මැතිව්ස්, චන්දිමාල්, ලක්මාල් එංගලන්ත තරගාවලියට එක්වෙන ලකුණු

1680

ශ්‍රී ලංකා කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරය පසුගියදා නිමා වූයේ තරග 2-0ක පරාජයක් හිමිකර දෙමිනි. තරගාවලියේ දෙවන තරගය කඩුලු 10කින් ජයග්‍රහණය කිරීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් වූයේ තරගයේ තවත් දින දෙකක් ඉතිරිව තිබිය දීය. 

දකුණු අප්‍රිකානු සංචාරය පසුගිය දෙසැම්බර් මස 26 වනදා ආරම්භ වූයේ මෙරට පැවති ‘ලංකා ප්‍රිමියර් ලීග්’ තරගාවලිය අවසන් වීමෙන් අනතුරුවය. වේගවත් විස්සයි විස්ස තරගාවලියකට ක්‍රීඩා කිරීම නිසා ටෙස්ට් සංචිතයේ ක්‍රීඩකයන් රැසක් වෙහෙසට පත්ව සිටි අතර එහි ප්‍රතිඵලය වූයේ තරගාවලියට පෙර සහ පළමු තරගය අතරතුර ක්‍රීඩකයන් කිහිපදෙනෙකු ආබාධ වලට ලක්වීමයි. 

ශ්‍රී ලංකා හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් තරගාවලියට එක්වීමට පෙර ආබාධයකට ලක්වූ අතර වේගපන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් දකුණු අප්‍රිකාවේ පැවති පුහුණු සැසියක් අතරතුර ආබාධයකට ලක්වීම ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රබල අභියෝගයක් එල්ල කිරීමට සමත් විය. 

පළමු තරගය අතරතුර තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වා ආබාධයකට ලක්වීම නිසා තරගයෙන් ඉවත් වූ අතර පසුව දිනේෂ් චන්දිමාල්, වනිඳු හසරංග, ලහිරු කුමාර සහ කසුන් රාජිත ද ආබාධ වලට ලක්විය. 

දකුණු අප්‍රිකානු සංචාරය නිමා කරමින් මෙරටට පැමිණෙන ටෙස්ට් කණ්ඩායම දින කිහිපයක විවේකයකින් අනතුරුව එංගලන්තය සමඟින් ටෙස්ට් තරග දෙකකින් යුත් තරගාවලියක් සඳහා එක්වීමට නියමිතය. 

දෙවන තරගයෙන් අනතුරුව මාධ්‍ය හමුවකට එක්වෙමින් ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න පවසා සිටියේ ආබාධ වලට ලක් වූ ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල් සහ සුරංග ලක්මාල් මෙම එංගලන්ත තරගාවලිය සඳහා සහභාගී වනු ඇති බවයි. 

ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩකයන් වන ඔවුන් තිදෙනා මේ වන විට සුවය ලබා ඇති බවත්, ඔවුන්ගේ ශාරීරික යෝග්‍යතාව පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඔවුන් එංගලන්ත තරගාවලිය සඳහා සහභාගී වන සංචිතය සමඟින් එක්වීමට නියමිත බවත් දිමුත් කරුණාරත්න එහිදී අදහස් දක්වමින් පවසා සිටියේය. 

දකුණු අප්‍රිකානු තරගාවලිය ශ්‍රී ලංකා කණ්ඩායමට එතරම් සාර්ථක තරගාවලියක් නොවූ අතර පළමු තරගය ඉනිමකින් සහ ලකුණු 45කින් ජයග්‍රහණය කිරීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් විය. එම තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාව තුළ එක් ඉනිමක දී වාර්තා කළ වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට සමත් වුවත් දෙවන ඉනිමේ අසාර්ථකත්වය හේතුවෙන් තරගය පරාජය වීමට සිදුවිය. 

එම තරගයේ දෙවන ඉනිමේ දී සිදු වූ ආබාධයක් හේතුවෙන් දිනේෂ් චන්දිමාල් දෙවන තරගය සඳහා සහභාගී වූයේ නැත. 

