ස්කොට්ලන්ත සිහින බොඳ කරමින් නෙදර්ලන්තය ලෝක කුසලානයට

ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය 2023

643

ස්කොට්ලන්තය හමුවේ ලැබූ පෙරළිකාරී ජයග්‍රහණය සමඟ 2023 එක්දින ලෝක කුසලානය සඳහා සිය අසුන වෙන් කරවා ගැනීමට පෙරළිකාරී නෙදර්ලන්ත ක්‍රීඩකයින් සමත් වුනා.

නෙදර්ලන්ත ඉනිමේ වීරයා බවට පත් වෙමින් Bas de Leede අගනා ශතකයක් රැස් කරමින් කඩුලු පහක් ද දවා ගැනීමට සමත් වූ අතර එම දස්කම් නිසා 2011 වසරෙන් පසු පළමු වරට එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමට නෙදර්ලන්ත ක්‍රීඩකයින්ට හැකි වීම විශේෂත්වයක්.

ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමට මෙම තරගය සිය ලකුණු වේගය ඉහළ නංවමින් ජයග්‍රහණය කිරීමට නෙදර්ලන්ත ක්‍රීඩකයින්ට අවශ්‍ය වූ අතර ස්කොට්ලන්ත ක්‍රීඩක Brandon McMullen ලබා ගත් ශතකය නිසා ඔවුන් නියමිත පන්දුවාර 50 අවසානයේ ලකුණු 277ක් රැස් කළා. එම නිසා නෙදර්ලන්තයට සුදුසුකම් ලබා ගැනීමට පන්දුවාර 44ක් තුළ ලකුණු 278 ලබා ගැනීමට අවශ්‍ය වුනා.

අදාළ ඉලක්කය නියමිත පන්දුවාර තුළ සපුරා ගැනීමට නෙදර්ලන්තයට පන්දුවාර 4ක් තුළ ලකුණු 44ක් අවශ්‍ය වූ මොහොතේ ක්‍රියාත්මක වූ Bas de Leede පන්දුවාර දෙකක් තුළ හයේ පහර හතරක් එල්ල කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණයට ආසන්න කළා.

පන්දු 92ක් තුළ අගනා ලකුණු 123ක් ලබා ගත් ඔහු ජයග්‍රහණය සඳහා ලකුණු දෙකක් අවශ්‍යව තිබිය දී දුවද්දී දැවී යාමකට හසු වූවත් නෙදර්ලන්තය පන්දු 7ක් ඉතිරිව තිබිය දී ජයග්‍රාහී සීමාව පසු කළා.

ඒ අනුව සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියෙන් ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබා ගත් අතර අවසන් තරගයේ ප්‍රතිඵලය කුමක් වූවත් නෙදර්ලන්තය Q1 සහ ශ්‍රී ලංකාව Q2 ලෙස ලෝක කුසලානයේ තරග වදිනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ලෝක කුසලානයට සහභාගී වන කණ්ඩායම් ගණන 10ක් දක්වා අඩු කළ පසුව තරගාවලියට සුදුසුකම් ලැබූ එකම ටෙස්ට් වරම් නොලද රට වන්නේ ද නෙදර්ලන්තයයි.

ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමට තරගාවලියේ අවසන් තරගය ඉරිදා පැවැත්වෙන අතර එම තරගයේ තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟ.

ESPNcricinfo ඇසුරිනි.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<