පොඩි වයසෙන් ලොකු හපන්කම් පෙන්නපු ශෙලින්ඩා

579

සුසන්තිකා සහ දමයන්ති දර්ෂාගෙන් පසුව ජාත්‍යන්තර කෙටිදුර ධාවන පිටියේ මෙරට කාන්තා නාමය ඉහළින්ම තැබීමට සමත් වෙමින්, ලෝක මලල ක්‍රීඩා පිටියේ ද ඉතා සාර්ථක දස්කම් දැක්වීමට ශෙලින්ඩා ජැන්සන් නම් අපේ කතා නායිකාව සමත් වූවාය.

මෙරට ක්‍රීඩාවට සෑමවිටම ජාත්‍යන්තර තලයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් දායාද කරන සුන්දර කන්ද උඩරටින්, 2001 මාර්තු 16 වැනිදා උපත ලැබූ ශෙලින්ඩා තිදෙනෙකුගෙන් යුත් පවුලේ බාලම දරුවාය. 

ජාතික මට්ටමේ රග්බි ක්‍රීඩකයෙකු වූ සිය සොහොයුරාගෙන් සහ ක්‍රීඩාවට මහත් දස්කම් දැක්වූ පවුලකින් ලද ආභාසයත් නිසාවෙන් කුඩා කල සිටම ක්‍රීඩාවට සහජ දස්කම් දැක්වූ ශෙලින්ඩා, වයස අවුරුදු 08ක් වන විට පාසලේ නිවාසාන්තර ක්‍රීඩා උළෙල හරහා මලල ක්‍රීඩාවට අත්පොත් තැබුවාය.

මලල ක්‍රීඩාවට මෙන්ම පිහිනුම් ක්‍රීඩාවට ද ඉහළ දස්කම් දැක්වූ ඇය ප්‍රධාන ක්‍රීඩාව ලෙස පිහිනුම් ඉසව් තෝරාගැනීමට කටයුතු කළත්, ඇගේ මවගේ මගපෙන්වීම නිසාවෙන් පිහිනුම් ක්‍රීඩාව අතහැර මලල ක්‍රීඩාවට අවධානය ලබා දෙන්නට ඇය කටයුතු කළාය.

සිය තීරණය නිවැරදි බව පසක් කරමින් ඇය 2017 වසරේ පැවති ශ්‍රී ලංකා ජාත්‍යන්තර පාසල් මලල ක්‍රීඩා තරගාවලියේ දී ගේට්වේ ජාත්‍යන්තර පාසල නියෝජනය කරමින් මීටර් 100 ඉසව්ව දෙවැන්නා ලෙස අවසන් කරන්නේ රිදි පදක්කමක් ගෙල පැලඳ ගනිමිනි.

එම වසරේම පැවති ශ්‍රීමත් ජෝන් ටාබට් ජ්‍යේෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ දී 17 හැවිරිදි ක්‍රීඩිකාවක් ලෙස 18න් පහළ කාණ්ඩය නියෝජනය කරමින් මීටර් 100 ඉසව්ව ජයග්‍රහණය කරන්නට සමත් වන්නේ ජාතික තලයේ ජයග්‍රහණය කර මංගල පදක්කමට උරුමකම් කියමිනි.

ශෙලින්ඩා ජැන්සන් 2017 Senior John Tarbet මලල ක්‍රීඩා තරගාවලිය අතරතුර දී

එම දස්කම් නිසාවෙන් 2018 වසරේ පැවති ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාව නියෝජනය කිරීමට වරම් ලද ශෙලින්ඩා, 18න් පහළ කෙටිදුර ධාවන ආධිපත්‍ය සියතට ගනිමින් බාලිකා මීටර් 100 සහ 200 ඉසව් හි රන් පදක්කම් ජයග්‍රහණය කරන්නට සමත් වූයේ මීටර් 200 ඉසව්ව තත්පර 24.98ක කනිෂ්ඨ වාර්තාවක් ද සමඟින් අවසන් කරමිනි.

