මෙවර ලෝක කුසලාන තරගාවලියේ 2 වැනි ශතකය වාර්තා කළ චමරි අතපත්තුගේ දක්ෂතා හේතුවෙන් 10 වැනි කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ සිව් වැනි තරගයෙන් අයර්ලන්තය පරාජයක කරමින් කඩුලු 9ක විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගැනිමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වුණා.
Bristol හී County ක්‍රීඩාංගණයේ දී අද (23) පැවැති මෙම තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වෙන්නේ පෙර තරගය හා සහභාගී වු කණ්ඩායමෙන් වෙනස්කම් ද්විත්වයක් සිදු කරමින්. ඒ අනුව මෙම තරගයේ දී විශ්මි ගුණරත්න සහ කාව්‍යා කාවින්දි වෙනුවට හසිනි පෙරේරා සහ හංසිමා කරුණාරත්න එක් කර තිබුණා.
අයර්ලන්ත කණ්ඩායම මෙම තරගය සඳහා සහභාගී වූයේ පෙර තරගය හා එක් වූ ක්‍රීඩිකාවන් සමඟිනුයි.
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම
චමරි අතපත්තු (නායිකාව), ඉමේෂා දුලානි, නිලක්ෂිකා සිල්වා, හසිනි පෙරේරා, හර්ෂිතා සමරවික්‍රම, හංසිමා කරුණාරත්න, කවීෂා දිල්හාරි, කෞශිනි නුත්‍යාංගනා (කඩුලු රකින්නිය), සුගන්දිකා කුමාරි, මිතාලි අයෝද්‍යා සහ නිමාෂා මීපගේ.
අයර්ලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම
Gaby Lewis (නායිකාව), Amy Hunter (කඩුලු රකින්නිය), Orla Prendergast, Rebecca Stokell , Louise Little, Leah Paul, Alice Tector, Arlene Kelly, Aimee Maguire, Lara McBride සහ Cara Murray
තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය ශ්‍රී ලංකා නායිකාවගේ තීරණය වූයේ පළමුවෙන් පන්දු යැවීමයි. ඒ අනුව පිටියට පිවිසි ප්‍රතිවාදී අයර්ලන්ත ක්‍රීඩිකාවන්ගේ ඉනිමේ පළමු කඩුලු ත්‍රිත්වය ලකුණු 19ක් වෙද්දී නැවත ක්‍රීඩා විවේකාගාරය වෙත හරවා යෑමට ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ සමත් වෙනවා.
නමුත් එතැන් සිට සිව් වැනි කඩුල්ලට පන්දු 49ක දී ලකුණු 66ක සබඳතාවක් එක් කරමින් අයර්ලන්ත ඉනිම ගොඩ ගැනීමට නායිකා Gaby Lewis සහ Leah Paul සමත් වෙනවා. ඒ අතුරින් පළමුවෙන් ම දැවී යන්නේ Leah Paul. ඇය දැවී යන විට පන්දු 27කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 20ක් ලබා සිටියා.
Gaby Lewis ඉනිමේ 5 වැනි කඩුල්ල ලෙසින් දැවී යද්දී පන්දු 50කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 59ක් ලබා සිටියා. එය ඇයගේ ලෝක කුසලාන තරග දිවියේ මංගල අර්ධ ශතකයයි.
ඊට අමතර ව Alice Tector පන්දු 21කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 28ක් ලබා සිටි අතර ඒ වෙද්දී අයර්ලන්ත ඉනිම කඩුලු 5ක් දැවී ලකුණු 130ක් බවට පත් ව තිබුණා.
කඩුලු දවා ගැනීමේ දී නිලක්ෂිකා සිල්වා, මිතාලි අයෝද්‍යා, චමරි අතපත්තු සහ සුගන්දිකා කුමාරි කඩුලු බැගින් දවා ගත්තා.
