ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ බංග්ලාදේශය 3-0කින් පරාජය කරයි

Sri Lanka Women tour of Bangladesh

4
T20

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැති 3 වැනි විස්සයි විස්ස තරගයෙන් ලකුණු 3ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ අද (2) සමත් වෙනවා. ඒ අනුව තරග 3කින් යුත් විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය 3-0ක් ලෙසින් ද ජයග්‍රහණය කිරීමට ඔවුන් සමත් වුණා.

>>ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ T20 තරගාවලිය වේලාසනින් දිනා ගනී<<

Sylhet ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගය පැවැති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පන්දුවාර 9කට සීමා වුණා.

එලෙසින් තීරණය වූ තරගයේ කාසියේ වාසිය බංග්ලාදේශය සතු වූ අතර ඒ අනුව පිටියට පිවිසි ඔවුන් කඩුලු 6ක් දැවී ලකුණු 87ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් බංග්ලාදේශ ක්‍රීඩිකාවන්ට ලබා ගැනීමට හැකි වෙන්නේ කඩුලු 6ක් දැවී ලකුණු 84ක් පමණයි.

අද තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූයේ වෙනස්කම් ද්විත්වයක් සිදු කරමින්. ඒ අනුව පෙර තරගයට ක්‍රීඩා කළ කෞශිනී නුත්‍යාංගනා සහ මල්කි මදාරා වෙනුවට නිමාෂා මීපගේ සහ රශ්මිකා සෙව්වන්දි එක් කර තිබුණා.

බංග්ලාදේශය ද මෙම තරගයට එක් වෙන්නේ වෙනස්කම් ද්විත්වයක් සිදු කරමින්. ඒ අනුව ඔවුන් පෙර තරගයට ක්‍රීඩා කළ Nahida Akter, සහ Fahima Khatun වෙනුවට Sarmin Sultana සහ Sanjida Akter Meghla කණ්ඩායමට එක් කර තිබුණා.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම

 

චමරි අතපත්තු (නායිකාව), ඉමේෂා දුලානි, හර්ෂිතා සමරවික්‍රම, හංසිමා කරුණාරත්න, කවීෂා දිල්හාරි, නිලක්ෂිකා සිල්වා, හසිනි පෙරේරා (කඩුලු රකින්නිය), නිමාෂා මීපගේ, රශ්මිකා සෙව්වන්දි, සුගන්දිකා කුමාරි සහ මිතාලි අයෝද්‍යා.

 

බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම

 

Nigar Sultana (නායිකාව), Dilara Akter (කඩුලු රකින්නිය), Juairiya Ferdous, Sobhana Mostary, Shorna Akter, Ritu Moni, Sarmin Sultana, Sultana Khatun, Sanjida Akter Meghla, Marufa Akter සහ Fariha Trisna

ප්‍රතිවාදී නායිකාවගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කරන්නේ චමරි අතපත්තු සහ ඉමේෂා දුලානි විසිනුයි. ඔවුන් දෙදෙනා එක් ව පළමු කඩුල්ලට පන්දු 21ක දී ලකුණු 43ක සබඳතාවක් එක් කරනවා.

එහි දී ඉමේෂා දුලානි පන්දු 10කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 19කට දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙනවා.

ඇය ගේ දැවී යෑමෙන් අනතුරු ව හර්ෂිතා සමරවික්‍රම (3), හංසිමා කරුණාරත්න (2) සහ නිලක්ෂිකා සිල්වා (1) අඩු ලකුණුවලට දැවී ගිය අතර ඒ වෙද්දී ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු පුවරුව කඩුලු 4කට ලකුණු 53ක් බවට පත් වුණා.

එතැන් සිට චමරි අතපත්තු සහ කවීෂා දිල්හාරි එක් ව 5 වැනි කඩුල්ලට පන්දු 18ක දී ලකුණු 33ක සබඳතාවක් එක් කරනවා. එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන්නේ කවීෂා දිල්හාරි ගේ දැවී යෑමත් සමඟිනුයි. ඇය දැවී යන විට පන්දු 7කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 15ක් ලබා සිටියා.

ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළ චමරි අතපත්තු ඉනිමේ අවසන් පන්දුවේ දී දැවී යන විට පන්දු 27කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 41ක් ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී Sultana Khatun ලකුණු 8කට කඩුලු 3ක් දවා ගත් අතර ඊට අමතර ව Sanjida Akter Meghla කඩුල්ලක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි බංග්ලාදේශ ඉනිමේ පළමු කඩුල්ල ලකුණු 13කට දැවී ගිය ද 2 වැනි සහ 3 වැනි කඩුලුවල දී සාර්ථක ලකුණු හඹා යෑමකට එක් වීමට ඔවුන් සමත් වෙනවා.

එහි දී Juairiya Ferdous ඉනිමේ 2 වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 11කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 15ක් ද සහ Sobhana Mostary ඉනිමේ 3 වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 15කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 21ක් ද ලබා ගත්තා.

අනතුරු ව නායිකා Nigar Sultana පන්දු 9කට මුහුණ දෙමින් හයේ පහරක් සමඟින් ලකුණු 13ක් ලබා ගත්තා.

බංග්ලාදේශ ඉනිමේ අවසන් පන්දුවාරයේ දී ඔවුන්ගේ ජයග්‍රහණය සඳහා ලකුණු 14ක් අවශ්‍ය වූව ද ඔවුන්ට කඩුල්ලක් ද බිලි දී ලබා ගැනීමට හැකි වෙන්නේ ලකුණු 10ක් පමණයි.

කඩුලු දවා ගැනීමේ දී චමරි අතපත්තු ලකුණු 15කට කඩුලු 2ක් ද සහ සුගන්දිකා කුමාරි ලකුණු 22කට කඩුලු 2ක් ද ලෙසින් දවා ගනිද්දී මිතාලි අයෝද්‍යා සහ නිමාෂා මීපගේ ද කඩුල්ල බැගින් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 6ක් දැවී 87 (9.0) චමරි අතපත්තු 41, ඉමේෂා දුලානි 19, කවීෂා දිල්හාරි 15, Sultana Khatun 3/08
  • බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 6ක් දැවී 84 (9.0) Juairiya Ferdous 15, Sobhana Mostary 21, සුගන්දිකා කුමාරි 2/22, චමරි අතපත්තු 2/15

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ලකුණු 3ක ජයක්.

 

තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව – චමරි අතපත්තු (ශ්‍රී ලංකාව)

 

තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව – චමරි අතපත්තු (ශ්‍රී ලංකාව)

තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<