PSG නොකඩවා දෙවැනි වරටත් Champions League ශුරතාව හිමි කර ගනී!

Champions League 2025/26

1
Champions League 2025/26

Paris Saint Germain පාපන්දු කණ්ඩායම විසින් 2025/26 Champions League පාපන්දු ශූරතාව ජය ගැනීමට ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ දී සමත් වුනා.

මෙවර අවසන් මහා තරගයට Arsenal පාපන්දු කණ්ඩායම සහ PSG පාපන්දු කණ්ඩායම සුදුසුකම් ලබාගත් අතර, PSG මෙවර අවසන් තරගයට සහභාගී වුනේ 2024/26 ශූරයින් ලෙස නොකඩවා දෙවැනි වතාවටත් ශූරතාව දිනා ගැනීමේ අරමුණ ද සහිතවයි.

මේ අතර Arsenal පාපන්දු කණ්ඩායම 2005/06 තරගාවලියෙන් පසුව ඉතිහාසයේ පළමු වරට මෙවර අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුනා.

PSG කණ්ඩායම 24/25 තරග වාරය තුළ සිය පළමු Champions League ජය ලැබූ අතර, Arsenal තවමත් එකදු Champions League ශූරතාවක් ජයග්‍රහණය කර නොතිබීමත් විශේෂත්වයක්.

කෙසේ වෙතත් තරගය ආරම්භ වී ගෙවෙනා හය වැනි මිනිත්තුවේ දී Kavi Havertz විසින් Arsenal වෙනුවෙන් ගෝලයක් වාර්තා කිරීමට සමත් වුනා.

ඒත් සමඟින් ම Arsenal කණ්ඩායම ඉතා ආරක්ෂාකාරී තරග රටාවක නියැලෙමින් සිය ජය තහවුරු කර ගැනීමේ සටනක නියැලුණු අතර, PSG ක්‍රීඩකයින් විසින් වැඩි කාල සීමාවක් තුළ පන්දුව තමන් සන්තකයේ තබා ගනිමින් ගෝලයක් ලබා ගැනීමට උත්සාහ කළා.

ඔවුන්ගේ එම උත්සාහය තරගයේ දෙවැනි අර්ධයේ දී සාර්ථක වූ අතර, Ousmane Dembele විසින් දඬුවම් පහරක් සාර්ථක කර ගනිමින් තරගයේ ලකුණු තත්වය සම මට්ටමට රැගෙන ඒමට සමත් වුනා.

එතැන් සිට නැවතත් කණ්ඩායම් දෙකම තවත් ගෝලයක් ලබා ගැනීමට තියුණු සටනක නිරත වූ අතර, තරගයෙන් තීරණයක් ලබා ගැනීම සඳහා අතිරේක කාලය දක්වා ම තරගය ක්‍රියාත්මක කෙරුණා.

කෙසේ වෙතත් කණ්ඩායම් දෙකම තවත් එකදු ගෝලයක් හෝ වාර්තා නොකිරීම හේතුවෙන් තරගයේ ජයග්‍රාහකයා දඬුවම් පහර මගින් තීරණය කිරීමට පියවර ගත් අතර, මෙහි දී PSG ක්‍රීඩකයින් 4-3ක් ලෙස ජය ලබා ගැනීමට සමත් වුනා.

ඒ අනුව PSG කණ්ඩායම නොකඩවා දෙවැනි වරටත් Champions League ශූරතාව තමන් සතු කර ගැනීමට සමත් වූ අතර, 1992 වසරෙන් පසුව නොකඩවා දෙවැනි වතාවටත් මෙම ශූරතාව රඳවා ගැනීමට සමත් වූ දෙවැනි කණ්ඩායම (පළමු කණ්ඩායම Real Madrid) බවට පත් වීමට ඔවුන් සමත් වුනා.

දිනෙන් දින උණුසුම් වන පාපන්දු පිටියේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

<<තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න>>