ශෙලින්ඩා ජැන්සන් 2018 ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවය ජයග්‍රහණය කළ අවස්ථාවේ මව සමඟ සතුට බෙදාගනිමින්.

ජාතික කනිෂ්ඨ මට්ටමේ ලද ජයග්‍රහණයත් සමඟින් දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාව නියෝජනය කිරීමට වරම් ලබා ගන්නා ශෙලින්ඩා එහි මීටර් 100 සහ 200 යන ඉසව් ද්විත්වයම තෙවැන්නා ලෙස අවසන් කරන්නේ ජ්‍යේෂ්ඨ ක්‍රීඩිකාවන් රැසක් අභිබවමින් දකුණු ආසියානු පදක්කම් ද්විත්වයකට අයිතිවාසිකම් කියමින් වීම විශේෂත්වයක්.

එම තරගාවලියේ මීටර් 100X4 සහය දිවීමේ ඉසව්ව ද නියෝජනය කළ ඇය එහි දී කණ්ඩායමට අවශ්‍ය සාර්ථක ආරම්භය ලබා දීමට සමත් වූ අතර අනෙකුත් ක්‍රීඩිකාවන්ගේ දස්කම් නිසාවෙන් ඉසව්ව තත්පර 46.22ක කාලයකින් අවසන් කරමින් දකුණු ආසියානු වාර්තාවක් පිහිටුවීමට ද ඇය ඇතුළු කණ්ඩායමට හැකි විය.

තවත් විශේෂාංග ලිපි:

දකුණු ආසියානු තලයේ දැක්වූ දස්කම් නිසාවෙන් 2018 යොවුන් ඔලිම්පික් උළෙල සඳහා පැවති ආසියානු තේරීම් තරග සඳහා සහභාගි වීමට අවස්ථාව ලද ශෙලින්ඩා ආබාධයක් සහිතව තේරීම් තරග සඳහා සහභාගී වුවත්, යොවුන් ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලබා ගැනීමට තරම් ධෛර්යවන්ත විය.

යොවුන් ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලබා ගත් අවස්ථාව සම්බන්ධයෙන් ශෙලින්ඩා The Last Lap වැඩසටහනේ දී අදහස් දැක්වූයේ මෙසේයි,

“මම ආසියානු තේරීම් තරගවලට සුදුසුකම් ලැබුවේ ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ දැක්වූ දස්කම් නිසයි. අපිට කියලා තිබ්බේ ආසියාවෙන් හතර දෙනයි තෝරගන්නේ කියලා. ඉතින් ඉතා අමාරු තරගයක් තිබ්බේ ඒ නිසා, මම ආබාධයක් එක්ක තමා තරගාවලියට සහභාගි වුනේ.

අපිට කිව්වේ පුළුවන් තරම් මුල් හතර ඇතුළට එන්න උත්සහ කරන්න කියලා. මම ඒ තරගයට කලින් වමනේත් දැම්මා, ඒ තරම් මම පීඩනයකින් හිටියේ. මට ඒකෙදි මගේ උපරිමයටවත් එන්න බැරි වුන නිසා මම කලකිරීමට පත්වුනා. ඒත් මම හතරවැන්නා ලෙස අවසන් කරපු නිසා මාව ආසියානු සංචිතයට තේරී පත්වුනා”

යොවුන් ඔලිම්පික් උළෙලට සහභාගි වීම සඳහා ආජන්ටිනාවට පැමිණි ඇයට එහි දී බොහෝ අභියෝගයන්ට මුහුණ දීමට සිදුවිය.

කෙසේ නමුත් එම තරගාවලියේ ද සාර්ථක දස්කම් දැක්වීමට සමත් වූ ඇය මූලික වටයේ තරග සාර්ථකව අවසන් කරමින් මීටර් 200 අවසන් තරගය සඳහා තේරී පත්වීමට සමත් වූ අතර අවසන් තරගයේ දී ඇය නවවැන්නා ලෙස ඉසව්ව අවසන් කරමින් ආසියානු කනිෂ්ඨ ක්‍රීඩකයන් අතර මුල් තැනටත්, ලෝක ක්‍රීඩිකාවන් අතර නවවැනි තැනටත් පත්වුනේ සුසන්තිකා ජයසිංහ සහ දමයන්ති දර්ශාට පසුව මෙරට කෙටිදුර ධාවන ඉතිහාසය අලුත් කරමින් වීම විශේෂත්වයක්.

