කාන්තා T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා ඉතිහාස කතාව(අවසන් කොටස)

ICC Women's T20 World Cup 2026

2
ICC Women's T20 World Cup 2026

10 වැනි කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආසන්නයට පැමිණ තිබිය දී ඊට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ ගමන් මඟ පිළිබඳව තැබෙන සංක්ෂිප්ත සටහනක 3  වැනි සහ අවසන් ලිපියයි මේ.

7 වැනි තරගාවලිය (2020 – ඕස්ට්‍රේලියාව)

චමරි අතපත්තු ඕස්ට්‍රේලියාවට එරෙහි ව අර්ධ ශතකයක් රැස් කරමින්. (2020.02.24)
චමරි අතපත්තු ඕස්ට්‍රේලියාවට එරෙහි ව අර්ධ ශතකයක් රැස් කරමින්. (2020.02.24)

මෙම තරගාවලිය ද පැවැත්වෙන්නේ කණ්ඩායම් 10ක සහභාගීත්වයෙනුයි. පෙර ලෝක කුසලාන තරගාවලිය අවසානයේ ලැයිස්තු ගත වූ පළමු කණ්ඩායම් 8 සුපුරුදු ලෙසින් ම සෘජුව ම මෙම තරගාවලියට ද එක් වූ අතර පැවැති සුදුසුකම් ලැබීමේ තරගාවලියේ දී ශූරයන් බවට පත් බංග්ලාදේශය සහ අනුශූරයන් බවට පත් තායිලන්තය ද මෙවර තරගාවලියට එක් වුණා.

ඒ අතුරින් තායිලන්තය කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියකට එක් වූ පළමු අවස්ථාව වෙන්නේ මෙයයි.

සුපුරුදු ලෙසින් ම ශ්‍රී ලංකාව නැවතත් A කාණ්ඩයෙන් තරගාවලියට එක් වෙන අතර ඔවුන් සමඟින් පෙර තරගාවලියේ ශූරයන් බවට පත් ඕස්ට්‍රේලියාව සමඟින් ඉන්දියාව, නවසීලන්තය සහ බංග්ලාදේශය මෙම කාණ්ඩයට ඇතුලත් වුණා.

පෙර තරගාවලියේ අනුශූරයන් බවට පත් වූ එංගලන්තය B කාණ්ඩයෙන් තරගාවලියට එක් වූ අතර ඔවුන් සමඟින්  දකුණු අප්‍රිකාව, බටහිර ඉන්දීය කොදෙව්, පාකිස්තානය සහ තායිලන්තය මෙම කාණ්ඩයට ඇතුලත් වූවා.

  • තරගාවලියේ ශූරතාව – ඕස්ට්‍රේලියාව
  • තරගාවලියේ අනුශූරතාව – ඉන්දියාව
  • තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව – Beth Mooney(ඕස්ට්‍රේලියාව)
  • තරගාවලියේ වැඩිම ලකුණුලාභිනිය – Beth Mooney(259 – ඕස්ට්‍රේලියාව)
  • තරගාවලියේ වැඩිම කඩුලුලාභිනිය – Megan Schutt (13 – ඕස්ට්‍රේලියාව)

මෙවර නම් කෙරුණ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට පෙර පරිදිම චමරි අතපත්තු නම් කර තිබූ අතර ඇය ගේ සහායිකාව ලෙසින් හර්ෂිතා සමරවික්‍රම නම් කර තිබුණා. ඇය ඊට පෙර 2016 ලෝක කුසලානයට ද සහභාගී වී සිටියා.

ඊට අමතර ව 2016 ලෝක කුසලාන තරගාවලිය ද නියෝජනය කළ හංසිමා කරුණාරත්න සහ අනුෂ්කා සංජීවනී නැවත වතාවක් කණ්ඩායමට එක් කර තිබූ අතර නවකයන් ලෙසින් සත්‍යා සංදීපනී, අචිනි කුලසූරිය සහ උමේෂා තිමේෂනී නම් කර තිබුණා.

