මිෂාර, සිතාර ගිම්හාන් (කඩුලු රකින්නා), පවන්ත වීරසිංහ, ලහිරු කුමාර, සහන් කෝසල, වනුජ සහන්, අශේන් ඩැනියෙල්, නිම්සර අතරගල්ල, ලසිත් ඇඹුල්දෙණිය.

කාසියේ වාසිය දිනා ගනිමින් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි Team Dambulla කණ්ඩායම තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 311ක් ලබා ගත්තා.

එම ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගත්තේ සොනාල් දිනූෂ. ඔහු පන්දු 109කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සමඟින් ලකුණු 82ක් ලබා ගන්නවා. ඊට අමතර ව කමිඳු මෙන්ඩිස් ද ලකුණු 73ක් ලබා ගන්නවා. ඔහුගේ ඉනිම වෙනුවෙන් පන්දු 97ක් වැය ව තිබූ අතර ඊට හතරේ පහර 11ක් ඇතුලත් ව තිබුණා.

ඔවුන් දෙදෙනා අතර 5 වැනි කඩුල්ලට පන්දු 92ක් තුළ ලකුණු 76ක සබඳතාවක් එක් වූ අතර එය එම ඉනිමේ හොඳම ලකුණු සබඳතාව ද වූවා.

ඊට අමතර ව 6 වැනි කඩුල්ල වෙනුවෙන් ද දුශාන් හේමන්ත (30) සමඟ එක් වූ සොනාල් දිනූෂ පන්දු 114ක දී ලකුණු 74ක සබඳතාවක් එක් කළා. මෙම ඉනිම ගොඩ නැගීමේ දී චමිඳු විජේසිංහ ද පන්දු 68කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟන් ලකුණු 39ක් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී 20 හැවිරිදි වියේ පසුවෙන වමතින් දඟ පන්දු යවන වනුජ සහන් ලකුණු 70කට කඩුලු 6ක් දවා ගනිමින් දවසේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ලසිත් ඇඹුල්දෙණිය කඩුලු 2ක් ද සහ ලහිරු කුමාර සහ නිම්සර අතරගල්ල කඩුල්ල බැගින් ද දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි Team Kandy ක්‍රීඩකයෝ දිනය අවසන් වන විට කිසිවෙක් නොදැවී ලකුණු 14ක් ලබා සිටියා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • Team Dambulla– පළමු ඉනිම සියලුම දෙනා දැවී 311 (83.0)රනේෂ් සිල්වා 32, කමිඳු මෙන්ඩිස් 73, සොනාල් දිනූෂ 82, දුශාන් හේමන්ත 30, චමිඳු විජේසිංහ 39, ලසිත් ඇඹුල්දෙණිය 2/67, වනුජ සහන් 6/70
  • Team Kandy– පළමු ඉනිම කිසිවෙක් නොදැවී 14 (4.0)

මෙම තරග ද්විත්ය හෙට (09) දෙවැනි දිනයට ක්‍රියාත්මක වීමට නියමිතයි.

තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<