ශෙලින්ඩා ජැන්සන් 2018 යොවුන් ඔලිම්පික් උළෙලේ දී

“ඇත්තටම මාව ගොඩක් අය දැනගත්තේ ඒ තරගයෙන්. අදියර දෙකකට වෙන් කරලයි ඒ තරගය තිබුණේ. මුල් අදියර දුවලා අන්තිම වුනත් දෙවැනි අදියරට සහභාගි වෙන්න ඕන. මුල් අදියර මම 24.9ක කාලයකින් අවසන් කළා, එතකොට මම ලෝක ශ්‍රේණිගත කිරීමේ 16 වැනියට හිටියේ, පස්සේ මම දෙවැනි අදියර 24.07ක කාලයකින් අවසන් කළා. 

ඒකෙන් පස්සේ මට ආසියාවේ අංක එක වෙන්න ලැබුණා ඒ වගේම ලෝක ශ්‍රේණිගත කිරීමේ නවවැනි තැනට එන්නත් ලැබුණා. ඉතින් ඒක මගේ ජීවිතේ ලබාගත්ත ලොකුම දෙයක්. ගොඩක් අමාරුකම් එක්ක ඒ ටයිම් එක දුවන්න ලැබුණ එකට ගොඩක් සතුටුයි”

යැයි ඇගේ හපන්කම් සම්බන්ධයෙන් The Last Lap වැඩසටහනේ දී ශෙලින්ඩා අදහස් දැක්විය.

කනිෂ්ඨ ක්‍රීඩා පිටියේ ඉහළටම යාමෙන් පසුව නැවතත් මව් රටට පැමිණි ශෙලින්ඩා කනිෂ්ඨ මලල ක්‍රීඩා පිටියෙන් ඉවත් වී ජ්‍යෙෂ්ඨයින් සමඟින් තරග වැදීමට තීරණය කළ අතර කනිෂ්ඨ පිටියේ ඇය දැක්වූ දස්කම් නිසාවෙන් 2019 වසරේ පැවති ජාතික මලල ක්‍රීඩා සංචිත තේරීම් තරග සඳහා සහභාගි වීමේ වරම ඇයට හිමි විය.

ඒ අනුව 2019 වසරේ පැවති ජාතික මලල ක්‍රීඩා සංචිත තේරීම් තරගවල දී කාන්තා මීටර් 100 ඉසව්ව තත්පර 11.93ක කාලයකින් අවසන් කරමින් සියලු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන් පරාජය කරමින් ප්‍රථමයා වන්නට ඇය සමත්වූයේ සිය ක්‍රීඩා දිවියේ තවත් කඩඉමක් පසු කරමිනි.

2019 ජාතික මලල ක්‍රීඩා තේරීම් තරග අතරතුරදී

එම ජයග්‍රහණයත් සමඟින් 2019 වසරේ පැවති දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සඳහා සුදුස්සන් තේරීමේ තරගාවලිය වූ “97 වන ජාතික මලල ක්‍රීඩා ශූරතාව” සඳහා සහභාගි වීමට ශෙලින්ඩා පැමිණෙන්නේ ජාත්‍යන්තර තලයේ මුල්ම ජ්‍යෙෂ්ඨ තරගාවලිය සඳහා සහභාගි වීමට වරම් දිනා ගැනීමේ අරමුණෙනි.

එම තරගාවලියේ මුල්ම ඉසව්ව වූ මීටර් 100 සඳහා සහභාගි වූ ඇය සාර්ථක ආරම්භයක් ලබා ගනිමින් ඉසව්ව ආරම්භ කළත්, ඉසව්ව අතරමැද දී ආබාධයකට ලක්වූ නිසාවෙන් දකුණු ආසියානු බලාපොරොත්තු අතහරින්නට ඇයට සිදු විය.

