රබාඩාගේ සුපිරි ඕවරේ රහස හෙළිකරයි

287

මාස ගණනක ජාත්‍යන්තර ක්‍රිකට් විරාමයට තිත තැබීමට පසුගිය දා ආරම්භ වූ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය සමත් විය. ආරම්භ වී නොබෝ දිනකින්ම තරගකාරී ක්‍රීඩා තරගාවලියක පෙරනිමිති පහල කිරීමට එම තරගාවලිය සමත්වූයේ මුළු මහත් ක්‍රිකට් ලෝකයේම ආකර්ෂණය දිනා ගනිමිනි.

පසුගිය දා පැවති දිල්ලි කැපිටල්ස් හා කිංග්ස් ඉලෙවන් පංජාබ් කණ්ඩායම අතර තරගය ඉන් සුවිශේෂී විය. ඒ ලකුණු සමවීම සමඟින් තරගය සුපිරි පන්දුවාරයක් දක්වා යොමුවීමත් සමඟිනි. 

කගිසෝ රබාඩා ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලි ඉතිහාසයේ සුපිරි පන්දුවාර දෙකක් පන්දු යැවූ දෙවන පන්දු යවන්නා බවට පත්විය. මීට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ජාස්ප්‍රිත් බුම්‍රාහ් පමණි. ජාස්ප්‍රිත් බුම්‍රාහ් හා කගීසෝ රබාඩා යැවූ සුපිරි පන්දුවාර දෙකේ දී ම තම කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට ඔවුන් දෙදෙනාම සමත් වීම විශේෂත්වයකි. 

රබාඩාගේ සුපරි පන්දුවාර වල වාර්තාව ඒ අතරින් සුවිශේෂීය. එහි දී ඔහු පන්දු 9ක් යවා ඇති අතර ලකුණු 9ක් ලබා දී කඩුලු 3ක් ලබා ගැනීමට සමත්ව ඇත. රබාඩාගේ ගොදුරු  බවට පත්වූයේ ඇන්ඩ්‍රේ රසල්, කේ. එල්. රාහුල් සහ නිකලස් පූරාන් ය.

සෑම සුපිරි පන්දුවායක දී ම රබාඩා සිය පන්දු යැවීමේ ශෛලිය වෙනස් කිරීමට සමත් විය. පන්දුවට පහර දෙන ක්‍රීඩකයා හා ක්‍රීඩාංගණයේ ස්වභාවය මත ඔහු සිය පන්දු යැවීම වෙනස් කළේය. 2019 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දිල්ලි හි ෆෙරෝස් ෂා කෝට්ලා ක්‍රීඩාංගණයේ දී ඔහු යැවූ සුපිරි පන්දුවාරයට මුහුණ දුන්නේ ඇන්ඩ්‍රේ රසල් සහ දිනේෂ් කාර්තික්ය. රබාඩා එහි දී මූලික වශයෙන් යෝකර් පන්දු යැවූ අතර ඩුබායි ක්‍රීඩාංගණයේ පැවති  පසුගිය තරගයේ දී කේ. එල් රාහුල් සහ පූරාන් වෙත ඔහු යැවූයේ වෙනස්ම පන්දු කීපයකි. 

“මම යවන පන්දුව මොකක්ද කියලා රඳා පවතින්නේ ඒ දවසේ මට හොඳින්ම යවන්න පුළුවන් පන්දුව එක්ක. මට පිතිකරුවාට අභියෝගයක් එල්ල කරන්න පුළුවන් පන්දුව මම යවනවා” යනුවෙන් රබාඩා කිංග්ස් ඉලෙවන් පන්ජාබ් කණ්ඩායමට එරෙහි තරගයෙන් අනතුරුව පවසා තිබුණි. 

“ඒක දවසින් දවස වෙනස් වෙනවා. අද මම එකිනෙකට වෙනස් පන්දු යැවුවේ. වාසනාවකට වගේ එය මට උදව් උනා. සමහර විට ඒ ක්‍රමය වෙන දවසක හරියන්නේ නැති වේවි. සමහර විට එය හරියන්න පුළුවන්. “

රබාඩා සිය සුපිරි පන්දුවාරය පන්දු තුනකින් නිමා කළේය. තරගයේ ජයග්‍රහණය සඳහා දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට අවශ්‍ය වූයේ ලකුණු 3ක් පමණි. 

