බංග්ලාදේශ ක්‍රිකට් ප්‍රධානියාගෙන් Tamimට විශේෂ ඉල්ලීමක්

1311

පසුගිය දා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට විශ්‍රාම දුන් ප්‍රබල ක්‍රීඩක Tamim Iqbal සිය තීරණය නැවත සලකා බලනු ඇතැයි තමන් විශ්වාස කරන බව බංග්ලාදේශ ක්‍රිකට් ප්‍රධානී Nazmul Hasan ප්‍රකාශ කර තිබෙනවා.

ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේ ඔහුගේ මෙම තීරණය ඇසීමෙන් තමන් ඉතා පුදුමයට පත් වූ බවයි.

ඉන්දියාවේ පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී බංග්ලාදේශ කණ්ඩායම මෙහෙයවීමේ වගකීම හිමිව තිබූ Tamim Iqbal මේ දිනවල පැවැත්වෙන ඇෆ්ගනිස්ථාන තරගාවලිය අතරතුර සිය සමුගැනීම නිවේදනය කළා.

එම තීරණය ප්‍රකාශ කිරීමත් සමඟ ක්‍රිකට් ප්‍රධානී Nazmul Hasan ඇතුළු නිලධාරීන් හදිසි රැස්වීමක් කැඳවා තිබූ අතර ඔවුන් විශ්වාස කරන්නේ Tamim නිල වශයෙන් විශ්‍රාම ගෙන නොමැති නිසා නැවත පැමිණෙනු ඇති බවයි.

“අපි අද රැස්වීමක් තියන්න ප්‍රධාන හේතුව වුනේ Tamim මාධ්‍ය වෙත සිය විශ්‍රාම ගැනීම ප්‍රකාශ කළ නිසයි. මම ඒක ඇත්තටම බලාපොරොත්තු වුනේ නැහැ, මොකද අපි අතර දිනපතා සංවාද තිබ්බ නිසා. ඒ වගේම ඔහු එක්දින නායකයා, අපි දින කිහිපයකට කලිනුත් එක්දින සංචිතය ගැන කතා කළා.

මම මේ තීරණය ගැන මොකුත් දැනගෙන හිටියේ නැහැ. අපි කලින් කතා කරද්දී ඔහු කිව්වා ශූරයින්ගේ කුසලානය තෙක් ඔහු ක්‍රීඩා කරන බව. ලෝක කුසලානය ළං වෙලා තියෙද්දී ඔහු වගේ ක්‍රීඩකයින් සිය සමුගැනීම ප්‍රකාශ කරන එක හරිම කණගාටුදායක දෙයක්.

මම ඔහුව සම්බන්ධ කර ගන්න උදෑසන සිට උත්සහ කළා. ඒ වගේම මම ඔහුගේ සහෝදරයාට ද කතා කරන්න උත්සහ කළා. ඒත් මට ඔවුන්ව සම්බන්ධ කර ගන්න ලැබුණේ නැහැ. ඒත් මම කෙටි පණිවිඩයක් යැවුවා ඔහු මේ තරගාවලිය ඉවර වෙන කම් නායකත්වය දරන්න ඕන සහ තරගාවලියෙ පස්සේ අපි මේ තීරණය ගැන කතා කරමු කියලා.

ඔහු වගේ ප්‍රබල ක්‍රීඩකයින් මේ වගේ සංවේදී සහ හදිසි තීරණ ගන්න හොඳ නැහැ, ඔහු කණ්ඩායමට ඉතා වැදගත් ක්‍රීඩකයෙක්.

මම ඔහුගෙන් පිළිතුරක් බලාපොරොත්තුවෙන් ඉන්නවා වගේම, මම හිතනවා අපිට මේක ඉක්මනින් විසඳන්න පුළුවන් වෙයි කියලා. තරගාවලියක් මැද නායකයෙකු විශ්‍රාම ගන්න එක හොඳ දෙයක් නෙවේ. අපි ඔහුට හොඳ සමු ගැනීමක් දෙන්න ඕන, ඔවුන්ට අවශ්‍ය නැතත් අපිට පුළුවන් විදියට.

මට අනුව ඔහු තවමත් එක්දින නායකයා. ඔහු ඒ තනතුරේ දිගටම කටයුතු කරයි”

තරගාවලියේ අනෙක් තරග දෙක Tamim ක්‍රීඩා කිරීමට එකඟ නොවුනොත් උපනායක Litton Das කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන බව ද වාර්තා වෙනවා.

Tamim ක්‍රීඩා කළේ නැති වුනොත් Litton Das කණ්ඩායම මෙහෙයවයි. අපිට අවශ්‍යයි ඔහු සිය තීරණය වෙනස් කරලා නැවත පැමිණෙනවා දකින්න. මොකද ඔහු අපිට ඔහුගේ අස්වීම දැනුම් දීලා නැහැ. “

Tamim ඔහුගේ ශාරීරික යෝග්‍යතාව ගැන ගැටලු නිසා විශ්‍රාම ගත් බවට ද අදහස් පල වූ අතර ඔහු පළමු තරගය පූර්ණ යෝග්‍යත්වයකින් තොරව ක්‍රීඩා කිරීම ගැන ප්‍රධාන පුහුණුකරු වන චන්දික හතුරුසිංහ බැණ වැදුණු බව ද මාධ්‍ය වාර්තා කළා.

“ඒක තියෙන්නේ මගේ සීමාවෙන් පිටතයි. ඔබ හිතනවා ද ආසියානු කුසලානය සහ ලෝක කුසලානය ළඟ තියාගෙන කියපු දෙයක් නිසා මෙහෙම තීරණයක් ගන්න පුළුවන් කියලා? ඒක තනිකරම හැඟීම්බර තීරණයක් විතරයි. ඒක හිතලා සහ ගෙදර අය එක්ක කතා කරලා ගත්ත එකක් කිව්වත් ඒකේ තියෙන්නේ හැඟුම් බර ගතියක්.

මෙතන අපි නොදෙන්න දේවල් තියෙන්න පුළුවන්. ක්‍රිකට් ආයතනයක් විදියට ඒ දේවල් දැන ගන්න එක අපිට හොඳයි. මම සතුටු වෙනවා ඔහු සිය තීරණය වෙනස් කරලා නැවත ආවොත්. මොකද ඔහුව එක්දින කණ්ඩායමට ඉතා වැදගත් ක්‍රීඩකයෙක්.

මේ තරගාවලිය විතරක් නෙවෙයි. ආසියානු කුසලානය සහ ලෝක කුසලානය ඉදිරියට එනවා. අපිට ලෝක කුසලානයේ දී හොඳින් දස්කම් දක්වන්න පුළුවන් කණ්ඩායමක්. මේ වෙලාවේ මෙවැනි තීරණ අපිට හානි කරනවා,” යැයි ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළා.

දේශීය සහ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සියලු උණුසුම් පුවත් සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන The Papare.com සමඟ.

Cricbuzz ඇසුරෙනි.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<