ශ්‍රී ලංකා කාන්තා A කණ්ඩායම සහ නවසීලන්ත කාන්තා A කණ්ඩායම අතර පැවැති තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 1-0ක් ලෙසින් ජයග්‍රහණය කිරීමට සංචාරක නවසිලන්ත ක්‍රීඩිකාවෝ අද (18) සමත් වෙනවා.
දෙරට කණ්ඩායම් අතර පැවැති පළමු තරග ද්විත්වය වර්ෂාව හේතුවෙන් විසඳුමකින් තොර ව අවසන් වෙන අතර අද පැවැති තරගයෙන් සංචාරක නවසීලන්ත ක්‍රීඩිකාවෝ ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 84ක ජයග්‍රහණයක් ලබා ගන්නවා.
රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අද නිමා වූ මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත A ක්‍රීඩිකාවෝ කඩුලු 8ක් දැවී ලකුණු 273ක් ලබා ගත්තා.
තරගයට අතර මඟ දී ඇද වැටුණ වර්ෂාව හේතුවෙන් පිළිතුරු ශ්‍රී ලංකා A කණ්ඩායම් ඉනිම පන්දුවාර 38කට සීමා වූ අතර ඒ අනුව ඔවුන්ගේ ඉලක්කය බවට පත් වූයේ ලකුණු 234ක්. නමුත් එම ගමනේ දී ශ්‍රී ලංකා A කණ්ඩායම් ඉනිමේ තවත් පන්දු 28ක් ඉතිරි ව තිබිය දී අවසන් වෙන අතර ඒ වෙද්දී ශ්‍රී ලංකා A ක්‍රීඩිකාවන් සියලුම දෙනා දැවී ලබා සිටියේ ලකුණු 149ක් පමණයි.
>>කාන්තා A කණ්ඩායම් 2 වැනි තරගයත් වර්ෂාව බිලි ගනී
මෙම තරගය සඳහා ශ්‍රී ලංකා A කණ්ඩායමට පෙර තරගයට එක්කර සිටි විමෝක්ෂා බාලසූරිය වෙනුවට ලිහිනි අප්සරා කණ්ඩායමට එක් කර තිබූ අතර නවසීලන්ත කාන්තා A කණ්ඩායම සහභාගී වෙන්නේ වෙනස්කම් 3ක් සිදු කරමිනුයි. ඒ අනුව ඔවුන්ගේ කණ්ඩායමට පෙර තරගය හා එක් ව සිටි Kate Gaging, Hannah Rowe සහ Emma Black වෙනුවට JA Watkins, Darcy Prasad සහ Kayley Knight එක් කර තිබුණා.
ශ්‍රී ලංකා කාන්ත A කණ්ඩායම
සත්‍යා සංදීපනී (නායිකාව), විශ්මි ගුණරත්න, සංජනා කාවින්දි, ලිහිනි අප්සරා, ලිමංසා තිලකරත්න, දෙව්මි විහංඟා, පියුමි වත්සලා, සුමුදු නිසංසලා (කඩුලු රකින්නිය), රශ්මිකා සෙව්වන්දි, තාරුකා ෂෙහානි සහ චමුදි ප්‍රබෝධා.
නවසීලන්ත කාන්තා A කණ්ඩායම
Jess Watkin (නායිකාව), Kate Anderson, Bella James, Prue Catton, Tash Wakelin, Bella Armstrong, JA Watkins, Darcy Prasad (කඩුලු රකින්නිය), Kayley Knight, Marama Downes, Fran Jonas.
කාසියේ වාසිය දිනා ගත් නවසීලන්ත A ක්‍රීඩිකාවෝ පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගත් අතර ඒ අනුව පිටියට පිවිසි ඔවුන්ගේ ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වෙන්නේ ආරම්භක පිතිකාරිනී Kate Anderson. ඇය ඉනිමේ 5 වැනි කඩුල්ලට දැවී යන විට පන්දු 108කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 84ක් ලබා සිටියා.
ඇය ඒ අතර කාලයේ දී 4 වැනි කඩුල්ල වෙනුවෙන් නායිකා Jess Watkin හා එක් වෙමින් පන්දු 72ක දී ලකුණු 73ක සබඳතාවක් ද සහ 5 වැනි කඩුල්ල වෙනුවෙන් Bella Armstrong සමඟ එක් වෙමින් පන්දු 66ක දී ලකුණු 51ක සබඳතාවක් ද එක් කරනවා.
එහි දී Jess Watkin පන්දු 36කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 36ක් ද සහ Bella Armstrong ඉනිමේ 8 වැනි කඩුල්ලට දැවී යන විට පන්දු 57කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 59ක් ද ලබා සිටියා.
නවසීලන්ත ඉනිම අවසන් වෙද්දී Kayley Knight පන්දු 22කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 38ක් ලබා සිටියා.