“අපි බලාපොරොත්තු වෙනවා ඔවුන් සංචිතයට එක්කර ගන්න. ඔවුන්ගේ ආබාධ සම්බන්ධයෙන් හොඳ ප්‍රවෘත්තියක් ලැබේවි කියලා අපි හිතනවා.” යයි දකුණු අප්‍රිකානු සංචාරය නිමා කරමින් පැවති මාධ්‍ය හමුවේ දී දිමුත් කරුණාරත්න පවසා සිටියේය. 

එංගලන්තය මෙරට දී ටෙස්ට් තරග දෙකක් සඳහා සහභාගී වීමට නියමිත අතර තරගාවලිය එළඹෙන 14 වනදා ගාල්ලේ දී ආරම්භ වීමට නියමිතය. 

දකුණු අප්‍රිකානු සංචාරය තුළ අසාර්ථක වුවද එංගලන්ත තරගාවලිය තුළ තම කණ්ඩායම සුපුරුදු දක්ෂතා අතරට පැමිණෙනු ඇතැයි දිමුත් කරුණාරත්න වැඩිදුරටත් පවසා සිටියේය.  

“අපි මේ තරගාවලියට ක්‍රීඩා කරන්නේ අපේ රටේ දී. ඒ නිසා මම හිතනවා ඒක අපිට වාසිදායක වේවි කියලා. අපිට ලංකාවේ දී ඒක කරන්න පුළුවන්. අපිට හොඳ දඟපන්දු යවන්නන් කිහිපදෙනෙක් ඉන්නවා. ඔවුන් අපේ රටේ තත්ත්ව එක්ක පන්දු යවන්න දක්ෂ ක්‍රීඩකයන්. ඒ නිසා මම හිතනවා අපිට එංගලන්ත කණ්ඩායම පරාජය කරන්න පුළුවන් වේවි කියලා.”  

තවත් ක්‍රිකට් පුවත් කියවන්න: 

“පසුගිය තරග කිහිපය ගත්තම එංගලන්තය අපිට ලොකු අභියෝගයක් වුනා. ඒත් අපි ඒකට සූදානම් වෙලා ඉන්නේ. මම හිතනවා මේ වෙද්දී අපිට අත්දැකීම් තියෙනවා. අපේ රටේ තත්ත්ව එක්ක අපිට අභියෝගයක් එල්ල කරන්න පුළුවන්.”  

එංගලන්ත කණ්ඩායම පසුගිය 02 වනදා මෙරටට පැමිණි අතර අද (06) සවස ඔවුන් පළමු පුහුණු සැසිය සඳහා සහභාගී වීමට නියමිතය. පළමු ටෙස්ට් තරගයට පෙර එංගලන්ත කණ්ඩායම දෙදින පුහුණු තරගයකට සහභාගී වීමට නියමිතය. 

එංගලන්ත කණ්ඩායමට මෙරට තත්ත්ව සඳහා පුහුණු වීමට ප්‍රමාණවත් කාලයක් නොමැති වුවද ඔවුන් තරගාවලිය සඳහා හොඳින් පුහුණු වී සහභාගී වනු ඇතැයි දිමුත් කරුණාරත්න මෙම මාධ්‍ය හමුවේ දී තවදුරටත් පවසා සිටියේය. 

“ඔවුන්ට ආසියානු තණතීරු ගැන ගොඩක් අත්දැකීම් තියෙනවා. ඒත් තරගාවලිය ගොඩක් වෙලාවට මානසික ස්ථාවරත්වයේ තරගයක් වේවි. ඒක තමයි මගේ සැලැස්ම. තරගාවලිය තුළ මොන තත්ත්වයක් උදාවුනත් අපි අපි ගැන විශ්වාසය තියාගෙන ක්‍රීඩා කරන්න ඕනේ.” දිමුත් කරුණාරත්න පැවසීය. 

Hindustan Times ඇසුරිනි. 

ශ්‍රී ලංකාඑංගලන්ත තරග කාලසටහන 

දිනය  තරගය  ක්‍රීඩාංගණය  
ජනවාරි මස 14 සිට 18 දක්වා  පළමු ටෙස්ට් තරගය   ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය 
ජනවාරි මස 22 සිට 26 දක්වා  දෙවන ටෙස්ට් තරගය   ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය  

 

ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ThePapare.com අප සූදානම්. රැඳී සිටින්න, අප සමඟින්. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<