කාන්තා T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා ඉතිහාස කතාව (1 වැනි කොටස)

1
ICC Women's T20 World Cup 2026

10 වැනි කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පසුගියදා එංගලන්තය බලා පිටත් වුණා. ඔවුන් එළැඹෙන 12 වැනිදා එංගලන්තය සමඟින් තරගාවලියට එක් වීමට නියමිතයි.

මෙතෙක් නිමා වු කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ ශ්‍රී ලංකා කණ්ඩායම සෑම තරගාවලියක් ම අවසන් කර ඇත්තේ පළමු වටයේ තරගවලට දැක් වූ සහභාගීත්වයෙන් පමණයි. නිමා වූ තරගාවලි 9යේ තරග 35කට සහභාගී ඇති ඔවුන් ඉන් තරග 25ක් පරාජයට පත් වෙද්දී ජයග්‍රහණය කර ඇත්තේ තරග 10ක දී පමණයි.

මේ එවන් වූ ඉතිහාසයකින් සපිරි කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරග ඉතිහාසයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ගමන් මඟ පිළිබඳව තැබෙන සංක්ෂිප්ත සටහනක පළමු වැන්නයි.

>>කාන්තා ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි<<

1 වැනි තරගාවලිය (2009 – එංගලන්තය)

රටවල් 8ක සහභාගීත්වයෙන් එංගලන්තයේ දී පැවැති මංගල විස්සයි විස්ස ලෝක කුසලාන තරගාලිය සඳහා ශ්‍රී ලංකාව සහභාගී වෙන්නේ B කාණ්ඩයෙන්. ඔවුන්ට අමතර ව එම කාණ්ඩය සඳහා පාකිස්තානය, එංගලන්තය සහ ඉන්දියාව ද එක් වෙන අතර  A කාණ්ඩයෙන් නවසීලන්තය, ඕස්ට්‍රේලියාව, බටහිර ඉන්දීය කොදෙව්වන් සහ දකුණු අප්‍රිකාව එක් වෙනවා.

  • තරගාවලියේ ශූරතාව – එංගලන්තය
  • තරගාවලියේ අනුශූරතාව – නවසිලන්තය
  • තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව – Claire Taylor (එංගලන්තය)
  • තරගාවලියේ වැඩිම ලකුණුලාභිනිය – Aimee Watkins (200 – නවසීලන්තය)
  • තරගාවලියේ වැඩිම කඩුලුලාභිනිය – Holly Colvin (9 – එංගලන්තය)

තරගාවලියට එක් වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය චමරි පොල්ගම්පොල විසින් දැරූ අතර උප නායකත්වය හිමි වූයේ ඒශානි ලොකුසූරිය වෙතයි. එවකට 19 හැවිරිදි වියේ පසු වූ චමරි අතපත්තු ද මෙම කණ්ඩායමට ඇතුලත් වෙන්නේ කණ්ඩායමට එක් වූ ලාබාලත ම ක්‍රීඩිකාව ලෙසයි.

2009 කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ශ්‍රී ලංකා කණ්ඩායම

 

චමරි පොල්ගම්පොළ (නායක), එශානි ලොකුසූරිය (උප නායක), ඩිලානි මනෝදරා (කඩුලු රකින්නිය), චමරි අතපත්තු, සුමුදු ප්‍රනාන්දු, උදේශිකා ප්‍රබෝධනී, චාමිකා බණ්ඩාර, සඳමාලි දොලවත්ත, හිරුකා ප්‍රනාන්දු, රෝස් ප්‍රනාන්දු, ඉනෝකා ගලගෙදර, සඳුනි අබේවික්‍රම, දීපිකා රසාංගිකා, ශ්‍රීපාලි වීරක්කොඩි.

තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ පළමු තරගයෙන් පාකිස්තානයට එරෙහි ව කඩුලු 4ක ජයග්‍රහණයක් ලබා ගන්නා ලද අතර එය ඔවුන් ජාත්‍යන්තර තරග පිටියේ සහභාගී වූ පළමු තරගය ම වීමත් විශේෂත්වයක්.

අනෙකුත් තරග ද්විත්වය පරාජිත තරග ලෙසින් ඉතිහාසයට එක් වෙන අතර ශ්‍රී ලංකාව එක් වූ B කාණ්ඩයේ ප්‍රසාද ලකුණු පුවරුවේ 3 වැනි ස්ථානයට පත් වෙමින් ඔවුන් තරගාවලිය අවසන් කරනවා.