ඔහුගේ පළමු පන්දුව රාහුල් වෙත යොමු කළේය. එයට සාර්ථකව මුහුණ දුන් රාහුල් ලකුණු දෙකක් ලබා ගත්තේය. දෙවන පන්දුව තරමක් කෙටි පන්දුවක් විය. එයට pull පහරක් එල්ල කිරීමට රාහුල් පසුපස පාදයට යොමු වූ අතර එය සාර්ථක වූයේ නැත. රාහුල්ගේ පහර උඩ පන්දුවක් ලෙස ලබා ගැනීමට deep square leg හි පන්දු රකින්නා සමත් විය.

තුන්වැනි පන්දුව යොමුවූයේ නිකොලස් පූරාන්ටය. පෙර පන්දුව කෙටි පන්දුවක් වූ නිසා පූරාන් බලාපොරොත්තු වූයේ එවැනිම පන්දුවකි. එහෙත් රබාඩා යොමු කළේ full length හි පන්දුවකි. පන්දුව පූරාන් පසුකර ගොස් කඩුල්ලේ වැදිනි. පංජාබ් කණ්ඩායමේ දෙවන කඩුල්ල ද එසේ දැවී ගියේ කැපිටල්ස් කණ්ඩායමේ ඉලක්කය ලකුණු 3ක් ලෙස සටහන් කරමිනි.

“මේ තණතීරුව පිතිකරුවන්ට හොඳ තණතීරුවක්. ක්‍රීඩාංගණයේ හතරේ සීමාව ටිකක් ලොකුයි. ලකුණු ලබාගන්න ලොකු පහරකට යන්න ඕනේ. ඒ නිසා මම කෙටි පන්දුවක් යවන්න තීරණය කළා.” 

“මම පන්දුවේ වේගය අඩාල කළා. ඒකෙන් ඔහුට ලොකු පහරකට යන්න බැරි වුනා. ඒක ටිකක් අමාරු තීරණයක්.” 

“මම තරගයේ ජයග්‍රහණය ගැන සැලසුම් කළේ නෑ. මට ඕනෙ වුනේ තරගයේ ජයග්‍රහණයට උදව් කරන්න. සුපිරි පන්දුවාරයේ දී මට ඒක කරන්න පුළුවන් වුනා” රබාඩා දිල්ලි කැපිටල්ස් මාධ්‍ය කණ්ඩායමට පවසා තිබුණි.  

“ක්‍රිකට් ක්‍රීඩාවේ සාමාන්‍ය ආකාරය එයයි. මම ජයග්‍රහණයට උදව් කළා කියලා මට දැනෙද්දී ගොඩක් සතුටුයි. අපේ පිතිකරණ ලැයිස්තුව එක්ක බලද්දී අපිට ලබාගන්න තිබුණේ ලකුණු 3යි. අපිට ඒක ලේසියෙන්ම කරන්න පුළුවන් කියලා මම දැනගෙන හිටියා. මම ගොඩක් සතුටෙන් හිටියේ මම ගත්ත කඩුලු නිසා කණ්ඩායමට ජයග්‍රහණය කරන්න පුළුවන් වුන නිසා.” 

තවත් ක්‍රිකට් පුවත් : 

මීට වසරකට පෙර විස්සයි විස්ස ක්‍රිකට් ක්‍රීඩාවේ වඩාත්ම භයානක පිතිකරුවා වන රසල් වෙත යෝකර් පන්දු යොමුකිරීමේ සිට එම තරගයේ දී රබාඩා යොදා ගත් උපක්‍රම දෙස බලන විට ඔහුගේ පරිණත වීම පහසුවෙන් හඳුනාගත හැක.

රබාඩාගේ සිය සැලැස්ම පිළිබඳව තීරණය කරන්නේ ඒ මොහොතේ තරගය තුල ජීවත් වීමෙනි. ඒ මොහෝතේ තරගය තුල ඔහුට ඇති හැඟීම සිය සැලසුම්වලට මනා පිටිවහලක් වන බව රබාඩාගේ අදහසයි.  

