ඇෆ්ගනිස්තානය බංගලියන්ගේ හැව අරී

294

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ නිමා වූ හය වැනි තරගයේ දී බංග්ලාදේශයට එරෙහිව ලකුණු 136ක ජයග්‍රහණයක් ලබා ගත් ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයෝ පළමු වටය නිමා වෙද්දී A කාණ්ඩයේ පළමු ස්ථානය ද දිනා ගැනීමට සමත් වූහ.  

අබුඩාබි ෂෙයික් ෂායෙඩ් ක්‍රීඩාංගණයේ දී (20) පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන්ම පන්දුවට පහර දීම තෝරා ගත් ඇෆ්ගන් ක්‍රීඩකයෝ කඩුලු 7ක් දැවී ලකුණු 255ක් ලබා ගත්හ. ඊට පිළිතුරු ලෙසින් බංග්ලාදේශ කණ්ඩායමේ සියලුම දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු  119ක් පමණි.

ඉන්දියාවට පහසු ජයක්

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ කලාපයේ ප්‍රබලයන් දෙදෙනා අතර ඩුබායි ජාත්‍යන්තර …

ඇෆ්ගනිස්තාන ඉනිමේ වඩාත් කැපී පෙණෙන පිතිකරු වූයේ තම 20 වැනි උපන් දිනය සමරමින් තරගයට පිවිසි අංක 9 පිතිකරු රශීඩ් ඛාන් ය. රශීඩ් අද තරගයේ දී තම එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ 3 වැනි අර්ධ ශතකය වාර්තා කළේය. ඒ පන්දු 31ක දී ය. ඔවුන්ගේ ඉනිම නිමා වන විට ඔහු පන්දු 32ක දී හතරේ පහර 8ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 57ක් ලබා සිටියේය. මෙය එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ රශීඩ්ගේ වේගවත්ම ඉනිම ද විය.

පන්දු යැවීමේ දී ද දක්ෂතා දැක්වූ රශීඩ් ලකුණු 13කට කඩුලු 2ක් දවා ගත්තේය. ඔහු ඒ වෙනුවෙන් වැය කළේ පන්දු 54ක් පමණි. ඔහු තරගයේ වීරයා ලෙසින් ද නම් කෙරුණි.

රශීඩ්, ගුල්බඩීන් නයිබ් සමඟින් එක්ව 8 වැනි කඩුල්ලට නොදැවුණ ලකුණු 95ක සබඳතාවක් ද ගොඩ නැගීමට දායක විය. එය ඉනිමේ හොඳම ලකුණ සබඳතාව මෙන්ම ඇෆ්ගනිස්තාන එක්දින ජාත්‍යන්තර පිටියේ 8 වැනි කඩුල්ලට වන හොඳම ලකුණු සබඳතාව ද විය. ඔවුන් දෙදෙනා එක්ව ඉනිමේ අවසන් පන්දුවාර 10 තුළ පන්දුවාරයකට ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 9.5ක මට්ටමේ රඳවා ගෙන ගියහ.

ඇෆ්ගන් ඉනිමේ ඉදිරිපෙළින් පිටියට පිවිසි හෂ්මතුල්ලා ශාහීඩ් ද අර්ධ ශතකයක් වාර්තා කරමින් තම කණ්ඩායමට අනගි සහයෝගයක් ලබා දුන්නේය. ඔහු පන්දු 92කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 95ක් ලබා සිටියේය.

ඊට අමතරව මොහොමඩ් ශෂාඩ් ඉනිම ආරම්භ කරමින් ලකුණු 37ක් ලබා ගත්තේය. ඒ වෙනුවෙන් පන්දු 47කට ඔහු මුහුණ දුන් අතර හතරේ පහර 4ක් ඊට අයත් විය.

