Nortjeගේ යකාගේ පන්දු යැවීමට පන්දු රකින්නන් කොකා පෙන්වයි!

941

කිසිඳු ජයක් ලබා ගැනීමට නොහැකිව IPL ප්‍රසාද ලකුණු සටහනේ පහළින්ම සිටි කණ්ඩායම් දෙක වන මුම්බායි ඉන්දියන්ස් සහ දිල්ලි කැපිටල්ස් අතර තරගය ඊයේ (11) ක්‍රියාත්මක වුනා.

ඉතාම උණුසුම් මුහුණුවරක් ගත් මෙම තරගයෙන් දිල්ලියට ජය හිමිකර දීමට Anrich Notje සුපිරි පන්දු යැවීමක යෙදුනත්, පන්දු රකින්නන්ගේ අතපසුවීම් වලින් ප්‍රයෝජන ගත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අවසන් පන්දුවේ දී තම කුළුදුල් ජයග්‍රහණය වාර්තා කළා.

දිල්ලි සත්කාරකත්වය යටතේ ක්‍රියාත්මක වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත්තේ මුම්බායි නායක Rohit Sharmaයි. ඔහු මුලින් පිතිකරණයේ යෙදීමේ අවස්ථාව දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට භාර කළා. සුපුරුදු පරිදි අදත් තම නායකත්වයේ වගකීම ඉෂ්ට කළ David Warner අද තවත් අර්ධ ශතකයක් වාර්තා කළා.

කෙසේ වෙතත්, දිල්ලි පිතිපෙළ ගැන එතරම් විශ්වාසය තැබිය නොහැකි නිසා වෝනර් ක්‍රීඩා කළේ පරිස්සම් සහගත ඉනිමක්. පන්දු 47ක් වැය කරමින් ඔහු රැස්කළ ලකුණු 51ට හතරේ පහර 6ක් ඇතුළත් වුනා. ඔහුගේ සහය ආරම්භක පිතිකරු Prithvi Shaw රැස්කළේ ලකුණු 15ක් පමණයි. Manish Pandey පන්දු 18කින් වේගවත් ලකුණු 26ක් රැස් කළද අවසානයේ Piyush Chawlaට ගොදුරු වුනා.

සෙසු පිතිකරුවන් සියලු දෙනාම තනි ඉලක්කමකට දැවී යද්දී, දිල්ලිය ලකුණු 172ක් කරා රැගෙන යන්නේ Axar Patelගේ වේගවත් ඉනිමයි. ඔහු ඊයේ පන්දු 25කින් ලකුණු 54ක් රැස් කිරීමට සමත් වුනා. ඒ හතරේ පහර 4ක් සහ හයේ පහර 5ක් සමඟින්. තම පළමු IPL අර්ධ ශතකය ඔහු වාර්තා කළේ පන්දු 22කින්. පන්දු යැවීමේ දී මුම්බායි කණ්ඩායම වෙනුවෙන් Piyush Chawla සහ Jason Behrendorff කඩුලු 3 බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ඇරඹූ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමෙන් පළමු කඩුල්ලටම ලකුණු 71ක සාර්ථක සබඳතාවයක් ගොඩ නැගුනා. ඒ Rohit Sharma සහ Ishan Kishan අතරේයි. මුම්බායි කණ්ඩායම වැටී සිටින වලෙන් ගොඩ ගන්නට නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ Rohit ලකුණු 65ක් රැස් කිරීමට වැය කළේ පන්දු 45ක් පමණයි. ඒ අතරේ ඔහු හතරේ පහර 6ක් සහ හයේ පහර 4ක් එල්ල කළා.

Ishan Kishan පන්දු 26කින් රැස්කළේ ලකුණු 31ක් පමණක් වුවත් මුම්බායි හඹායාම සාර්ථක කරගන්නට එය වැදගත් වුනා. අංක 3 පිතිකරු Tilak Varma පවා පන්දු 29කින් ලකුණු 41ක් රැස් කළේ මුම්බායි කණ්ඩායම ජය මාවතේම රඳවා ගනිමින්. Varma දෙවැනි කඩුල්ල ලෙස දැවී යන විට මුම්බායි ඉනිමට ලකුණු 139ක් එකතු වී තිබුණු නිසා තරගය අවසන් පන්දුව දක්වා දිග හැරෙනු ඇතැයි බොහෝ දෙනා විශ්වාස කළේ නැහැ.