2020 කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ශ්‍රී ලංකා කණ්ඩායම

 

චමරි අතපත්තු (නායිකාව), හර්ෂිතා සමරවික්‍රම (උප නායිකාව), හංසිමා කරුණාරත්න, හසිනි පෙරේරා, අනුෂ්කා සංජීවනී (කඩුලු රකින්නිය), නිලක්ෂිකා සිල්වා, ඩිලානි මනෝදරා (කඩුලු රකින්නිය), කවීෂා දිල්හාරි, අමා කාංචනා, සත්‍යා සංදීපනී, අචිනි කුලසූරිය, සුගන්දිකා කුමාරි, උදේශිකා ප්‍රබෝධනී, ශෂිකලා සිරිවර්ධන, උමේෂා තිමේශනී.

මෙවර තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට ජයග්‍රහණය කිරීමට ලැබෙන්නේ ප්‍රසාද ලකුණු පුවරුවේ අවසානයා වූ බංග්ලාදේශ කණ්ඩායම පමණයි. ඒ අනුව ඔවුන්ට මෙවර ද තම කාණ්ඩයේ ප්‍රසාද ලකුණු පුවරුවේ 3 වැනි ස්ථානයෙන් සෑහීමකට පත් වීමට සිදු වුණා.

2020 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ගමන් මඟ
  ප්‍රතිවාදීන් තරගයේ ප්‍රතිඵල ක්‍රීඩාංගණය තරගයේ වීරයා
1 නවසීලන්තය නවසීලන්ත කණ්ඩායමට කඩුලු 7ක ජයක්. W.A.C.A. Hayley Jensen
2 ඕස්ට්‍රේලියාව ඕස්ට්‍රේලියා කණ්ඩායමට කඩුලු 5ක ජයක්. W.A.C.A. Rachael Haynes
3 ඉන්දියාව ඉන්දීය කණ්ඩායමට කඩුලු 7ක ජයක්. Melbourne Radha Yadav
4 බංග්ලාදේශය ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 9ක ජයක්. Melbourne ශෂිකලා සිරිවර්ධන

තරගාවලියේ වැඩිම ලකුණුලාභී ශ්‍රී ලංකා පිතිකාරිනිය බවට පත් වෙන්නේ නායිකා චමරි අතපත්තු. ඇය මෙවර තරගාවලියේ දී තරග 4ක දී ලකුණු 154ක් ලබා ගන්නවා. ඊට ඕස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහි ව පන්දු 38කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් සමඟින් ලබා ගත් ලකුණු 50ක් ද ඇතුලත්.

ඇයට අමතර ව හසිනි පෙරේරා ලකුණු 66ක් ද සහ අනුෂ්කා සංජීවනී ලකුණු 57ක් ද වාර්තා කරමින් ශ්‍රී ලංකා පිතිකරු ලැයිස්තුවේ පළමු අසුන් ත්‍රිත්වය හිමි කර ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී නැවත වතාවක් ශෂිකලා සිරිවර්ධන පෙරමුණ ගත් අතර ඇය තරග 4ක පන්දුවාර 15ක් යවමින් කඩුලු 7ක් දවා ගන්නවා. ඇයට අමතර ව උදේශිකා ප්‍රබෝධනී කඩුලු 3ක් දවා ගත් අතර අචිනි කුලසූරිය, කවීෂා දිල්හාරි සහ චමරි අතපත්තු කඩුලු ද්විත්වය බැගින් දවා ගන්නවා.

8 වැනි තරගාවලිය (2023  දකුණු අප්‍රිකාව)

චමරි අතපත්තුගෙන් පසුව ලෝක කුසලානයක දී අර්ධ ශතකයක් රැස් කළ හර්ෂිතා සමරවික්‍රම. (2023.02.12)

ලොව පුරා පැවැති කොවිඩ් වසංගතය හේතුවෙන් මෙවර තරගාවලිය පැවැත්වෙන්නේ පෙර ලෝක කුසලාන තරගාවලිය පවත්වා වසර 3කට පසුවයි. සුපුරුදු ලෙසින් මෙවර ද කණ්ඩායම් 10ක් සහභාගී වූ අතර පසුගිය තරගාවලියේ පළමු ස්ථාන 8 ට ලැයිස්තු ගත වූ කණ්ඩායම් සෘජුව ම තරගාවලියට එක් කර තිබුණා. පැවැති සුදුසුකම් ලබා ගැනීමේ  තරගාවලියේ ශූරියන් බවට පත් බංග්ලාදේශය ද සහ අනුශූරියන් බවට පත් වූ අයර්ලන්තය ද තරගාවලියට එක් වූ අනෙක් කණ්ඩායම් ද්විත්වය වූවා. අයර්ලන්තය මෙවර තරගාවලියට එක් වෙන්නේ 2018 වසරට පසුවයි.

