ශ්‍රී ලංකා – එංගලන්ත සටනට තරග නිලධාරීන් නම් කරයි

එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2021

266

ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශුරතාවලියේ තරග දෙකක් ලෙස පැවැත්වෙනු ලබන ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන විනිසුරු මණ්ඩලය ඇතුළු තරග නිලධාරීන් මේ වන විට නම් කර අවසන්.

ICC Elite පැනලයේ තරග විනිසුරුවරයෙක් වන කුමාර් ධර්මසේන සහ ICC තරග තීරක මඬුල්ලේ ප්‍රධානියා වන රංජන් මඩුගල්ල යන ශ්‍රී ලාංකිකයින් දෙදෙනා ද ඊට ඇතුළත්. ඒ අනුව මඩුගල්ල මහතා සහ ධර්මසේන මහතා පිළිවෙළින් තරග තීරකවරයකු සහ තරග විනිසුරුවරයෙක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන ටෙස්ට් තරගයක දී කටයුතු කරනු ලබන පළමු අවස්ථාව මෙය වනු ඇත.

තවත් ක්‍රිකට් පුවත්:

2012 සහ 2018 වර්ෂවල දී ICC වාර්ෂික සම්මාන ප්‍රදානෝත්සවයේ දී ලොව හොඳම ක්‍රිකට් විනිසුරුවරයාට පිදෙන David Shepherd කුසලාන දිනා ගැනීමට සමත්ව සිටින ධර්මසේන මහතා ද මෙම තරගාවලියේ ප්‍රධාන විනිසුරුවන් දෙදෙනාගෙන් එක් අයෙකු ලෙසින් කටයුතු කරනු ඇත. දෙරට අතර පළමු තරගය ධර්මසේන මහතාගේ 66 වැනි ටෙස්ට් තරගය වනු ඇත. ධර්මසේන මහතාට අමතරව රුචිර පල්ලියගුරුගේ මහතා පිටියේ කටයුතු කරන අනෙක් විනිසුරුවරයා වේ.

මේ අතර මඩුගල්ලේ මහතාට අමතරව ග්‍රේම් ලැබ්‍රෝයි මහතා අතිරේක තරග තීරකවරයකු ලෙසින් පත්කර තිබෙන අතර රූපවාහිනී විනිසුරු ලෙසින් ලින්ඩන් හැනිබල් ද සිව්වැනි විනිසුරු ලෙසින් රවීන්ද්‍ර විමලසිරි සහ අතිරේක විනිසුරුවරයකු ලෙසින් ප්‍රගීත් රඹුක්වැල්ල යන මහත්වරුන් පත් කිරීමට ICCය පියවර ගෙන තිබේ.

ටෙස්ට් තරගාවලියක් සඳහා තරග තීරකවරයකු නම් කිරීමේ දී අනුගමනය කරනු ලබන සාමාන්‍ය සම්ප්‍රදාය වන්නේ තරග වදිනු ලබන රටවල් දෙකට අයත් නොවන රටක තීරකවරයෙකු පත් කිරීමයි. කෙසේ වෙතත් ලොව පුරා පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් ඒ ඒ රටවල තීරකවරුන් සහ විනිසුරුවරුන්ගේ සේවය ලබා ගැනීමට ICCය තීරණය කර තිබෙන නිසා මඩුගල්ල මහතාට මේ අනගි අවස්ථාව ලැබී තිබේ.

2021 ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ තරග නිලධාරි මණ්ඩලය

  • තරග තීරක – රංජන් මඩුගල්ල
  • පිටියේ විනිසුරුවන් – කුමාර් ධර්මසේන, රුචිර පල්ලියගුරුගේ
  • රූපවාහිනී විනිසුරු – ලින්ඩන් හැනිබල්
  • සිව්වැනි විනිසුරු – රවීන්ද්‍ර විමලසිරි
  • අතිරේක තරග තීරක – ග්‍රේම් ලැබ්‍රෝයි,
  • අතිරේක විනිසුරු – ප්‍රගීත් රඹුක්වැල්ල

ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ තරගාවලියක් ලෙස පසුගිය මාර්තු 19 වැනිදා ආරම්භ කිරීමට නියමිතව තිබූ තරග දෙකකින් සමන්විත ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් තරගාවලිය දින නියමයක් නොමැතිව කල් දැමීමට සිදු වූයේ කොරෝනා වයිරසයේ බලපෑම ශ්‍රී ලංකාව තුලත් ව්‍යාප්තව ගිය නිසාවෙනි. ඒ වන විටත් එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණි සිටි අතර ඔවුන් ක්‍රීඩා කරමින් සිටි පුහුණු තරගය ද අතර මඟ දමා නැවතත් සිය මව් රට බලා යාමට එංගලන්තය කටයුතු කළේය.

එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2021

  • පළමු ටෙස්ට් තරගය – ජනවාරි 14-18 – ගාල්ලේ දී
  • දෙවන ටෙස්ට් තරගය – ජනවාරි 22-26 – ගාල්ලේ දී

*තරගාවලිය පැවැත්වෙන්නේ කිසිදු ප්‍රේක්ෂක සහභාගීත්වයකින් තොරවයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<