දකුණු අප්‍රිකාවේ දී කණ්ඩායමේ සංයුතිය ගැන Arthurගෙන් අදහසක්

554

දකුණු අප්‍රිකාව හා ශ්‍රී ලංකාව අතර පළමු ටෙස්ට් තරගය ආරම්භ වීමට තවත් ඇත්තේ දින කිහිපයක් පමණයි. දකුණු අප්‍රිකානු තරගාවලිය හා එහි දී ශ්‍රී ලංකා කණ්ඩායමේ සංයුතිය පිළිබඳව Mickey Arthur පසුගිය දා අදහස් දක්වා තිබුණා. 

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ජාත්‍යන්තර තරගාවලියකට එක්වන්නේ මාස නවයකට පසුවයි. ටෙස්ට් වරම් හිමි රටවල් අතරින් COVID-19 වසංගතයෙන් පසුව ජාත්‍යන්තර තරග නැවත ආරම්භ කරන අවසානම කණ්ඩායමක් වන්නේ ශ්‍රී ලංකාවයි. ශ්‍රී ලංකාව හැර තවමත් ජාත්‍යන්තර තරග ක්‍රීඩා කර නැත්තේ බංගලාදේශය හා ඇෆ්ගනිස්තානයයි.

ශ්‍රී ලංකාව අවසන් වරට ටෙස්ට් තරගාවලියක් ක්‍රීඩා කළේ පසුගිය ජනවාරියේ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිවයි. තරග දෙකකින් යුතු තරගාවලිය 1-0ක් ලෙස ජය ගන්නට දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුනා. අවසන් වරට දකුණු අප්‍රිකාවේ කළ සංචාරයේ දී ශ්‍රී ලංකාව ටෙස්ට් තරගාවලියක දී දකුණු අප්‍රිකාව එරට දී ම පරාජය කළ පළමු දකුණු ආසියානු රට බවට පත් වන්නට සමත් වුනා.

ගියවර දකුණු අප්‍රිකානු සංචාරය යෑමට පෙර ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියාවේ සංචාරයක නිරත වුනා. මෙවර ශ්‍රී ලංකා කණ්ඩායම තරග වදින්නේ ලොව වේගවත්ම තණතීරු දෙකක් වන  Centurion හා Johannesburg හිදියි. ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ක්‍රීඩා කර දකුණු අප්‍රිකාවට ගිය ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ඊයේ (21) පුහුණුවීම් ආරම්භ කර තිබුණා. 

තවත් ක්‍රිකට් පුවත්:

“මේ සූදානම් වීම එච්චරම හොඳත් නැහැ” Arthur අන්තර්ජාලය ඔස්සේ පැවැත්වුණු මාධ්‍ය හමුවක දී පවසා සිටියා. “අපි අද පුහුණුවීම් ආරම්භ කළා, දැල් තුළ පුහුණුවීම්වල නිරත වුනා. අද සාමාන්‍ය පුහුණුවීම් දිනයක් වගේ. හත්දෙනාගේ කණ්ඩායම්වලට බෙදලා තමා පුහුණු වුනේ. නමුත් මේ හත්දෙනාගේ කණ්ඩායම් මම හරිම සමාන විදියට තමා බෙදුවේ. 23, 24 හා 25 අපි සම්පූර්ණ කණ්ඩායම ම එකට එකතු වෙලා පුහුණුවීම්වල යෙදෙනවා. අපි මේ පුහුණුවීම් හොඳින්ම ප්‍රයෝජනයට ගන්න තමා උත්සහ කරන්නේ. ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට පෙර අපි පල්ලෙකැලේට ගිහින් සති දෙකක් පුහුණුවීම් කළා. LPL තරගාවලිය කළ හොඳම දෙය තමයි ක්‍රීඩකයින්ට කලකට පස්සේ තරගකාරී තරගාවලියක් ක්‍රීඩා කරන්න අවස්ථාව හදලා දෙන එක.”

දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනයේ සෞඛ්‍යාරක්ෂිත වටපිටාව (bio-secure bubble) පිළිබඳව පසුගිය දින කිහිපයේ දැඩි කතාබහක් ඇති වුනා. ඒ ක්‍රීඩකයින්ට හා හෝටල් සේවකයින්ට COVID-19 වැළඳීම නිසා එංගලන්ත – දකුණු අප්‍රිකානු එක්දින තරගාවලිය  අතරමග අතහැර දැමීම නිසයි. කෙසේ වෙතත් Arthur, ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාවට පිටව යෑමට සතියකට පෙර වෛද්‍ය විශේෂඥ දමින්ද අත්තනායක සමඟ දකුණු අප්‍රිකාවට ගොස් තිබුණේ එහි සෞඛ්‍යාරක්ෂිත තත්වයක් සොයා බැලීමටයි.

“සෞඛ්‍යාරක්ෂිත බුබුළ ඉතා හොඳයි. මම හා වෛද්‍යවරයා කලින් ආවේ මේ පිළිබඳව සොයා බලන්නයි. අපි බොහොම සෑහීමකට පත් වෙනවා සහ මේ මොහොතේ ඔවුන් සපයලා තිබෙන සෞඛ්‍යාරක්ෂිත වටපිටාව ඉතා හොඳයි. මම කලින් කිව්වා වගේ මේ තමා නව සාමාන්‍ය විදිය. අපිව ඔවුන් හොඳින් බලා ගන්නවා. අපි වටා තිබෙන ආරක්ෂාව දැඩි කරලා තියෙන්නේ. අපිව දින තුනකට සැරයක් පරීක්ෂණ වලට භාජනය කරනවා. එක වෙනස්, ඉස්සර වගේ නෙවේ දැන් ක්‍රිකට් සංචාරයන් වෙනස් වෙලා. නමුත් දකුණු අප්‍රිකානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ වැඩපිළිවෙළ යටතේ අපි බොහොම සුවපහසුවෙන් හා සතුටින් ඉන්නවා” Arthur පවසා සිටියා.