මෙවර ද ශ්‍රී ලංකාව තරගාවලියට එක් වෙන්නේ A කාණ්ඩයෙන්. ඔවුන් සමඟින් සත්කාරක දකුණු අප්‍රිකාව සහ නිමා වූ ලෝක කුසලාන තරගාවලියේ ශූරියන් වූ ඕස්ට්‍රේලියාව ද එක් වූ අතර ඊට අමතර ව නවසීලන්තය සහ බංග්ලාදේශය ද එම කාණ්ඩයට ඇතුලත් වූවා.

පෙර තරගාවලියේ අනුශූරයන් වූ ඉන්දියාව ප්‍රමුඛ ව එංගලන්තය, බටහිර ඉන්දීය කොදෙව්, පාකිස්තානය සහ අයර්ලන්තය B කාණ්ඩයෙන් තරගාවලියන්ට එක් වූවා.

  • තරගාවලියේ ශූරතාව – ඕස්ට්‍රේලියාව
  • තරගාවලියේ අනුශූරතාව – දකුණු අප්‍රිකාව
  • තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව – Ashleigh Gardner (ඕස්ට්‍රේලියාව)
  • තරගාවලියේ වැඩිම ලකුණුලාභිනිය – Laura Wolvaardt(230- දකුණු අප්‍රිකාව)
  • තරගාවලියේ වැඩිම කඩුලුලාභිනියන්- Sophie Ecclestone (11- එංගලන්තය)

මෙම තරගාවලියේ ද නායකත්වය චමරි අතපත්තු සතු වූ අතර පළමු වරට 16 වැනි වියේ පසු වු ඉදිරිපෙළ දකුණත් පිතිකාරිනී විශ්මි ගුණරත්න ද කණ්ඩායමට එක් කර තිබුණා. ඇයත් සමඟින් කෞශිනී නුත්‍යාංගනා, මල්ෂා ෂෙහානි සහ තාරුකා සෙව්වන්දි ද නවක ක්‍රීඩිකාවන් ලෙසින් මෙවර කණ්ඩායමට ඇතුලත් වුණා.

ඊට අමතර ව අවසන් වරට 2016 ලෝක කුසලානය නියෝජනය කළ ඉනෝකා රණවීර ද සහ 2018 ලෝක කුසලානය නියෝජනය කළ ඔෂදී රණසිංහ මෙම කණ්ඩායමේ අසුන් හිමිකර ගෙන තිබුණා.

2023 ලෝක කුසලාන ශ්‍රී ලංකා කණ්ඩායම

චමරි අතපත්තු (නායිකාව), විශ්මි ගුණරත්න, කෞශිනී නුත්‍යාංගනා, හර්ෂිතා සමරවික්‍රම, අනුෂ්කා සංජීවනී (කඩුලු රකින්නිය), නිලක්ෂිකා සිල්වා, හසිනි පෙරේරා, කවීෂා දිල්හාරි, අමා කාංචනා, ඔෂදී රණසිංහ, සත්‍යා සංදීපනී, අචිනි කුලසූරිය, සුගන්දිකා කුමාරි, ඉනෝකා රණවීර, මල්ෂා ෂෙහානි, තාරුකා සෙව්වන්දි.

මෙම තරගාවලියේ දී 2016 තරගාවලියට පසුව නැවත වතාවක් තරග ද්විත්වයක් දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වෙනවා. එසේ වූවත් ඔවුන්ට මෙවර ද තම ප්‍රසාද ලකුණු පුවරුවේ හිමි වෙන්නේ සිව් වැනි ස්ථානයයි.

