වනිඳු ICC සම්මානයකට නිර්දේශ වෙයි  

494

ජුනි මාසයට අදාළ ICC මාසයේ ක්‍රීඩකයා සම්මානයේ පිරිමි කාණ්ඩය සඳහා නිර්දේශිත ක්‍රීඩකයින්ගේ නම් ලැයිස්තුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කර තිබෙනවා.

පසුගිය මස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ඉහළ දස්කම් දැක්වූ ක්‍රීඩකයින් අතරින් මෙම සම්මානය සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩක වනිඳු හසරංග, ඕස්ට්‍රේලියා ක්‍රීඩක Travis Head සහ සිම්බාබ්වේ ක්‍රීඩක Sean Williams යෝජනා කර තිබෙනවා.

වනිඳු හසරංග

සිම්බාබ්වේ හි පැවැත්වෙන ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ ඉහළ දස්කම් දක්වමින් සිටින වනිඳු හසරංග නොකඩවා තරග තුනක දී කඩුලු 5 බැගින් දවා ගෙන Waqar Younisගේ වාර්තාවක් සම කරන්නට සමත් වුනා.

එම තරගාවලිය තුළ විශාල සාර්ථකත්වයක් ලබා ගත් ඔහු කඩුලු 20ක් දවා ගැනීමට සමත්ව තිබෙන අතර ඔහු එම සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා වීම ද විශේෂත්වයක්.

මෙම දස්කම් නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට 2023 එක්දින ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබා ගැනීමට හැකි වූ අතර එක්දින ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩකයා වන්නේ ද ඔහුයි.

Travis Head – ඕස්ට්‍රේලියාව

පසුගිය මාසයේ පැවති ලෝක ටෙස්ට් ශූරතා අවසන් තරගයේ දී කැපී පෙනෙන ශතකයක් ලබා ගනිමින් ඕස්ට්‍රේලියාවට පළමු ටෙස්ට් ලෝක ශූරතාවය දිනා දීමට Travis Head සමත් වුනා.

ලකුණු 76කට කඩුලු තුනක් දැවී ඕස්ට්‍රේලියා ක්‍රීඩකයින් තරමක අසීරු අඩියක සිටි අවස්ථාවේ පිටියට පිවිසි Travis Head පන්දු 174ක් තුළ ලකුණු 163ක් ලබාගෙන තරගයේ වැඩි වාසි ඕස්ට්‍රේලියා කණ්ඩායමට දිනා දුන්නා.

එම තරගයේ දී පමණක් නොව ඔහු අළුබඳුන තරගාවලියේ පළමු තරගයේ ද අර්ධ ශතකයක් ලබා ගැනීමට සමත් වුනා.

Sean Williams – සිම්බාබ්වේ

ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ සාර්ථකම පිතිකරුවා වන Sean Williams එම තරගාවලිය තුළ අගනා ශතක තුනක් ලබා ගැනීමට සමත් වුනා.

නේපාලයට එරෙහිව නොදැවී ලකුණු 102ක් ලබාගෙන තරගාවලිය ආරම්භ කළ ඔහු, නෙදර්ලන්තයට එරෙහිව ලකුණු 93ක් සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ලකුණු 23ක් ලබා ගත්තා.

පසුව පැවති ඇමරිකා කණ්ඩායමට එරෙහි තරගයේ කැපී පෙනෙන ලකුණු 174ක් ලබා ගත් ඔහු, ඕමානයට එරෙහිව තවත් ශතකයක් ලබා ගනිමින් ලකුණු 142ක් රැස් කළා.

ශ්‍රී ලංකාව සමඟ පැවති තීරණාත්මක තරගයේ ද අර්ධ ශතකයක් ලබා ගැනීමට ඔහුට හැකි වූවත්, ලෝක කුසලානයට සුදුසුකම් ලබා ගැනීමේ සිහිනයට තිත තැබීමට ඔහු ප්‍රමුඛ සිම්බාබ්වේ ක්‍රීඩකයින්ට සිදු වුනා.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<