නමුත් තම ක්‍රීඩා දිවියේ ඉඩෝර කාලයක් පසු කරන Suryakumar Yadav තම පළමු පන්දුවෙන්ම දැවී යාමත් ඊළඟ පන්දුවාරයේ දී Rohit Sharma පිටියෙන් ඉවත් වීමත් නිසා දිල්ලියට නැවතත් තරගයට පිවිසීමේ ඉඩක් විවර වුනා. නමුත් පිටියේ නොදැවී රැඳී සිටි ඕස්ට්‍රේලියානු පිතිකරණ යුගලය වන Tim David සහ Cameron Green 19 වැනි පන්දුවාරයේ දී Mustafizurට හයේ පහර 2ක් එල්ල කරමින් අවසන් පන්දුවාරයට අවශ්‍ය ලකුණු ප්‍රමාණය 5ක් දක්වා අඩු කළා.

අවසන් පන්දුවාරය යැවූ Anrich Nortje විශිෂ්ට යෝකර් පන්දු රැසකින් මුම්බායි පිතිකරුවන්ට අභියෝග කළේ අවස්ථාවේ හැටියට වේගපන්දු යවන්නෙකු සතුවන හොඳම අවිය එය වන නිසාවෙන්. නමුත් ඔහුගේ මහන්සියට සාධාරණයක් ඉටු නොකළ Mukesh Kumar දෙවැනි පන්දුවේ දී Tim Davidගෙන් ලැබුනු උඩපන්දුව බිම අත හැරියා.

තෙවැනි පන්දුව වයිඩ් පන්දුවක් ලෙස සලකා ලැබුනු තීන්දුව දිල්ලි කැපිටල්ස් කණපිට හරවන්නේ IPL නව නීතිවල උදව්වෙන්. Nortjeගේ සුපිරි පන්දු යැවීම නිසාම අවසන් පන්දුවේ දී ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 2ක් ලබා ගැනීමට මුම්බායි කණ්ඩායමට සිදු වුනා.

එහි දී පිතිකරුවන් දෙදෙනාට දිව යාමට කල්වේලා තිබුණේ එක් ලකුණක් පමණක් වුවත් David Warner පන්දුව රැකගෙන නිවැරදිව භාර කරන්නට අසමත් වූ අවසරයෙන් ඔවුන් දෙවැනි ලකුණත් සොරා ගත්තා.

මේ නිසා මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සුපිරි පන්දුවාරයක් කරා යාමෙන් වැළකී අවසන් පන්දුවේ තියුණු ජයක් ලබා ගත්තේ මෙවර තරග වාරයේ තම කුළුදුල් ජයග්‍රහණය ලෙසයි. මෙම පරාජයත් සමඟින් දිල්ලි කැපිටල්ස් කණ්ඩායම තමන් මුහුණ දුන් තරග 4න් 4ම පරාජය වී ලකුණු සටහනේ පතුලටම ඇද වැටී සිටිනවා. තරගයේ වීරයා ලෙස Rohit Sharma සම්මාන දිනා ගත්තා.

දිල්ලි කැපිටල්ස් – සියල්ලන්ම දැවී ලකුණු 172 (පන්දුවාර 19.4): Axar Patel 54, David Warner 51, Manish Pandey 26, Prithvi Shaw 15, Piyush Chawla 3/22, Jason Behrendorff 3/23.

මුම්බායි ඉන්දියන්ස් – කඩුලු 4ක් දැවී ලකුණු 173 (පන්දුවාර 20): Rohit Sharma 65, Tilak Varma 41, Ishan Kishan 31, Cameron Green 17*, Tim David 13*, Mukesh Kumar 2/30, Mustafizur Rahman 1/38.

ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 17 වැනි තරගය අද (12) ක්‍රියාත්මක වන්නේ චෙන්නායි සුපර් කිංග්ස් සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අතරයි. මේ වන විට චෙන්නායි කණ්ඩායමට එක්වීමේ බලාපොරොත්තුවෙන් මහීෂ් තීක්ෂණ සහ මතීෂ පතිරණ එහි ගොස් සිටිනවා.

මෙවර IPL තරගාවලියේ සියලු තරග සජීවීව නැරඹීමට ඔබට ThePapare.com වෙතින් අවස්ථාව උදාකර තිබෙනවා. රැඳී සිටින්න අප සමඟින්ම!

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<