එංගලන්ත T20 තරගාවලියට ශ්‍රී ලංකාවත් සමඟ IFS හවුල් වෙයි

221

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමත් සමඟ පැවැත්වීමට නියමිත තරග 3කින් සමන්විත විස්සයි-විස්ස ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ ‘Back of Jersey Branding’ (ටී-ෂර්ටයේ පිටුපස කොටසේ සන්නාම සහකරු) ලෙස ගෝලීය ව්‍යාවසාය මෘදුකාංග (enterprise software) සමාගමක් වන IFS සමාගම ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ එක්ව සිටිනවා.

දෙපාර්ශ්වය අතර අත්සන් තැබුණු මෙම ගිවිසුම යටතේ 2021 වසරේ ජුනි 08 වැනිදා සිට 27 වැනිදා දක්වා වූ කාලසීමාවේ දී ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තයට එරෙහිව ක්‍රීඩා කරනු ලබන විස්සයි-20 ජාත්‍යන්තර තරග 3 දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හවුල්කරුවකු ලෙස IFS කටයුතු කරනු ඇත. එම විස්සයි-20 තරග ජුනි 23 සහ 24 යන දෙදින කාඩිෆ්හිදී ද, 26 පැවැත්වෙන තරගය සදම්ටන්හිදී ද පැවැත්වෙනු ඇත.

එංගලන්තයට එරෙහිව පැවැත්වෙන විස්සයි-20 තරග 3, එම තරග සංචාරයේ එක් කොටසක් වන අතර ඊට අමතරව ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තයට එරෙහිව තවත් එක්දින තරග 3කට ක්‍රීඩා කිරීමට නියමිතය.

මෙම අනුග්‍රාහකත්වය පිළිබඳව අදහස් දක්වා සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ඈෂ්ලි ද සිල්වා මහතා, “IFS වැනි තාක්ෂණයෙන් මුසු සේවාවන් ලබා දෙන ආයතනයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවත් සමඟ අත්වැල් බැඳ ගැනීම ගැන සතුටට පත් වන අතර වේගය මත ජයග්‍රාහකයා තීරණය වන විස්සයි-විස්ස වැනි තරගාවලියක දී අප සමඟ අත්වැල් බැඳ ගැනීමේ දී එම ආයතනයට ඔවුන්ගේ ඉලක්ක ගත  පාරිභෝගිකයන්ගේ ආකර්ෂණය ඇති කර ගැනීමට හැකි වනු ඇති බව මම විශ්වාස කරනවා” යැයි පැවසීය.

තවත් ක්‍රිකට් පුවත්:

IFS සමාගම ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ අත්වැල් බැඳ ගනු ලබන්නේ විස්සයි-විස්ස ලෝක කුසලාන ජයග්‍රාහකයින් වන ශ්‍රී ලංකා කණ්ඩායම මේ වසර අග දී පැවැත්වීමට නියමිත විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට තරග වැදීමට සූදානම්ව සිටින අවස්ථාවකයි.

IFS සමාගමේ ශ්‍රී ලංකා මෙහෙයුම් විධායක උපසභාපති සහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරි රනිල් රාජපක්ෂ මහතා, “ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ පාර්ශ්වකරුවකු ලෙසින් අත්වැල් බැඳගැනීමට හැකියාව ලැබීම ගැන අප ආයතනය සතුටු වනවා. ඒ වගේම ශ්‍රී ලංකා කණ්ඩායමේ අනුග්‍රාහකයකු බවට පත්වීමට ලැබීම ගැන අපි ආඩම්බරයට පත් වෙනවා. තරග සංචාරය ඉතාමත් සාර්ථක තරගාවලියක් වේවා කියලා අපි ශ්‍රී ලංකා කණ්ඩායමට සුබ ප්‍රාර්ථනා කරනවා” යැයි පවසා සිටියා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<