2023 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ගමන් මඟ
  ප්‍රතිවාදීන් තරගයේ ප්‍රතිඵල ක්‍රීඩාංගණය තරගයේ වීරයා
1 දකුණු අප්‍රිකාව ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 3ක ජයක්. Cape Town චමරි අතපත්තු
2 බංග්ලාදේශය ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 7ක ජයක්. Cape Town හර්ෂිතා සමරවික්‍රම
3 ඕස්ට්‍රේලියාව ඕස්ට්‍රේලියා කණ්ඩායමට කඩුලු 10ක ජයක්. Gqeberha Alyssa Healy
4 නවසීලන්තය නවසීලන්ත කණ්ඩායමට ලකුණු 102ක ජයක්. Paarl Melie Kerr

මෙම තරගාවලියේ දී චමරි අතපත්තු ගෙන් පසුව විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියක දී අර්ධ ශතකයක් වාර්තා කිරීමට හර්ෂිතා සමරවික්‍රම සමත් වෙනවා. ඇය තරගාවලිය නිමා කරද්දී බංග්ලාදේශයට එරෙහි ව පන්දු 50කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලබා ගත් ලකුණු 69ත් සමඟින් තරග 4ක ඉනිම් 4ක දී ලකුණු 119ක් ලබා ගනිමිනුයි. ඒ සමඟින් ඇය වැඩිම ලකුණුලාභිනී ශ්‍රී ලංකා පිතිකාරිනියන් අතර පළමු ස්ථානයට ද පත් වුණා.

චමරි අතපත්තු ද මෙවර තරගාවලියේ දී දකුණු අප්‍රිකානුවන්ට එරෙහි ව පන්දු 50කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සමඟින් ලකුණු 68ක් ලබා ගත් අතර ඇය තරගාවලිය නිමා කරද්දී තරග 4ක ඉනිම 4ක දී ලකුණු 118ක් ලබා සිටියා. ඊට අමතර ව නිලක්ෂිකා සිල්වා සහ විශ්මි ගුණරත්න ලකුණු 60 බැගින් ලබා ගන්නවා.

කඩුලු දවා ගැනීමේ දි ඉනෝකා රණවීර තරග 4ක දී පන්දුවාර 15ක් යවමින් කඩුලු 5ක් ද සහ ඔෂදී රණසිංහ තරග 4ක දී පන්දුවාර 14.5ක් යවමින් කඩුලු 5ක් ද ලෙසින් දවා ගනිමින් ඉහළ ම දක්ෂතා දක්වනවා.

ඊට අමතර ව චමරි අතපත්තු සහ සුගන්දිකා කුමාරි කඩුලු ද්විත්වය බැගින් දවා ගන්නවා.

9 වැනි තරගාවලිය (2024 – එක්සත් අරාබි එමීර් රාජ්‍යය)

නිලක්ෂිකා සිල්වා පාකිස්තානයට එරෙහි ව දක්ෂතා දක්වමින්. (2024.10.03)

මෙම තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැතිය ද තරගාවලියට සත්කාරකත්වය දක්වන්නේ බංග්ලාදේශයයි. තරගාවලිය සුපුරුදු ලෙසින් ම කණ්ඩායම් 10කින් සමන්විත වූව ද ඒ අතරට සෘජුව ම එක්වීමට මෙවර ශ්‍රී ලංකා කණ්ඩායමට නොහැකි වෙනවා.

ඔවුන්ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ම පැවැති ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට එක් වීමට සිදු වෙන අතර එහි දී ඔවුන් ශූරියන් බවට පත් වෙමින් එහි අසුනක් හිමි කර ගන්නවා. ඊට අමතර ව එම තරගාවලියේ අනුශූරියන් බවට වූ ස්කොට්ලන්තය ද පළමු වතාවට මෙම තරගාවලිය නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ගත්තා.

පෙර තරගාවලිය නියෝජනය කරමින් පළමු ස්ථාන 6ට පත් ඔස්ට්‍රේලියාව, එංගලන්තය, ඉන්දියාව, දකුණු අප්‍රිකාව, නවසීලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව්වන් මෙවර තරගාවලියට සෘජුව ම සුදුසුකම් ලබා ගන්නා ලද අතර බංග්ලාදේශය සත්කාරකයන් ලෙසත් සහ පාකිස්තානය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ කාන්තා විස්සයි විස්සයි කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම අනුව ද තරගාවලියට එක් වෙනවා.

මෙවර ද ශ්‍රී ලංකා කණ්ඩායම A කාණ්ඩය නියෝජනය කරමින් තරගාවලියට එක් වූ අතර පෙර තරගාවලියේ ජයග්‍රාහිකාවන් වූ ඕස්ට්‍රේලියාව සමඟින් ඉන්දියාව, නවසීලන්තය සහ පාකිස්තානය එම කාණ්ඩයෙන් තරගාවලියට එක් වූවා.

