ඩිලී – තරා සුසංයෝගය නැවතත් සාර්ථකයි; Asia Lions විසින් Legends කිරුළ දිනයි

Legends league Cricket 2023

4101
​2023 Legends league Cricket final

ඊයේ (20) පැවැත්වුණු Legends league Cricket තරගාවලියේ අවසාන මහා තරගයෙන් World Giants කණ්ඩායමට එරෙහිව කඩුලු 7ක පහසු ජයග්‍රහණයක් හිමිකර ගැනීමට Asia Lions කණ්ඩායම සමත් වුනා.

ඒ අනුව මෙවර Legends league Cricket තරගාවලියේ ශූරතාව Shahid Afridiගේ නායකත්වය යටතේ Asia Lions විසින් හිමි කර ගත් අතර, තරගාවලිය පුරාම ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් විසින් දැක්වූ දස්කම් ඉතා ඉහළින් කැපී පෙනුණා.

අවසන් මහා තරගයේ පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව World Giants විසින් හිමි කර ගත් අතර ඔවුන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ ලබා ගැනීමට හැකියාව ලැබුණේ කඩුලු 4කට ලකුණු 147ක් පමණයි.

Giants කණ්ඩායමේ මුල්පෙළ පිතිකරුවන් දැක්වූ දුර්වල පිතිකරණ රටාව නිසා ඔවුන්ට ඉහළ ලකුණු සංඛ්‍යාවක් ලබා ගැනීමේ අවස්ථාව අහිමි වී ගිය අතර, Jacques Kallis සහ Ross Taylor විසින් පිළිවෙළින් ලබා ගත් ලකුණු 78ට සහ 32ට පිං සිදු වන්නට ඔවුන් යම් තරගයක් ලබා දිය හැකි ලකුණු සංඛ්‍යාවක් කරා ළඟා වුනා.

මෙහි දී Asia Lions වෙනුවෙන් පන්දු යැවීමේ දී Abdur Razzak කඩුලු දෙකක් බිඳ හෙළීමට සමත් වූ අතර, තිසර පෙරේරා විසින් එක් කඩුල්ලක් බිඳ හෙළුවා.

ඒ අනුව මෙවර ශූරතාව ජයග්‍රහණය කිරීමෙ අරමුණින් යුතුව Asia Lions ආරම්භක පිතිකරු යුගලය වන ඩිල්ශාන් සහ තරංග පිටියට පිවිසි අතර තරගාවලිය පුරා ඉහළ දස්කම් පෙන්වීමට සමත් වූ මොවුන් දෙදෙනාම ඊයේ අර්ධ ශතක වාර්තා කිරීමට සමත් වුනා.

ඒ අනුව ඩිල්ශාන් සහ තරංග යුගලය විසින් පන්දුවාර 10ක් තුල ලකුණු 115ක වේගවත් සබඳතාවක් පිහිටුවීමට සමත් වූ අතර උපුල් තරංග ලකුණු 57කට දැවී යාමත් සමඟ එම සබඳතාව නිමා වුනා.

සිය ඉනිම වෙනුවෙන් පන්දු 28ක් පමණක් වැය කළ තරංග ඒ වෙනුවෙන් හතරේ පහර 5ක් සහ දැවැන්ත හයේ පහර 3ක් එක්කර ගැනීමට ද සමත් වුනා. එමෙන්ම මෙම ඉනිමත් සමඟින් තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වීමට ද උපුල් තරංග සමත් වුනේ තරග 6කින් ලකුණු 221ක් රැස් කර ගැනීමට සමත් වෙමිනුයි. ඒ වෙනුවෙන් ඔහු අර්ධ ශතක 3ක් එක් කර ගෙන තිබුණා.

එමෙන්ම තරගාවලියේ තෙවැනියට වැඩිම ලකුණු ලාභියා (ලකුණු 191) බවට පත් වීමට තිලකරත්න ඩිල්ශාන් විසින් සමත් වූ අතර ඒ සඳහා ඊයේ දිනයේ ඔහු විසින් ලබා ගත් අර්ධ ශතකය විශේෂ දායකත්වයක් ලබා දුන්නා.

ඊයේ Lions ඉනිමේ දෙවැනි කඩුල්ල ලෙස ඩිල්ශාන් ලකුණු 58කට දැවී යද්දී ඔහුගේ ඉනිම අලංකාර හතරේ පහර 8කින් වර්ණවත් වී තිබුණා.

ඒ අනුව Lions ආරම්භක කඩුල්ලේ විශිෂ්ට සබඳතාව නිසා මැදපෙළ පිතිකරුවන්ට ඉටු කිරීමට වැඩි යමක් ඉතිරි නොවූ අතර, නියමිත ඉලක්කය පන්දුවාර 16 එක් පන්දුවක දී කඩුලු 3ක් පමණක් දැවී හඹා යාමට Lions කණ්ඩායම සමත් වුනා.

මෙම තරගය සඳහා තරංග, ඩිල්ශාන් සහ තිසරට අමතරව ඉසුරු උදාන ද සිය දායකත්වය ලබා දුන්නා.

  • World Giants – 147/4 (20): Jacques Kallis 78, Ross Taylor 32, Abdur Razzak 2/14, තිසර පෙරේරා 1/22
  • Asia Lions – 148/3 (16.1): තිලකරත්න ඩිල්ශාන් 58, උපුල් තරංග 57, Monty Panesar 1/21

මෙහි දී තරගයේ වීරයාට හිමි සම්මානය Abdur Razzak විසින් හිමි කර ගත් අතර, තරගාවලියේ වීරයා සම්මානය උපුල් තරංග විසින් හිමි කර ගත්තා. ඒ අනුව මෙවර Legends league Cricket තරගාවලියේ ශූරතාව Asia Lions කණ්ඩායමට හිමි කර දෙමින් තරගාවලිය නිමාව දුටුවා.

දිනෙන් දින උණුසුම් වන ක්‍රීඩා පිටියේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<