එම ආබාධ තත්වය නිසාවෙන් තරගාවලියෙන් ඉවත් වීමට ඇයට සිදු වූ අතර කෙටි කලකට ක්‍රීඩා පිටියට සමුදීමට ද ඇයට සිදු වන්නේ නිසැක වශයෙන් ලබා ගැනීමට තිබූ දකුණු ආසියානු වරම් ද මදකට පසෙකට දමමිනි.

ශෙලින්ඩා ආබාධයට ලක් වූ අවස්ථාව

එම ආබාධයෙන් පසුව සිය පාසල් ක්‍රීඩා ගමනේ අවසාන වසර වූ 2020 වසර ඇය පිවිසෙන්නේ ජාත්‍යන්තර පාසල් මලල ක්‍රීඩා තරගාවලියේ දී සිය පාසල මෙහෙය වීමේ වගකීම ද උර මත තබාගනිමිනි.

එහි දී 20න් පහළ මීටර් 200 ඉසව්ව සඳහා ඉදිරිපත් වූ ශෙලින්ඩා සිය සහෝදර ප්‍රතිවාදි ක්‍රීඩිකාවන වූ සදීපා හෙන්ඩර්සන් සමඟින් කරට කර තරගයක නිරත වෙමින් තත්පර 24.6ක කාලයකින් ඉසව්ව අවසන් කරන්නේ එම තරගාවලියේ තමන් සතුව තිබූ ආධිපත්‍ය තවදුරටත් රැකගනිමිනි.

එම ජයග්‍රහණයෙන් පසුව පැවති මීටර් 100 ඉසව්ව ද තත්පර 11.6ක කාලයකින් අවසන් කරමින් රන් පදක්කම ජයග්‍රහණය කරන්නට ශෙලින්ඩා සමත් වූ අතර මීටර් 100 සහය දිවීමේ ඉසව්වෙන් ද සිය පාසලට ගෞරවය දිනා දෙන්නට ශෙලින්ඩා සමත් වූයේ සිය අවසන් පාසල් ක්‍රීඩා තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ද අභිෂේක ලබමිනි.

2020 ජාත්‍යන්තර පාසල් මලල ක්‍රීඩා උළෙලේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස පත්වූ අවස්ථාව

සාර්ථක වසර කිහිපයකින් පසුව, මේ දිනවල පැතිර යන කොරෝනා වසංගත තත්වය නිසාවෙන් ක්‍රීඩා පිටියෙන් මදක් ඉවත්ව සිටීමට ශෙලින්ඩාට සිදුව ඇති නමුත් මලල ක්‍රීඩා කටයුතු ආරම්භ වූ සැණින් නැවතත් පිටියට පිවිසීමට ඇය ඉතා හොඳ සූදානමකින් පසුවේ.

මෙරට කෙටිදුර ධාවනය පිළිබඳව නැවතත් ජාත්‍යන්තරයේ කතාබහක් ඇති කරන්නට සමත් වූ ශෙලින්ඩා වැනි ජාත්‍යන්තර මට්ටමේ දස්කම් දැක්වීමට හැකි ක්‍රීඩිකාවන්ට අවශ්‍ය පහසුකම් සපයමින් ඔවුන්ව රැක ගැනීමට හැකි වුවහොත්, සුසන්තිකා, දර්ශාගෙන් පසුව නැවතුණ මෙරට කාන්තා කෙටිදුර ධාවනයේ නැවුම් පරිච්ඡේදයක් ලියවීමට හැකි වනු ඇත.

ශෙලින්ඩාගේ අනාගත ක්‍රීඩා කටයුතු සාර්ථක වී ඇයගේ සිහිනය කරා යෑමට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවායි ThePapare.com අප සුබ ප්‍රාර්ථනා කරන්නෙමු.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<