මෙවර IPL දිනන සැලසුම් සංගක්කාර විසින් හෙළිකරයි

IPL 2023

429

හිටපු ශ්‍රී ලංකා නායක කුමාර් සංගක්කාර විසින් IPL තරගාවලියේ Rajasthan Royals කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරයේ වැඩ බාර ගැනීමෙන් පසුව Royals කණ්ඩායම නැවතත් අළු ගසා දමා නැගී සිට ඇති බවයි බොහෝ දෙනෙක් විසින් විශ්වාස කරන්නේ.

ඒ වෙනුවෙන් බොහෝ දෙනෙකු ඉදිරිපත් කරණ ප්‍රධානතම හේතුව වන්නේ 2022 IPL තරගාවලියේ අවසන් මහා තරගය දක්වා පැමිණ Gujarat Titans කණ්ඩායම හමුවේ ලද පරාජය නිසා අනුශූරතාව දිනා ගැනීමට සමත් වූ Royals කණ්ඩායම තරග කළ ස්වභාවයි.

ආරම්භක IPL තරගාවලියේ ශූරතාව දිනා ගැනීමෙන් පසුව Royals ලද ඉහළතම ස්ථානය එය වූ අතර සංගක්කාර විසින් රාමුගත ශෛලීන් වලින් පිටතට ගොස් ලබා දුන් විවිධ මග පෙන්වීම් ඒ වෙනුවෙන් Royals වෙත සහය වුනා.

මේ අතර මෙවර තරගාවලිය වෙනුවෙන් Rajasthan Royals කණ්ඩායමේ නිල ජර්සිය එළිදැක්වීම පසුගිය දා සිදු කෙරුණු අතර එහි දී මෙවර සිය බලාපොරොත්තු කෙසේ ද යන්න සංගක්කාර විසින් හෙළිදරව් කළා.

මෙම මස 31 වැනිදායින් ආරම්භ වීමට නියමිත 16 වැනි IPL තරගාවලියේ දී පෙර වසරේ ලබා ගත් ආරම්භය තවදුරටත් රැක ගනිමින් තවත් ඉහළ දස්කම් පෙන්වීමට බලාපොරොත්තු වන බව සංගක්කාර විසින් එහි දී පවසා තිබුණා.

“මේ වතාව තවත් හොඳින් ක්‍රීඩා කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මෙවර ශූරතාවය දිනා ගනිමින්ම තරගාවලිය අවසන් කිරීමයි අපේ බලාපොරොත්තුව. මෙවර හොඳ දක්ෂතා පෙන්වීම වෙනුවෙන් අපි අපේ පුහුණු වීම් හොඳින් කර ගෙන යනවා. ඒ ගැන අපිට තියෙන්නේ ධනාත්මක හැඟීමක්.”

ජර්සිය එළිදැක්වීමේ අවස්ථාව සඳහා සංගක්කාර සමඟින් Royals නායක Sanju Samson මෙන්ම Yashaswi Jaiswal සහ Riyan Parag යන ක්‍රීඩකයින් ද සහභාගී වී තිබුණා.

“තවමත් අපි සමඟ සම්පූර්ණ සංචිතයම නැහැ, ඒ වුනත් අපි දේශීය ක්‍රීඩකයින් සමඟ පුහුණු කඳවුරු දෙකක් පැවැත්වුවා. Sanju විසින් නවක ක්‍රීඩකයින්ට අවශ්‍ය මග පෙන්වීම ලබා දෙනවා. අපේ අනෙක් ප්‍රවීණ ක්‍රීඩකයින් (විදෙස් ක්‍රීඩකයින් ද ඇතුළුව) ළඟදීම කණ්ඩායම සමග සම්බන්ධ වේවි.

අපි ගිය වසරේ ලබා ගත්තු සාර්ථකත්වය සමඟ කණ්ඩායම් භාරකරුවන්ගේ වගේම රසිකයින්ගෙත් බලාපොරොත්තු ගොඩක් ඉහළ ගිහින් තියෙන්නේ. ඒක අපි ගිය වසරේ දක්වපු දස්කම් නැවත ප්‍රදර්ශනය කළ යුතු බවට අමතර පීඩනයක් ඇති කරාවි. නමුත් අපි එයට සූදානම්. අපිට හොඳ ක්‍රීඩකයින් පිරිසක් ඉන්නවා, ඔවුන් අවශ්‍ය වෙලාවේ දී දස්කම් පෙන්වාවී.”

මෙවර IPL තරගාවලිය වෙනුවෙන් Rajasthan Royals කණ්ඩායමේ පෙර සූදානම මෙන්ම, බලාපොරොත්තු පිළිබඳ අනාවරණය කරමින් සංගක්කාර පවසා සිටියා.

මෙවර IPL තරගාවලියේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Times of India ඇසුරිනි.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<