කඩුලු දවා ගැනීමේ දී වමතින් දඟ පන්දු යවන තාරුකා ෂෙහානි ලකුණු 64කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව චමුදි ප්‍රබෝධා කඩුලු 2ක් ද සහ දෙව්මි විහංඟා කඩුල්ලක් ද දවා ගත්තා.
- ශ්‍රී ලංකා, ඉන්දියා සහ ඇෆ්ගනිස්තාන A කණ්ඩායම් අතර තුන්කොන් තරගාවලියේ තොරතුරු
- ජුනි මාසයේ දී කොදෙව් නැගී එන කණ්ඩායම ශ්‍රී ලංකාවට
- Showdown විස්සයි විස්ස ශූරතාව SLIIT විශ්වවිද්‍යාලයට
- ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ බංග්ලාදේශය 3-0කින් පරාජය කරයි
පිළිතුරු ශ්‍රී ලංකා A කණ්ඩායම් ඉනිමේ ආරම්භක පිතිකාරිනියන් වූ විශ්මි ගුණරත්න සහ සංජනා කාවින්දි එක් ව පළමු කඩුල්ලට ලකුණු 67ක සබඳතාවක් එක් කරමින් හොඳ ආරම්භයක් ලබා දෙනවා. ඔවුන් ගේ ලකුණු සබඳතාව බිඳී යන්නේ විශ්මි ගුණරත්න ගේ දැවී යෑමත් සමඟිනුයි.
ඇය දැවී යන විට පන්දු 38කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණ 23ක් ලබා සිටියා. ඇයගේ දැවී යෑමෙන් අනතුරු ව තවත් ලකුණු 4ක් ශ්‍රී ලංකා කාන්තා A ඉනිමට එක් වෙද්දී ලිහිනි අප්සරා (1), ලිමංසා තිලකරත්න (0) සහ දෙව්මි විහංඟා (1) අඩු ලකුණු ලබා සිටිය දී දැවී යනවා.
ආරම්භක පිතිකාරිනී සංජනා කාවින්දි ඉනිමේ 5 වැනි කඩුල්ලට දැවී යන විට පන්දු 73කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 79ක් ලබා සිටියා. ඇය දැවී යන විට එම කඩුල්ලට පියුමි වත්සලා සමඟ එක් වෙමින් ලකුණු 49ක සබඳතාවක් එක් කරනවා.
පියුමි වත්සලා ඉනිමේ 9 වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 39කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 24ක් ලබා සිටියා.
ශ්‍රී ලංකා ඉනිමේ පිතිකාරිනියෝ 8 දෙනෙක් ම තම ඉනිම් අවසන් කරන්නේ තනි ඉලක්කමේ ලකුණුවලිනුයි. ඒ අනුව ඉහත තිදෙනාට අමතර ව සුමුදු නිසංසලා (8), රශ්මිකා සෙව්වන්දි (5), නායිකා සත්‍යා සංදීපනී (0), තාරුකා ෂෙහානි (2) සහ චමුදි ප්‍රබෝධා (නොදැවී 1) ද ඊට එක් ව සිටියා.
කඩුලු දවා ගැනිමේ දී දකුණතින් මඳ වේග පන්දු යැවූ Marama Downes ලකුණු 18කට කඩුලු 4ක් දවා ගනිමින් ශ්‍රී ලංකා ඉනිමේ ප්‍රධාන ප්‍රතිවාදිනිය වෙද්දී Bella Armstrong කඩුලු 3ක් ද, JA Watkins කඩුලු 2ක් ද සහ Fran Jonas කඩුල්ලක් ද දවා ගන්නවා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- නවසීලන්ත කාන්තාA කණ්ඩායම– කඩුලු 8ක් දැවී 273 (50.0) Kate Anderson 84, Jess Watkin 36, Bella Armstrong 59, Kayley Knight නොදැවී 38, චමුදි ප්‍රබෝධා 2/37, තාරුකා ෂෙහානි 4/64
- ශ්‍රී ලංකාකාන්තාA කණ්ඩායම – සියලුම දෙනා දැවී 149 (33.2) විශ්මි ගුණරත්න 23, සංජනා කාවින්දි 79, පියුමි වත්සලා 24, Marama Downes 4/18, Bella Armstrong 3/39, JA Watkins 2/03
නවසීලන්ත කාන්තා A කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 84ක ජයක්.
දෙරට කණ්ඩායම් අතර පැවැත්වෙන තරග 3කින් යුත් නිල නොලත් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය මේ මස 23 වැනිදා සිට රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිතයි.
මෙම තරගාවලියේ උණුසුම් තරග තොරතුරු සමඟින් දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.






