පන්දු යැවීමේ දී බංග්ලාදේශ නායකයා පන්දු යවන්නන් 8 දෙනෙක් සම්බන්ධ කර ගත්ත ද ඔවුන් අතුරින් වඩාත් බලාපොරොත්තු සහගත මට්ටමට පිවිසියේ සකීබ් අල් හසන් පමණි. ඔහු ලකුණු 42කට කඩුලු 4ක් දවා ගත්තේය. ඊට අමතරව අබු හයිඩර් රොනිට කඩුලු 2ක් හිමි විය.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි බංගලියන්ගේ ඉනිම පන්දුවාර 42.1කට සීමා විය. ඔවුන්ගේ ඉනිමේ ලකුණු 100 වාර්තා වෙද්දී කඩුලු 7ක් බිඳ දැමීමට ඇෆ්ගනිස්තාන පන්දු යවන්නෝ සමත් වූහ. ඉනිමේ සාර්ථකම කඩුලු සබඳතාව වූයේ 5 වැනි කඩුල්ලට ශකීබ් අල් සහ මහමුදුල්ලා රිෂාද් එක්ව රැස් කළ ලකුණු 36යි. ශකීබ් පන්දු 55කට මුහුණ දෙමින් කිසිදු සීමා ලකුණක් නොමැතිව ලකුණු 32ක් ලබා  ගත්තේය. එය එම ඉනිමේ ඉහළ ම දක්ෂතාව ද විය.

මාතර උයන්වත්ත වර්ණවත් කළ ජයවීර සුපිරි ශතකයට

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ දෙදින පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග රැසක්ම …

ඊට අමතරව මහමුදුල්ලා  පන්දු 54කට මුහුණ දී හතරේ පහර 2ක් සමඟින් ලබාගත් ලකුණු 27 ද, මොසදැක් හොසේන් පන්දු 60කට මුහුණ දී හතරේ පහර 3ක් සමඟින් නොදැවී ලබාගත් ලකුණු 26 ද ඉනිමේ කැපී පෙණුන ඉනිම් බවට පත් විය. අනෙක් කිසිදු පිතිකරුවෙක්ට ලකුණු 10 සීමාවට පසු කිරීමට ඇෆ්ගන් පන්දු යවන්නෝ ඉඩ තැබුවේ නැත.

පන්දු යැවීමේ දී රෂීඩ්ට අමතරව මුජිබ් උර් රහ්මන් සහ ගුල්බඩින් නයිබ් කඩුලු 2 බැගින් දවා ගත්හ.    

ඇෆ්ගනිස්තානය; කඩුලු 7ක් දැවී 255 (50.0) මොහොමඩ් ශාෂාඩ් 37, හෂ්මතුල්ලා ෂහිඩි 58, ගුල්බඩීන් නයිබ් නොදැවී 42, රෂීඩ් ඛාන් නොදැවී 57, අබු හයිඩර් රොනි 2/50, ශකීබ් අල් හසන් 4/42

බංග්ලාදේශය; සියලුම දෙනා දැවී 119 (42-1) ශකීබ් අල් හසන් 32, මහමුදුල්ලා රියාද් 27, මොසඩැක් හුසේන් 26, මුජීබ් උර් රාහ්මන් 2/22, ගුල්බඩින් නයිබ් 2/30, රෂීඩ් ඛාන් 2/13

ඇෆ්ගනිස්තානය B කාණ්ඩයේ පළමුවැනියා වෙමින් සුපිරි 4 වටයට පිවිසෙන විට එම කාණ්ඩයේ දෙවැනි තැන බංග්ලාදේශයත් එම වටය නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ගත්තේය. එම කාණ්ඩයේ තෙවැනි තැන ශ්‍රී ලංකාවටත් වෙන් විය.

A කාණ්ඩයෙන් පළමු ස්ථානය ඉන්දියාව දිනා ගත් අතර දෙවැනි තැන පාකිස්තානයත්, තෙවැනි තැන හොංකොං කණ්ඩායමටත් හිමි විය.

තරගාවලියේ සුපිරි 4 වටයේ තරග මේ මස 21 වැනිදා සිට පැවැත්වෙන අතර ඒ අනුව පැවැත්වෙන ප්‍රථම තරගය ඉන්දිය කණ්ඩායම සහ බංග්ලාදේශය අතර ඩුබායි හි දිත්, දෙවැනි තරගය ඇෆ්ගනිස්තානය සහ පාකිස්තානය අතර අබුඩාබි හි දී පැවැත්වීමට නියමිත ය.

තරගාවලියේ තවත් උණුසුම් පුවත් බෙදා හදා ගැනීමට රැඳී සිටින්න ThePapare.com අප සමඟම.  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<