2009 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ගමන් මඟ
  ප්‍රතිවාදීන් තරගයේ ප්‍රතිඵල ක්‍රීඩාංගණය තරගයේ වීරයා
1 පාකිස්තානය ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුලු 4ක ජයක්. Taunton ඒශානි ලොකුසූරිය
2 එංගලන්තය එංගලන්ත කණ්ඩායමට ලකුණු 71ක ජයක්. Taunton Claire Taylor
3 ඉන්දියාව ඉන්දීය කණ්ඩායමට කඩුලු 5ක ජයක්. Taunton Mithali Raj

තරගාවලියේ වැඩිම ලකුණුලාභිනිය වෙන්නේ ඉනෝකා ගලගෙදර. ඇය තරග 3ක ඉනිම් 3ක දී ලකුණු 58ක් ලබා ගන්නවා. ඊට අමතර ව දීපිකා රසාංගිකා ලකුණු 46ක් ද සහ ඩිලානි මනෝදර ලකුණු 39ක් ද ලබා ගන්නවා.

චමරි අතපත්තු එක් තරගයකට පමණක් සහභාගී වෙන අතර එහි දී ඇය පන්දු 23කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 16ක් ලබා ගන්නවා.

කඩුලු දවා ගැනීමේ දී ඉහළ ම දක්ෂතා දක්වන්නේ දකුණතින් මඳ වේග පන්දු යැවූ උප නායිකා ඒශානි ලොකුසූරිය. ඇය තරග 3ක පන්දුවාර 11ක් යවමින් කඩුලු 8ක් දවා ගන්නවා. මේ දක්ෂතාත් සමඟින් ඇය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මඟින් නම් කරන ලද කාන්තා විස්සයි විස්ස ලෝක කණ්ඩායමේ 12 වැනි ක්‍රීඩිකාව ලෙසින් ද නම් කෙරෙනවා.

පන්දු යැවීමේ දී ඇයට අමතර ව උදේශිකා ප්‍රබෝධනී කඩුලු 5ක් ද සහ රෝස් ප්‍රනාන්දු සහ නායිකා චමරි පොල්ගම්පොළ කඩුලු ද්විත්වය බැගින් ද දවා ගන්නවා.

2 වැනි තරගාවලිය (2010 – බටහිර ඉන්දීය කොදෙව් දූපත්)

පාකිස්තානය පිට පිට 2 වැනි වරටත් පරාජයට පත් කිරීමේ සතුට. (2010-05-10)

මෙවර ද ශ්‍රී ලංකාව තරගාවලියට එක් වෙන්නේ B කාණ්ඩයෙනුයි. පෙර තරගාවලියේ දී හමු වූ ඉන්දියාව සහ පාකිස්තානය නැවත වතාවක් ඔවුන්ගේ ප්‍රතිවාදීන් වන අතර මෙවර එංගලන්තය කණ්ඩායම වෙනුවට පෙර තරගාවලියේ අනුශූරයන් වූ නවසීලන්ත කණ්ඩායම ඔවුන්ට හමු වී තිබුණා.

තරගාවලියට A කාණ්ඩය නියෝජනය කරමින් පළමු ලෝක කුසලානය දිනා ගත් එංගලන්තය සමඟින් ඕස්ට්‍රේලියාව, බටහිර ඉන්දීය කොදෙව්වන් සහ දකුණු අප්‍රිකාව එක් ව සිටියා.

  • තරගාවලියේ ශූරතාව – ඕස්ට්‍රේලියාව
  • තරගාවලියේ අනුශූරතාව – නවසිලන්තය
  • තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව – Nicola Browne (නවසීලන්තය)
  • තරගාවලියේ වැඩිම ලකුණුලාභිනිය – Sara McGlashan (147 – නවසීලන්තය)
  • තරගාවලියේ වැඩිම කඩුලුලාභිනියන් – Diana David (9 – ඉන්දියාව ) Nicola Browne (9 – නවසීලන්තය)

මෙවර කණ්ඩායමේ නායකත්වය චමනි සෙනෙවිරත්න වෙත හිමි ව තිබූ අතර උප නායක්තවයට නම් කර තිබුණේ ඩිලානි මනෝදරා. මෙවර තරගාවලියට එක් වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අතුරින් පළමු වරට විස්සයි විස්ස ලෝක කුසලාන වරම් දිනා ගැනීමට නායිකා චමනි සෙනෙවිරත්න, සුවිනි ද අල්විස් සහ දේදුණු ද සිල්වා සමත් වෙනවා.