ශ්‍රී ලංකා පිතිකරුවන් වන ඇන්ජලෝ මැතිව්ස් හා ඕෂද ප්‍රනාන්දු හට ආබාධ සිදුවීම නිසා දකුණු අප්‍රිකානු තණතීරු තුළ අනෙක් ශ්‍රී ලංකා පිතිකරුන්ට විශාල වගකීමක් දරන්නට සිදුවෙනවා. මැතිව්ස් දකුණු අප්‍රිකාව කරා පිටත්ව නොගිය අතර ඕෂද ප්‍රනාන්දු දකුණු අප්‍රිකාව කරා ගියත් ඔහුට පළමු ටෙස්ට් තරගය ක්‍රීඩා කරන්නට අවකාශය හිමි වන්නේ නැහැ.

ඇතැම් විට කුසල් පෙරේරා ආරම්භක පිතිකරු ලෙස භාවිතා කර අත්දැකීම් බහුල ලහිරු තිරිමාන්න මැද පෙළ ක්‍රීඩා කරවන්නට ද ඉඩක් පවතිනවා. එසේ නොමැති නම් පෙරේරා මැද පෙළ ක්‍රීඩා කර තිරිමාන්න දිමුත් සමඟින් ඉනිම ආරම්භ කරන්නටත් ඉඩක් ඇතැයි වාර්තා වෙනවා.

අවසන් වරට දකුණු අප්‍රිකාවේ කළ සංචාරයේ Durban ටෙස්ට් තරගයේ දී කුසල් පෙරේරා තරගයේ සියලු ගෞරව තමන් වෙත දිනා ගත්තේ නොදැවුණු ලකුණු 153ක් රැස් කරමිනුයි. 21 දෙනෙකුගෙන් යුතු ශ්‍රී ලංකා සංචිතය තුළ මැදපෙළ පිතිකරුවන් ලෙස ක්‍රීඩා කළ හැකි දසුන් ශානක හා සංතුෂ් ගුණතිලක ද සිටිනවා. 

“අවසන් වරට සිම්බාබ්වේ සමඟ ටෙස්ට් තරගයක් ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම දෙස බැලුවොත්, අපිට ඕෂද ප්‍රනාන්දු අහිමි වී තිබෙනවා. ඔහු පළමු තරගය ක්‍රීඩා කරන්නේ නැහැ” Arthur පවසා සිටියා. “අපිට ඇන්ජලෝ අහිමි වී තිබෙනවා. මට පළමු ක්‍රීඩකයින් හය දෙනා ගැන අදහසක් තිබෙනවා. නමුත් ආක්‍රමණකාරී උපක්‍රමයක් අනුගමනය කරමින් පන්දු යවන්නන් පහක්, පිතිකරුවන් පහක් හා කඩුලු රකින්නෙක් ක්‍රීඩා කරවන්නටත් අපිට හැකියාව තිබෙනවා. අනෙක් විදිය තමා වේගපන්දු යවන්නට හැකි කෙනෙක් සමඟ පිතිකරුවන් හයක්, නොම්මර 7 කඩුලු රකින්නා සමඟ වේගපන්දු යවන්නෙක් හා දඟපන්දු යවන්නෙක් ක්‍රීඩා කරවන එක. අපිට ක්‍රීඩකයින් ඉන්නවා. මීළඟ දවස් දෙක තුනේ දී අපි තීරණයක් ගන්නවා.” 

Johannesburg සමඟ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගය නිමා වූ පසුව ශ්‍රී ලංකා කණ්ඩායම නැවත දිවයිනට පැමිණෙන්නේ එංගලන්තය සමඟ ක්‍රීඩා කිරීමටයි. ශ්‍රී ලංකාව එංගලන්ත ටෙස්ට් තරගාවලිය ගාල්ලේ දී ආරම්භ වීමට නියමිතයි.

“සෑම තරගාවලියක්ම අපිට ඉතාම වැදගත්” Arthur පවසා සිටියා. “අපි කණ්ඩායමත් එක්ක යම් ක්‍රියාවලියක ඉන්නේ. අපිට ඕනේ ඉතා අපේ දක්ෂතාවයන් දියුණු කරගන්න ගමන් ස්ථාවර කණ්ඩායමක් ගොඩ නගන්න. මම දන්න එක දෙයක් තමා ඔබ තරග කිහිපයක් ජය ගත්තොත් පිටියේ තත්වයන් මොනවා වුනත් විශ්වාසය ලැබෙනවා. කණ්ඩායමක් විදියට ක්‍රීඩා කරන වෙලාවට එය ඉතාම වැදගත්. අපිට ඒ විශ්වාසය එංගලන්තය තරගාවලියට අරන් යන්න පුළුවන්නම් ඒක හරිම හොඳ දෙයක් වෙයි. නමුත් මේ දකුණු අප්‍රිකානු තරගාවලිය අපිට හරිම වැදගත් තරගාවලියක්. අවසන් වතාවේ අපි දකුණු අප්‍රිකාවේ දී ජයග්‍රහණය කළා. එහෙම කරන්න සමත් වුණු පළමු ආසියානු කණ්ඩායම් අපි. අපි හරි සතුටුයි ඒ දේම ආපසු කරන්න.”

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<