10 වැනි කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහභාගී වූ පළමු පුහුණු තරගය පහසුවෙන් ම ජයග්‍රහණය කිරීමට ඔවුන් සමත් වෙනවා.
ඊයේ (6) Derby හි දී පැවැති පාකිස්තානය කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමඟ තරගයේ දී ඔවුන් කඩුලු 9ක ජයග්‍රහණයක් වාර්තා කරනවා.
කාසියේ වාසිය ජයග්‍රහණය කළ පාකිස්තාන නායිකාව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි පාකිස්තාන ක්‍රීඩිකාවෝ කඩුලු 8ක් දැවී ලකුණු 168ක් ලබා ගන්නා ලද අතර එම ඉලක්කය ඉනිමේ තවත් පන්දු 8ක් ඉතිරිව තිබිය දී කඩුල්ලක් පමණක් දැවී සපුරා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වෙනවා.
පාකිස්තාන ඉනිමට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට ආරම්භක පිතිකාරිනියන් වූ Muneeba Ali සහ Gull Feroza සමත් වෙනවා. ඔවුන් දෙදෙනා එක් ව 1 වැනි කඩුල්ලට පන්දු 40ක දී ලකුණු 60ක සබඳතාවක් ගොඩ නගනවා. එම කඩුල්ලේ සබඳතාව බිඳ යන්නේ Muneeba Ali ගේ දැවී යෑමත් සමඟිනුයි. ඇය දැවී යන විට පන්දු 21කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 36ක් ලබා සිටියා.
ඇය ගේ දැවී යෑමෙන් අනතුරු ව යැවුණ 6 වැනි පන්දුවේ දී Gull Feroza ද ඉනිම හැර යන අතර ඒ වෙද්දී ඇය පන්දු 23කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 26ක් ලබා සිටියා.
ඔවුන්ගේ එම දැවී යෑම්වලින් අනතුරු ව නැවත පාකිස්තාන ඉනිමට සහනයක් ගෙන දුන්නේ නායිකා Fatima Sana. ඇය ඉනිමේ අවසන් පන්දුවේ දී දැවී යන විට පන්දු 26කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 37ක් ලබා සිටියා.
ඇය Aliya Riaz හා එක් ව 7 වැනි කඩුල්ලට පන්දු 27ක දී ලකුණු 41ක සබඳතාවක් ද ගොඩ නගනවා. Aliya Riaz දැවී යන විට පන්දු 16කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 22ක් ලබා සිටියා.
කඩුලු දවා ගැනීමේ දී ආබාධිත තත්ත්වයක් මත තරගාවලියෙන් ඉවත් කෙරුණු ශෂිනි ගිම්හානි වෙනුවට කණ්ඩායමට එක් කළ දකුණතින් මඳ වේග පන්දු යවන චේතනා විමුක්ති ලකුණු 31කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කරනවා. ඊට අමතර ව නිමාෂා මීපගේ, මල්කි මදාරා සහ සුගන්දිකා කුමාරි කඩුල්ල බැගින් දවා ගත්තා.
- කාන්තා T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා ඉතිහාස කතාව (1 වැනි කොටස)
- කාන්තා ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
- ශ්‍රී ලංකා A ක්‍රීඩිකාවෝ 2-0කින් ඉදිරියට එයි
- Colombo Kaps නව මුහුණුවරකින් LPL තරගාවලියට පිවිසෙයි
- නවසීලන්ත A ක්‍රීඩිකාවෝ තරගාවලිය ජය ගනී
ශ්‍රී ලංකා පිළිතුරු ඉනිම ආරම්භ කළ විශ්මි ගුණරත්න සහ චමරි අතපත්තු පාකිස්තාන පන්දු යවන්නනියන්ට කිසිදු බුරුලක් ලබා දුන්නේ නොදෙමින් ක්‍රීඩා කිරීම කැපී පෙණුනා. ඔවුන් තම ඉනිමේ පළමු ලකුණු 50, 5 වැනි පන්දුවාරය අවසන් වෙද්දී ලබා ගන්නා ලද අතර පළමු Power Play අවස්ථාව නිමා වෙන විට ලකුණු 64ක් ලබා සිටියා.
ඉනිමේ 10 වැනි පන්දුවාර දක්වා ම චමරි අතපත්තු අභිබවා විශ්මි ගුණරත්න ලකුණු ලබා ගැනීමෙන් ඉදිරියෙන් සිටිය ද ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු 100ත් තම අර්ධ ශතකයත් එක ම පන්දුවාරයක දී ලබා ගැනීමට චමරි අතපත්තු සමත් වෙනවා. ඇය තම අර්ධ ශතකය වාර්තා කිරීමට වැය කරන්නේ පන්දු 39ක් පමණයි.
ඉන් අනතුරු ව විශ්මි ගුණරත්න ද තමන් මුහුණ දුන් 39 වැනි පන්දුවේ දී ම අර්ධ ශතකය වාර්තා කිරීමට සමත් වෙනවා.
ඔවුන් දෙදෙනා විසින් පළමු කඩුල්ලට පන්දු 104ක දී ලකුණු 159ක සබඳතාවක් ගොඩ නගන අතර එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන්නේ චමරි අතපත්තු ගේ දැවී යෑමත් සමඟිනුයි. ඒ වෙද්දී ඇය පන්දු 58කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 94ක් ලබා සිටියා.
තරගය ජයග්‍රහණයෙන් අවසන් වෙද්දී විශ්මි ගුණරත්න පන්දු 50කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 63ක් ද සහ හර්ෂිතා සමරවික්‍රම පන්දු 5ක දී නොදැවී ලකුණු 4ක් ද ලබා සිටියා.
ශ්‍රී ලංකා ඉනිමේ දැවී ගිය එක ම කඩුල්ලේ හිමිකාරීත්වය Fatima Sana සතු වුණා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
පාකිස්තානකාන්තා ක්‍රිකට්ක ණ්ඩායම – කඩුලු 8ක් දැවී 168 (20.0) Muneeba Ali 36, Gull Feroza 26, Fatima Sana 37, Aliya Riaz 22, චේතනා විමුක්ති 4/31
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුල්ලක් දැවී 169 (18.4)විශ්මි ගුණරත්න නොදැවී 63, චමරි අතපත්තු 94
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට කඩුලු 9ක ජයක්.
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සහභාගී වන 2 වැනි පුහුණු තරගය මේ මස 9 වැනිදා නවසීලන්ත ක්‍රීඩිකාවන් සමඟින් Derby හි දී රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වීමට නියමිතයි.
කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<






