2010 ලෝක කුසලාන ශ්‍රී ලංකා කණ්ඩායම

 

චමනි සෙනෙවිරත්න (නායිකාව), ඩිලානි මනෝදරා (උප නායිකාව), චමරි අතපත්තු, උදේශිකා ප්‍රබෝධනී, සුවින් ද අල්විස්, සඳමාලි දොළවත්ත, හිරුකා ප්‍රනාන්දු, ඉනෝකා ගලගෙදර, එශානි ලොකුසූරිය, චමරි පොල්ගම්පොළ, දීපිකා රසාංගිකා, දේදුණු ද සිල්වා, ශ්‍රීපාලි වීරක්කොඩි, චන්දි වික්‍රමසිංහ, ශෂිකලා සිරිවර්ධන.

තරගාවලියේ දී සුපුරුදු ලෙසින් තම තමන් සහභාගී වූ කාණ්ඩයේ 3 වැනි ස්ථානය තව දුරටත් රැක ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වෙන අතර ඔවුන් තරගාවලියට සහභාගී වූ කණ්ඩායම් අතර ලැයිස්තු ගත වෙන්නේ 6 වැනි ස්ථානයටයි. මෙවර තරගාවලියේ දී ද පාකිස්තානය පරාජය කරන ඔවුන් අනෙකුත් තරග ද්විත්වය අවසන් කරන්නේ පරාජිත තරග ලෙසිනුයි.

2010 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ගමන් මඟ
  ප්‍රතිවාදීන් තරගයේ ප්‍රතිඵල ක්‍රීඩාංගණය තරගයේ වීරයා
1 පාකිස්තානය ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 1ක ජයක්. Basseterre Bismah Maroof
2 නවසීලන්තය නවසීලන්ත කණ්ඩායමට ලකුණු 47ක ජයක්. Basseterre Suzie Bates
3 ඉන්දියාව ඉන්දීය කණ්ඩායමට ලකුණු 71ක ජයක්. Basseterre Sulakshana Naik

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අතුරින් තරගාවලියේ වැඩිම ලකුණුලාභිනිය වන්නේ සුවිනි ද අල්විස්. ඇය තරග 3ක ඉනිම් 3ක දී ලකුණු 52ක් ලබා ගනිමින් මෙම අසුන වෙන් කර ගන්නවා. ඊට අමතර ව දීපිකා රසාංගිකා ලකුණු 39ක් ද සහ දේදුණු ද සිල්වා ලකුණු 34ක් ද ලබා ගනිමින් මෙම ලැයිස්තුවේ කැපී පෙණෙන ක්‍රීඩිකාවන් බවට පත් වෙනවා.

කඩුලු දවා ගැනීමේ දි චමනි සෙනෙවිරත්න තමන් සහභාගී වූ තරග ත්‍රිත්වයේ දී පන්දුවාර 12ක් යවමින් කඩුලු 5ක් දවා ගනිමින් වැඩිම කඩුලුලාභිනිය බවට පත් වෙනවා. ඊට අමතර ව දීපිකා රසාංගිකා, ඒශානි ලොකුසූරිය, ශ්‍රීපාලි වීරක්කොඩි සහ සුවිනි ද අල්විස් කඩුලු ද්විත්වය බැගින් දවා ගන්නවා.

3 වැනි තරගාවලිය (2012 – ශ්‍රී ලංකාව)T20 Cricket

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ බටහිර ඉන්දීය කොදෙව්වන් පරාජය කිරීම සැමරූ ආකාරය. (2012. 09. 28)

මෙවර තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වෙන්නේ සත්කාරක කණ්ඩායම ලෙසයි. තරගාවලිය සුපුරුදු ලෙසින් කණ්ඩායම් 8ක සහභාගීත්වයෙන් කාණ්ඩ ද්විත්වයක් යටතේ තරගාවලියට එක් වූ අතර මෙවර ද ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියට එක් වෙන්නේ B කාණ්ඩයම නියෝජනය කරමිනුයි.

එම කාණ්ඩයට පෙර තරගාවලියේ අනුශූරයන් වූ නවසීලන්තය සමඟින් බටහිර ඉන්දීය කොදෙව්වන් සහ දකුණු අප්‍රිකානුවන් ද එක් වෙනවා. A කාණ්ඩය නියෝජනය කරමින් එංගලන්තය, ඕස්ට්‍රේලියාව, ඉන්දියාව සහ පාකිස්තානය තරගාවලියට එක් වුණා.

