Bairstow අංක 3 පිතිකරුවා වෙද්දී Bess, Leach දඟපන්දු බලඇණියට

396

එංගලන්ත ක්‍රීඩක Jonny Bairstow නැවතත් එංගලන්ත අංක 3 ක්‍රීඩකයා ලෙස ක්‍රීඩා කිරීමට සූදානම් බව වාර්තා වේ. එංගලන්තය මේ වන විට ශ්‍රී ලංකා ටෙස්ට් සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින අතර Jonny Bairstowගේ ටෙස්ට් සූදානම පිළිබඳව The Guardian පුවත්පත කළ විමසීමක දී ඔහු මේ බව පවසා තිබේ. 

එහි දී Bairstow පවසා ඇත්තේ තමාට අංක 3 පිතිකරුවා ලෙස කණ්ඩායමට දායකත්වයක් ලබා දීමට තවමත් හැකියාවක් ඇති බව විශ්වාස කරන බවයි.

Jonny Bairstow මේ වන විට 31 හැවිරිදි වන අතර පසුගිය 2019 වසරේ ටෙස්ට් තරග තුල තරමක පසුබෑමකට ලක්වූ නිසා වසරක කාලයක් ටෙස්ට් පිටියෙන් ඉවත්ව සිටීමට තීරණය කර තිබුණි. 

එක්දින තරග තුල වඩාත් ප්‍රවේගකාරී පිතිකරුවෙකු ලෙස සැලකෙන Bairstow එංගලන්ත එක්දින සංචිතයේ නිත්‍ය ක්‍රීඩකයෙකු වුවත්, ටෙස්ට් තරග රටාවට අනුවර්තනය වීමේ යම් පසුබෑමක් ඔහුගෙන් දක්නට ලැබුණි. ඒ අනුව ටෙස්ට් සංචිතයේ ඔහුගෙන් හිස්වූ ස්ථානය Jos Buttler හට හිමි විය. 

එංගලන්ත දේශීය තරගාවලියට කොරෝනා වයිරසය සෘජුවම බලපෑම් එල්ල කළ අතර තරග රැසක් අවලංගු කිරීමට ද සිදු විය. එංගලන්ත දේශීය පිටියේ Yorkshire කණ්ඩායම නියෝජනය කරන Jonny Bairstow පසුගිය තරග සමයේ පළමු පෙළ තරග දෙකක් පමණක් ක්‍රීඩා කළේය. එම තරගවල දී දඟපන්දු යවන්නන් හමුවේ කැපී පෙනෙන දස්කම් දැක්වීමට ඔහු සමත් විය.

ආසියානු තණතීරු වල දඟපන්දු යවන්නන්ගේ බලපෑම වැඩි වීම හේතුවෙන් එංගලන්ත කණ්ඩායම Bairstow පිළිබඳව බලාපොරොත්තු තබාගෙන සිටී. එයට ප්‍රධාන හේතුව වන්නේ ඔවුන්ගේ ප්‍රබල පිතිකරුවෙකු වූ Rory Burns මෙම ශ්‍රී ලංකා තරගාවලිය සඳහා සහභාගී නොවීමයි. 

Rory Burns තරගාවලිය සඳහා සහභාගී නොවන බව තහවුරු වීමත් සමඟින් එංගලන්ත ක්‍රිකට් ආයතනය Jonny Bairstow සංචිතයට කැඳවා තිබූ අතර ඒ හේතුවෙන් මේ වන විට ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන Big Bash තරගාවලියෙන් ඉවත් වීමට Bairstow තීරණය කළේය. 

“මම දැනට ටෙස්ට් තරග 70කට ක්‍රීඩා කරලා තියනවා. ගොඩක් අය කියනවා මම තාමත් ටෙස්ට් තරගවලට සුදුසු ක්‍රීඩකයෙක් කියලා ඔප්පු කරලා නැහැ කියලා. ඇත්තටම අතීතයේ ප්‍රශ්න ගොඩකට මම පිත්තෙන් පිළිතුරු දුන්නා. මම හිතනවා මේක තමයි හොඳම වෙලාව නිදහසේ ක්‍රීඩා කරන්න. මට ලැබුණ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගන්න.” 

