T20 ලෝක කුසලානයට බංග්ලාදේශයෙන් ප්‍රබලයින් 15ක්

විස්සයි විස්ස ලෝක කුසලානය 2021

1183

ඔක්තෝබර් 17 වැනිදා සිට නොවැම්බර් 14 වැනිදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට නියමිත ICC ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන බංග්ලාදේශ සංචිතය අද (09) නිවේදනය කළා. 

අත්දැකීම් බහුල වේගපන්දු යවන්නෙකු වන Rubel Hossain අතිරේක ක්‍රීඩකයෙකු ලෙස සංචිතයට එකතු කර තිබීම කාගේත් අවධානයට ලක්වූ කරුණක්. මේ දිනවල බංග්ලාදේශයේ සත්කාරකත්වය සහිතව ක්‍රියාත්මක වන නවසීලන්ත තරගාවලිය සඳහා නම් කළ සංචිතයට ද ඔහු ඇතුළත් වන්නේ නැහැ. 

31 හැවිරිදි වේගපන්දු යවන Rubel Hossain මේ දක්වා ජාත්‍යන්තර විස්සයි විස්ස 28ක දී බංග්ලාදේශය නියෝජනය කර තිබෙන අතර ඔහු අවසන් වරට විස්සයි විස්ස තරගාවලියක් සඳහා සහභාගී වූයේ මේ වසරේ අප්‍රේල් මාසයේ දී නවසීලන්තයට එරෙහිව පැවති තරගාවලියක් සඳහායි. 

ලෝක කුසලානයට සහභාගී වන සංචිතය මෙහෙයවීමේ වගකීම Mahmudullah ලබා දී තිබෙනවා. ඕස්ට්‍රේලියාව හමුවේ ජයග්‍රහණය ලැබූ බංග්ලාදේශ සංචිතයේ සිටි Soumya Sarkar එම තරගාවලියේ දී එතරම් හොඳින් දක්ෂතා දැක්වීමට අපොහොසත් වූවත් ලෝක කුසලාන සංචිතයේ ස්ථානයක් වෙන් කරගැනීමට සමත් ව සිටිනවා. ඒ පසුගිය දා නවකයින්ට අවස්ථාව ලබා දෙමින් සංචිතයෙන් ඉවත් වීමට තීරණය කළ Tamim Iqbalගේ ස්ථානය වෙනුවෙනුයි.

Sarkar නිමා වූ ඕස්ට්‍රේලියානු සංචාරයේ දී ඉනිම් 5ක දී ලබා ගැනීමට සමත් වූයේ ලකුණ 28ක් පමණක් වන අතර නවසීලන්තය සමඟ මෙතෙක් පැවති තරග 4 සඳහා ද ඔහු ක්‍රීඩා කළේ නැහැ.

නවසීලන්ත තරගාවලිය සඳහා තෝරාගත් ක්‍රීඩකයින් 19 දෙනෙකුගෙන් සමන්විත සංචිතයෙන් ක්‍රීඩකයින් 4 දෙනෙක් ඉවත් කරමින් බංග්ලාදේශ ලෝක කුසලාන සංචිතය තෝරාගෙන තිබෙනවා. එහි දී Rubelට අමතරව කණ්ඩායමෙන් ඉවත් කළ අනෙකුත් ක්‍රීඩකයින් වන්නේ Mosaddek Hossein, Taijul Islam සහ Aminul Islam යන තිදෙනායි.

කෙසේ නමුත්, විස්සයි විස්ස තරග 7ක් සඳහා සහභාගී වී ඇති පා දඟපන්දු යවන ක්‍රීඩක Aminul Islam, Rubel සමඟ අතිරේක ක්‍රීඩකයින් ලෙස සංචිතයට එකතු කර තිබෙනවා. ඕස්ට්‍රේලියා තරගාවලිය සඳහා සහභාගී නොවූ Mohammad Mithun ද ලෝක කුසලාන සංචිතය සඳහා ඇතුළත් කරගෙන නොමැත. 

ඕමානය, පැපුවා නිව් ගිනියාව සහ ස්කෝට්ලන්තය සමඟ B කාණ්ඩයෙන් බංග්ලාදේශය ලෝක කුසලානය සඳහා තරග වදින අතර B කාණ්ඩයේ ප්‍රථම ස්ථාන දෙක දිනා ගන්නා කණ්ඩායම් සුපිරි 12 දෙනාගේ තරග වටය දක්වා පිවිසෙනු ඇත. බංග්ලාදේශය සහභාගී වන ප්‍රථම තරගය ඔක්තෝබර් 17 වැනිදා පැවැත්වෙන්නේ ස්කොට්ලන්තය සමඟිනුයි. 

  • ලෝක කුසලානයට සහභාගී වන බංග්ලාදේශ සංචිතය: Mahmudullah (c), Shakib Al Hasan, Mushfiqur Rahim, Soumya Sarkar, Liton Kumar Das, Afif Hossain, Mohammad Naim, Nurul Hasan Sohan, Shamim Hossain, Mustafizur Rahman, Taskin Ahmed, Mohammad Saifuddin, Shoriful Islam, Mahedi Hasan, Nasum Ahmed.
  • අතිරේක ක්‍රීඩකයින්: Aminul Islam, Rubel Hossain

ලෝක කුසලානයේ උණුසුම ඔබ වෙත ළඟා කරන්නට ThePapare.com අප සූදානම්, රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

Cricbuzz ඇසුරෙන්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<