  • තරගාවලියේ ශූරතාව – ඕස්ට්‍රේලියාව
  • තරගාවලියේ අනුශූරතාව – එංගලන්තය
  • තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව – Charlotte Edwards (එංගලන්තය)
  • තරගාවලියේ වැඩිම ලකුණුලාභිනිය – Charlotte Edwards (172 – එංගලන්තය)
  • තරගාවලියේ වැඩිම කඩුලුලාභිනිය – Julie Hunter (11 – නවසීලන්තය)

මෙවර ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය ශෂිකලා සිරිවර්ධනට හිමි වෙන අතර මෙම තරගාවලියේ දී පළමු වරට නිලක්ෂිකා සිල්වා, යශෝධා මෙන්ඩිස්, ප්‍රසාදනී වීරක්කොඩි, ඉනෝකා රණවීර සහ මදුරි සමුද්දිකා කණ්ඩායම හා එක් වෙනවා.

2012 ලෝක කුසලාන ශ්‍රී ලංකා කණ්ඩායම

 

ශෂිකලා සිරිවර්ධන (නායිකාව), ඩිලානි මනෝදරා (කඩුලු රකින්නිය), නිලක්ෂිකා සිල්වා, චමරි අතපත්තු, උදේශිකා ප්‍රබෝධනී, ඉනෝකා රණවීර, සඳමාලි දොලවත්ත, ඉනෝකා ගලගෙදර, ඒශානි ලොකුසූරිය, යශෝධා මෙන්ඩිස්, දීපිකා රසාංගිකා, මදුරි සමුද්දිකා, චමනි සෙනෙවිරත්න, ශ්‍රීපාලි වීරක්කොඩි, ප්‍රසාදනි වීරක්කොඩි.

මෙවර තරගාවලියේ දී ද ශ්‍රී ලංකාවට තමන් සහභාගී වූ කාණ්ඩයෙන් හිමි වෙන්නේ 3 වැනි ස්ථානයයි. ඒ සමඟින් ඔවුන්ට A කාණ්ඩයෙන් සිවු වැනි ස්ථානයට පත් ඉන්දීය කණ්ඩායමත් සමඟින් 2014 ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගයකට එක් වීමට සිදු වෙනවා. එම තරගයෙන් ඉන්දීය කණ්ඩායම කඩුලු 9ක ජයග්‍රහණයක් ලබා ගනිමින් තරගය අවසන් කරන අතර ශ්‍රී ලංකාවට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට එක් වීමට සිදු වෙමින් තරගාවලිය නිමා වෙනවා.

2012 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ගමන් මඟ
  ප්‍රතිවාදීන් තරගයේ ප්‍රතිළුල ක්‍රීඩාංගණය තරගයේ වීරයා
1 දකුණු අප්‍රිකාව දකුණු අප්‍රිකානු කණ්ඩායමට කඩුලු 6ක ජයක්. ගාල්ල Trisha Chetty
2 බ.ඉ.කොදෙව් ශ්‍රී ලංකාවට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 5ක ජයක්. ගාල්ල චමනි සෙනෙවිරත්න
3 නවසීලන්තය නවසීලන්ත කණ්ඩායමට කඩුලු 8ක ජයක්. ගාල්ල Sara McGlashan

නිමා වූ මෙම තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩිම ලකුණුලාභිනිය බවට පත් වෙන්නේ ශෂිකලා සිරිවර්ධන. ඇය තරග 4ක ඉනිම් 4ක දී ලකුණු 62ක් ලබා ගන්නවා. ඊට අමතර ව චමරි අතපත්තු ලකුණු 47ක් ද ඩිලාන් මනෝදරා සහ ඉනෝකා ගලගෙදර ලකුණු 45ක් බැගින් ද ලබා ගන්නවා.

කඩුලු දවා ගැනීමේ දී ඉනෝකා රණවීර තරග 4ක පන්දුවාර 11ක් යවමින් කඩුලු 5ක් දවා ගනිමින් වැඩිම කඩුලුලාභිනිය වූ අතර ඊට අමතර ව චමනි සෙනෙවිරත්න කඩුලු 3ක් දවා ගන්නවා.

කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරග ඉතිහාසයේ ශ්‍රී ලංකාව සහභාගී වූ තරගාවලි ත්‍රිත්වයක තොරතුරු තවත් ලිපියකින් බලාපොරොත්තු වන්නා.

කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<