තවත් ක්‍රිකට් පුවත්:

“මම විශ්වාස කරනවා මගේ රිද්මයේ උපරිමයේ මම ඉන්නේ කියලා. මම මේ දක්වා කරපු කැපකිරීම, ලකුණු ලබාගන්න මම ගත්ත මහන්සිය මම දන්නවා. මම හිතනවා තවත් අවුරුදු තුනක්, හතරක් හෝ ඊටත් වැඩි කාලයක් මට ක්‍රීඩා කරන්න හැකියාව තියනවා කියලා. මම විශ්වාස කරනවා එංගලන්ත කණ්ඩායමට මට ලොකු දායකත්වයක් දෙන්න පුළුවන් කියලා.” 

“මම කීපවරක් අංක 3 පිතිකරුවා විදිහට ක්‍රීඩා කරලා තියනවා. මම තරමක් සාර්ථක වෙලා තියනවා. මම ලෑස්තියි ආයෙත් එතන ක්‍රීඩා කරන්න. ඒක මට ලැබෙන ලොකු අවස්ථාවක් කියලා මම හිතනවා. මම ගොඩක් බලාපොරොත්තු තියාගෙන ඉන්නේ ඒ ගැන. මම ඒ දිහා බලන්නේ මගේ වටිනාකම, හැකියාව පෙන්වන්න මට ලැබුණු වේදිකාවක් කියලා. මට ආයෙත් ටෙස්ට් කණ්ඩායමට එන්න පුළුවන් වීම ගැන සතුටුයි” Jonny Bairstow පවසා තිබේ.

එංගලන්ත කණ්ඩායම ටෙස්ට් තරගාවලියට සහභාගී වීමට පෙර දෙදින පුහුණු තරගයක් සඳහා ක්‍රීඩා කිරීමට නියමිත අතර එහි දී Jonny Bairstowගේ පිතිකරණ ස්ථානය පිළිබඳව අවසන් තීරණය ගැනීමට නියමිතව ඇති බව එංගලන්ත ක්‍රිකට් ආරංචි මාර්ග පවසා තිබේ. 

එංගලන්ත සංචිතයේ Moeen Ali හට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව මෙරටට පැමිණීමෙන් අනතුරුව සිදු කළ PCR පරීක්ෂණයෙන් තහවුරු වූ අතර ඔහු මේ වන විට ස්වයං නිරෝධායනයට ලක් කර තිබේ. ඔහු හා සමීපව කටයුතු කල Chris Woakes ද සෞඛ්‍යාරක්ෂිත හේතූන් මත ස්වයං නිරෝධායනයට ලක් කර ඇත. 

Moeen Ali පළමු ටෙස්ට් තරගය සඳහා සහභාගී නොවන බව තහවුරු වී ඇති අතර Chris Woakesගේ සහභාගීත්වය මේ වන විට අවිනිශ්චිතව ඇත. කෙසේ වෙතත් එංගලන්ත සංචිතයේ ක්‍රීඩකයෙකු නොවූ Ollie Pope පුහුණු තරගය සඳහා එක්වනු ඇති බව වාර්තා වේ. 

පසුගිය සැප්තැම්බර් මාසයේ දී ඇතිවූ උරහිසේ ආබාධයක් නිසා සිදු කළ ශල්‍යකර්මයක් නිසා Ollie Pope එංගලන්ත කණ්ඩායමෙන් ඉවත්ව සිටියේය. පන්දු රැකීමට තරම් ශාරීරිකව යෝග්‍ය නොවූවද ඔහුට පිතිකරුවෙකු ලෙස සහභාගී විය හැකි බවට එංගලන්තය කණ්ඩායමේ ශාරීරික උපදේශකවරයා පවසා තිබේ. ඒ අනුව එළඹෙන ඉන්දීය සංචාරය සඳහා පුහුණුවීමට අවස්ථාවක් ලබා දීම අරමුණු කරගෙන Pope පුහුණු තරගය සඳහා සහභාගී වනු ඇත. 

දඟපන්දු යවන්නෙකු වන Moeen Aliගේ සේවය අහිමි වීමත් සමඟින් Dom Bess සහ Jack Leach එංගලන්ත දඟපන්දු යවන්නන් ලෙස කටයුතු කරනු ඇත.

ශ්‍රී ලංකා – එංගලන්ත තරග කාලසටහන 

දිනය තරගය ක්‍රීඩාංගණය
ජනවාරි මස 14 සිට 18 දක්වා පළමු ටෙස්ට් තරගය  ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය 
ජනවාරි මස 22 සිට 26 දක්වා දෙවන ටෙස්ට් තරගය  ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය 

 

ශ්‍රී ලංකා එංගලන්ත තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ThePapare.com අප සූදානම්. රැඳී සිටින්න අප සමඟින්.

The Guardian පුවත්පත ඇසුරිනි

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<