“මම හිතන්නේ ඒ හැඟීම තමයි ගොඩක්ම උදව් වෙන්නේ. අපි තරගයේ දී ඒ තරගය කියවන ආකාරයත් එක්ක අපේ හැකියාවන් වෙනස් වෙනවා. තරගය තුල අපේ වගකීම ඉටු කරන්න අපිට බොහෝ ක්‍රම තියනවා. අපි අපේ වගකීම ඉටු කළේ නැත්නම් අපිව විවේචනය කරාවි. අපි මන්දගාමී පන්දු යැවුවත් යෝකර් පන්දු යැවුවත් අපේ වගකීම කණ්ඩායම වෙනුවෙන් ඉටු කරන්න ඕනේ” රබාඩා ඔහුගේ පළමු සුපිරි ඕවරයෙන් පසුව පසුගිය වසරේ Cricket Monthly සඟරාවට පැවසීය.

එම තරගය හා මෙම තරගය පිළිබඳව රබාඩා කෙතරම් දක්ෂ ලෙස තේරුම්ගෙන ඇත්දැයි මෙම පන්දුවාර දෙකෙහි ප්‍රතිඵල දෙස බැලීමෙන් වටහා ගත හැක. තම ප්‍රබලතම තුරුම්පුව වන යෝකර් පන්දුව වෙනුවට පන්දුවේ වේගයන් හා පන්දුව පතිත කරන ස්ථානය වෙනස් කිරීමෙන් සිය දක්ෂතා දැක්විය හැකි බව රබාඩා අවබෝධ කරගෙන තිබේ. 

පසුගිය වසරේ දී දිල්ලි කැපිටල්ස් කණ්ඩායම හා කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමඟින් පැවති තරගයේ දී සුපිරි පන්දුවාරය යැවීමට විකල්ප දෙකක් පැවතිනි. ඒ කගීසෝ රබාඩා හා ක්‍රිස් මොරිස් ය. රබාඩා සිය පළමු අභියෝගය ජයග්‍රහණය කිරීම නිසා මෙම තරගයේ දී රබාඩා පන්දු යැවීමට තෝරාගැනීම පිළිබඳව එතරම් ගැටලුවක් තිබුණේ නැත. අනෙක් අතට එම තරගයේ දී දිල්ලි කණ්ඩායම වෙනුවෙන් හොඳම දක්ෂතා දැක්වීමට සමත්ව සිටියේ රබාඩා ය. 

මෙම තරගයේ දී රබාඩා සිය පන්දුවාර 4 තුල දී ලකුණු 28 කට කඩුලු 2 ක් ලබා සිටියේය. නමුත් ESPNCRICINFO වෙබ් අඩවිය විසින් ගණනය කළ Smart Economy Rate අනුව රබාඩාගේ ලකුණු ලබා දීමේ වේගය 5.84ක් ලෙස සටහන් වූ අතර කඩුලු ලබා ගැනීමේ වේගය 2.51ක් ලෙස සටහන් විය. 

ග්ලෙන් මැක්ස්වෙල් දවා ගැනීමට අමතරව කිංග්ස් ඉලෙවන් පංජාබ් කණ්ඩායමේ අවසන් පන්දුවාර කීපය තුල වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ කේ. ගෞතම් ද දවා ගැනීමට සමත් විය. 

ඒ අනුව දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට සුපිරි පන්දුවාරය සඳහා ඉතිරිව සිටියේ කගීසෝ රබාඩා හා අක්සාර් පටෙල් ය. පටෙල් සිය පන්දුවාර 4 තුල දී ලකුණු 14කට එක් කඩුල්ලක් දවා ගැනීමට සමත් විය. 

ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව තුල රබාඩාට ඇති අත්දැකීම් හා තරගය තුල ඔහු දැක්වූ දක්ෂතා කිසිදු සැකයකින් තොරව සුපිරි පන්දුවාරයේ වගකීම ඔහුට ලබා දීමට උපකාරී විය. රබාඩා එම තීරණය නිවැරදි බව පන්දු 3කින් තහවුරු කළේය. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<