Tamim කඳුළු සලමින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි!

7871

සිය වසර 16ක ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ නිමාව සනිටුහන් කරමින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙන බව බංගලාදේශ ආරම්භක පිතිකරු Tamim Iqbal  අද (06) ප්‍රකාශ  කළා.

මෙතෙක් බංග්ලාදේශ එක්දින කණ්ඩායමේ නායකත්වය ද හොබවමින් සිටි Tamim ඊයේ (05) ඇෆ්ගනිස්තානය සමඟ පැවැත්වුණු එක්දින තරගය වෙනුවෙන් ද සිය කණ්ඩායමට නායකත්වය සැපයූ අතර, අද ඔහු අනපේක්ෂිත ලෙස ක්‍රීඩාවට සමුදීමේ මෙම ප්‍රකාශය සිදු කළා.

මෙය බොහෝ ක්‍රිකට් රසිකයින්ව තරමක් පුදුමයට පත් කරන අන්දමේ හදිසි තීරණයක් බව පෙනී ගියත්, තමන් මේ පිළිබඳව කලක පටන් ම සිතමින් සිටි බවයි Tamim විසින් සිය සමුගැනීමේ ප්‍රකාශය සිදු කරමින් පවසා සිටියේ.

“මේ තමයි මගේ අවසානය. මම මගේ උපරිමය දුන්නා. මම මගේ උපරිමයෙන් උත්සාහ කළා. මම මේ මොහොතෙන් පසු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නවා.

ඇෆ්ගනිස්තානයට එරෙහිව ඊයේ ක්‍රීඩා කළ තරගය මගේ අවසන් ජාත්‍යන්තර තරගය වේවි. ඒක ඉක්මන් තීරණයක් නෙවෙයි. මම වෙනස් හේතු ගණනාවක් ගැන හිතමින් හිටියේ. මට ඒවා මෙතන සඳහන් කරන්න අවශ්‍ය නැහැ. මම මගේ පවුලේ සාමාජිකයින් සමඟ ඒ පිළිබඳව සාකච්ඡා කළා. මට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවට සමු දෙන්න මේ හොඳම කාලය බව මම හිතුවා.”

Tamim විසින් පසුගිය වසරේ ජාත්‍යන්තර විස්සයි විස්ස තරග රටාවට ද සමුදීමට තීරණය කළ අතර, ඔහු අවසන් වශයෙන් ටෙස්ට් ක්‍රිකට් තරගයක දී බංග්ලාදේශය නියෝජනය කළේ පසුගිය අප්‍රේල් මාසයේ අයර්ලන්තය සමඟ පැවැත්වුණු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දීයි.

එමෙන්ම ඔහුට පසුගිය කාලයේ පිට කොන්දේ ආබාධයක් නිසා කණ්ඩායමෙන් ඉවත් වී සිටීමට ද සිදු වූ අතර එම ආබාධයෙන් පසුවයි නැවතත් ඇෆ්ගනිස්තානය සමඟ තරගාවලිය වෙනුවෙන් ඔහු කණ්ඩායම සමඟ එක් වුනේ.

Tamim විසින් සිය සමුගැනීමේ ප්‍රකාශය සිදු කරමින් කුඩා කාලයේ පටන් සිය ක්‍රීඩා ජීවිතය ගොඩ නගා ගැනීමට උදව් උපකාර කළ සියලු ම දෙනාට ස්තුතිය පුද කළ අතර, ඔහු මෙම ප්‍රකාශය සිදු කිරීමේ දී අතිශය සංවේදී වෙමින් කඳුළු සලනා බව ද දකින්නට ලැබුණා.

මම නිතරම කිවුවේ, මම ක්‍රිකට් ක්‍රීඩා කළේ මගේ තාත්තාගේ හීනය ඉටු කිරීම වෙනුවෙන් බව. මම දන්නේ නැහැ මගේ අවුරුදු 16ක ක්‍රීඩා ජීවිතය තුළ මම මොන තරම් ඔහුව ආඩම්බර කළා ද කියන්න.

මට ගොඩක් දේවල් කියන්න නැහැ. එක දෙයක් මම අනිවාර්යයෙන් ම කියන්නම්, මම මගේ උපරිමයෙන් උත්සාහ කළා (කඳුළු සලමින්).

මම මගේ උපරිමය කළා. සමහර විට මම හොඳ මදි වෙන්න ඇති. මම දන්නේ නැහැ. නමුත් මම පිටියේ ඉන්න හැම වෙලාවක ම 100%ක් උත්සාහ කළා.

තව ගොඩක් දේවල් මට කියන්න තියෙනවා. නමුත් ඔබට පෙනෙනවා වගේ ම මට කතා කරගන්න බැහැ. නමුත් ඔබ මේ තත්වයට ගරු කරාවි කියලා මම විශ්වාස කරනවා. මේක කතා කරන්න පහසු අවස්ථාවක් නෙවෙයි. ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉවත් වීම පහසු දෙයක් නෙවෙයි. මම හිතනවා ඔබට වැටහේවි කියලා.

කරුණාකර මගේ මාතෘකාව මෙතැනින් අවසන් කරන්න. අඩුම තරමේ ජාත්‍යන්තර ක්‍රිකට් සඳහා හෝ එය අවසානයි.”

මේ වන විට 34 හැවිරිදි වියේ පසු වන Tamim විසින් 2007 වසරේ ප්‍රබල ඉන්දීය කණ්ඩායමට එරෙහිව විශිෂ්ට අර්ධ ශතකයක් වාර්තා කරමින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පළමු පාදය තැබූ අතර, ඔහු ක්‍රීඩා පිටියට සමු දෙන විට බංග්ලාදේශය වෙනුවෙන් වැඩිම එක්දින ජාත්‍යන්තර ලකුණු (8313) රැස් කළ පිතිකරුවා සහ වැඩිම ශතක (14) රැස් කළ පිතිකරුවා ලෙස ද සිය නම් සටහන් කර ගැනීමට සමත් වී තිබුණා.

එමෙන්ම ඔහු දැනට ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේ ක්‍රීඩා කරන පිතිකරුවන් අතරින් තෙවැනියට වැඩිම එක්දින ලකුණු (Virat Kohli සහ Rohit Sharmaට පිටුපසින් සිටිමින්) රැස් කළ ක්‍රීඩකයා බවට ද පත් වී සිටියා.

එමෙන්ම බංග්ලාදේශ කණ්ඩායමට එක්දින ජාත්‍යන්තර තරග 37ක දී නායකත්වය ලබා දුන් Tamim විසින් ඉන් තරග 21ක් ජයග්‍රහණය සඳහා මෙහෙයවීමට සමත් වුනේ බංග්ලාදේශය වෙනුවෙන් ඉහළතම තරග ජයග්‍රහණ ප්‍රතිශතයක් රඳවා ගත් නායකයා බවට ද පත් වෙමිනුයි.

මීට අමතරව Tamim විසින් එක් ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් තරගයක දී බංගලාදේශ කණ්ඩායමට නායකත්වය සැපයූ අතර, ඔහු ලකුණු 38.89ක පිතිකරණ සාමාන්‍යයක් ද රඳවා තබා ගනිමින් ටෙස්ට් ලකුණු 5134ක් ලබා ගැනීමට සමත් වුනේ බංග්ලාදේශය වෙනුවෙන් දෙවැනියට වැඩි ම ටෙස්ට් ලකුණු (Mushfiqur Rahimට පසුව) ලබා ගත් ක්‍රීඩකයා බවට ද පත් වෙමිනුයි.

දිනෙන් දින උණුසුම් වන ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

ESPN cricinfo ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<