- අපට හමුවෙන, ලෝක කුසලාන ජය නොලත් අයර්ලන්තය
- ලකුණු 78කට කඩුලු 9ක් උදුරා ගත් කොදෙව්වෝ තරගය ජය ගනී
- ශ්‍රී ලංකාව සුපිරි පන්දුවාරයෙන් ඉන්දියාව පරාජය කරයි
- චමරි, විශ්මි සහ චේතනා පාකිස්තානය අමාරුවේ දමයි
- කාන්තා T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා ඉතිහාස කතාව(අවසන් කොටස)
ලකුණු 131ක හඹා යන ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක කඩුල්ලේ ප්‍රබල වෙනස්කමක් සිදු කරනවා. ඒ එතෙක් චමරි අතපත්තු සමඟ ඉනිම ආරම්භ කළ විශ්මි ගුණරත්න වෙනුවට ඉමේෂා දුලානි කැඳවමිනි.
එකී සුසංයෝගය, අතිශය සාර්ථක ආරම්භයක් ශ්‍රී ලංකාවට ලබා දෙනවා. ඔවුන් දෙදෙනා එක් ව පළමු කඩුල්ලට පන්දු 72ක දී ලකුණු 98ක් එක් කරනවා. එම කඩුල්ලේ සබඳතාව නිමා කරමින් දැවී යන්නේ ඉමේෂා දුලානි. ඇය දැවී යන පන්දු 27කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 20ක් ලබා සිටිනවා.
ඉන් අනතුරු ව කඩුල්ලේ දී පන්දු 33ක දී ලකුණු 36ක සබඳතාවක් එක් කරමින් තරගය ජයග්‍රහණය කරා මෙහෙයවීමට නායිකා චමරි අතපත්තු සහ නිලක්ෂිකා සිල්වා සමත් වෙනවා.
තරගය අවසන් වෙද්දී චමරි අතපත්තු පන්දු 61කට මුහුණ දෙමින් හතරේ පහර 17ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 106ක් ලබා සිටියා. ඇය තම පළමු ලකුණු 50 පන්දු 30කින් ද සහ 2 වැනි අර්ධ ශතකය තවත් පන්දු 28ක් පමණක් උපයෝගී කරගනිමින් රැස් කරනවා.
චමරි අතපත්තු මේ රැස් කරන්නේ තම විස්සයි විස්ස ජාත්‍යන්තර තරග පිටියේ සිව් වැනි ශතකය වන අතර එය ඇය ගේ විස්සයි විස්ස ලෝක කුසලාන තරග ඉතිහාසයේ මංගල ශතකය ද වූවා
නිලක්ෂිකා සිල්වා තරගය අවසන් වන විට පන්දු 5කට මුහුණ දෙමින් ලකුණු 4ක් ලබා ගනිමින් නොදැවී පිටියේ රැඳී සිටි අතර තරගය අවසන් වන විට ශ්‍රී ලංකා ඉනිමේ තවත් පන්දු 27ක් ද ඉතිරි කර ගනිමින් කඩුල්ලක් පමණක් දැවී ප්‍රතිවාදී ඉලක්කය සපුරාගෙන තිබුණා.
ඉනිමේ දැවී ගිය එක ම කඩුල්ලේ හිමිකාරීත්වය Orla Prendergast සතු වුණා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- අයර්ලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 5ක් දැවී 130 (20.0)Gaby Lewis 59, Leah Paul 20, Alice Tector නොදැවී 28
- ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුල්ලක් දැවී 134 (15.3)චමරි අතපත්තු නොදැවී 106, ඉමේෂා දුලානි 20
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට කඩුලු 9ක ජයක්.
තරගයේ වීරයා – චමරි අතපත්තු (ශ්‍රී ලංකාව)
ශ්‍රී ලංකාව සහභාගී වෙන 5 වැනි සහ අවසන් තරගය මේ මස 26 වැනිදා ස්කොට්ලන්තය සමඟින් Manchester හි Old Trafford ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.
කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<






