පෙර තරගාවලියේ අනුශූරියන් වූ දකුණු අප්‍රිකාව B කාණ්ඩයෙන් තරගාවලියට එක් වූ අතර ඔවුන් සමඟින් බංග්ලාදේශය, එංගලන්තය, ස්කොට්ලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව්  එම කාණ්ඩයෙන් තරගාවලියට එක් වුණා.

  • තරගාවලියේ ශූරතාව – නවසීලන්තය
  • තරගාවලියේ අනුශූරතාව – දකුණු අප්‍රිකාව
  • තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව – Amelia Kerr (නවසීලන්තය)
  • තරගාවලියේ වැඩිම ලකුණුලාභිනිය – Laura Wolvaardt (223- දකුණු අප්‍රිකාව)
  • තරගාවලියේ වැඩිම කඩුලුලාභිනියන්-Amelia Kerr (15 – නවසීලන්තය)

මෙවර ද ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයේ වගකීම පැවැරෙන්නේ චමරි අතපත්තු වෙතයි. නම් කෙරුණ කණ්ඩායමට ශෂිනි ගිම්හානි සහ සචිනි නිසංසලා නවක ක්‍රීඩිකාවන් ලෙසින් එක් වෙන අතර ඊට අමතර ව 2018 තරගාවලිය නියෝජනය කළ ඉනෝෂි ප්‍රනාන්දු සහ 2020 තරගාවලිය නියෝජනය කළ උදේශිකා ප්‍රබෝධනී ද මෙම කණ්ඩායම නියෝජනය කළා.

2024 ලෝක කුසලාන ශ්‍රී ලංකා කණ්ඩායම

 

චමරි අතපත්තු (නායිකාව), විශ්මි ගුණරත්න, හසිනි පෙරේරා, හර්ෂිතා සමරවික්‍රම, අනුෂ්කා සංජීවනී (කඩුලු රකින්නිය), නිලක්ෂිකා සිල්වා, කවීෂා දිල්හාරි, අමා කාංචනා, ඉනෝෂි ප්‍රනාන්දු, ශෂිනි ගිම්හානි, අචිනි කුලසූරිය, සුගන්දිකා කුමාරි, සචිනි නිසංසලා, උදේශිකා ප්‍රබෝධනී සහ ඉනෝකා රණවීර.

මෙවර තරගාවලියේ දී ශ්‍රී ලංකාවට තමන් සහභාගී වූ තරගවලින් කිසිදු තරගයක් ජයග්‍රහණය කිරීමට හැකි වෙන්නේ නැහැ.

2024 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ගමන් මඟ
  ප්‍රතිවාදීන් තරගයේ ප්‍රතිළුල ක්‍රීඩාංගණය තරගයේ වීරයා
1 පාකිස්තානය පාකිස්තාන කණ්ඩායමට ලකුණු 31ක ජයක්. Sharjah Fatima Sana
2 ඔස්ට්‍රේලියාව ඉන්දීය කණ්ඩායමට ලකුණු 82ක ජයක්. Sharjah Megan Schutt
3 ඉන්දියාව ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 25ක ජයක්. DICS Harmanpreet Kaur
4 නවසීලන්තය නවසීලන්ත කණ්ඩායමට කඩුලු 8ක ජයක්. Sharjah Georgia Plimmer

නිමා වූ මෙම තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩිම ලකුණුලාභිනිය බවට පත් වෙන්නේ නිලක්ෂිකා සිල්වා. ඇය තරග 4ක ඉනිම් 4ක දී ලකුණු 73ක් ලබා ගන්නවා. ඊට අමතර ව එම ලැයිස්තුවේ 2 වැනි ස්ථානය ලකුණු 51ක් ලබා ගත් හර්ෂිතා සමරවික්‍රම ද සහ 3 වැනි ස්ථානය ලකුණු 46ක් ලබා ගත් අනුෂ්කා සංජීවනී ද සතු වෙනවා.

කඩුලු දවා ගැනීමේ දී නායිකා චමරි අතපත්තු තරග 4ක දී පන්දුවාර 12ක් යවමින් කඩුලු 5ක් දවා ගනිමින් වැඩිම කඩුලුලාභිනිය බවට පත් වෙද්දී සුගන්දිකා කුමාරි සහ උදේශිකා ප්‍රබෝධනී කඩුලු 4ක් බැගින් දවා ගත්තා.

කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<