2026 IPL ශූරතාව ජයග්‍රහණය කිරීමට Royal Challengers Bengaluru කණ්ඩායම විසින් ඊයේ (31) රාත්‍රියේ දී සමත් වුනා.
මෙවර IPL තරගාවලියේ අවසන් මහා තරගය සඳහා RCB කණ්ඩායම සමඟ Gujarat Titans කණ්ඩායම් තරග වැදුණු අතර, තරගයේ කාසියේ වාසිය RCB නායක Rajat Patidar හට හිමි වුනා.
ඔහුගේ තීරණය අනුව GT කණ්ඩායම තරගයේ පළමු ඉනිම දියත් කිරීම සඳහා පිටියට අවතීර්ණ වූ නමුත්, තරගාවලිය පුරා ඔවුන් පවත්වා ගෙන ආ සාර්ථක මුල් පෙළ පිතිකරණ රටාව මෙවර ඔවුන්ට රැක ගැනීමට නොහැකි වුනා.
තරගාවලියේ මූලික වටයේ දී RCB කණ්ඩායම පළමු ස්ථානයට පත් වූ අතර, GT කණ්ඩායම දෙවැනි ස්ථානයට පත් වුනා. ඔවුන්ගේ සියලු තරග දක්ෂතා එක හා සමාන තත්වයක පැවති අතර, දළ ලකුණු වේගය මත පමණක් මෙසේ ස්ථාන තීරණය වුනා.
කෙසේ වෙතත් Playoffs තරගවල Qualifier 1 තරගයේ දී RCB කණ්ඩායම විසින් GT පිතිකරණ බළඇණිය පාලනය කරමින් අවසන් මහා තරගය සඳහා වරම් ලබා ගත්තා. මේ අතර GT කණ්ඩායම නැවත Qualifier 2 තරගයේ දී Rajasthan Royals කණ්ඩායම පරාජය කරමින් අවසන් මහා තරගය වෙත ප්‍රවිෂ්ට වුනා.
එවන් වටපිටාවක් තුළ ආරම්භ වූ තරගයේ GT වෙනුවෙන් සාර්ථකම පිතිකරුවන් වූ නායක Shubmann Gill, Sai Sudarshan සහ Jos Buttler ඉනිමේ ලකුණු සංඛ්‍යාව 55ක් වන විට නැවත ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට RCB පන්දු යවන්නන් හට හැකි වුනා.
කෙසේ වෙතත් කණ්ඩායමට අත්‍යාවශ්‍ය ම මොහොතේ ක්‍රියාත්මක වූ Washington Sundar විසින් ඉතා ඉවසිලිවන්ත ලෙස පිතිකරණයේ යෙදෙමින් පන්දු 37කින් ලකුණු 50ක් ලබා ගත්තේ හතරේ පහර 05ක් පමණක් එල්ල කරමිනුයි. කෙසේ වෙතත් ඒ හැරුණු කොට වෙනත් එකදු පිතිකරුවකු හෝ GT වෙනුවෙන් අවශ්‍ය දායකත්වය ලබා නොදීම මත එම ඉනිම ලකුණු 155කට සීමා වුනා.
මෙහි දී RCB වෙනුවෙන් පන්දුවෙන් දස්කම් පෑ Rasikh Salam කඩුලු 3ක් බිඳ හෙළන අතරේ, Bhuwaneshwar Kumar සහ Josh Hazlewood කඩුලු 2 බැගින් බිඳ හෙළීමට සමත් වුනා.
- ශ්‍රී ලංකා කණ්ඩායමේ උඳුවප් සංචාරය
- නවසීලන්තයේ සංචාරය කිරීමට නියමිත ශ්‍රී ලංකා T20 සංචිතය නම් කරයි
- නවක ක්‍රීඩකයා සමඟ ගැටුණු Kohliට දඩ නියම වෙයි!
- ශ්‍රී ලංකාව පුහුණු තරග ද්විත්වය පහසුවෙන් ජය ගනී
මේ අනුව තරගයේ ජය සඳහා ලකුණු 156ක ඉලක්කයක් හඹා යාමට RCB වෙනුවෙන් Virat Kohli සහ Venkatesh Iyer පිටියට පිවිසි අතර, ඔවුන් දෙදෙනා විසින් පන්දුවාර 4 පන්දු 3ක් තුළ ලකුණු 62ක් ඉනිමට එක් කරමින් ජයග්‍රහණය සඳහා අවශ්‍ය අඩිතාලම සකසා දීමට සමත් වුනා. මෙහි දී Iyer විසින් පන්දු 16කින් ලකුණු 32ක් ලබමින් පිටියෙන් ඉවත් වූ අතර, ඉන් පසුව GT පන්දු යවන්න විසින් නැවත තරගයේ ආධිපත්‍යය ලබා ගැනීමට ඉහළ උත්සාහයක් දැරුවා. කෙසේ වෙතත් ඉන්දීය සුපිරි පිතිකරු Virat Kohli විසින් මෙවර ශූරතාව තමන්ගෙන් ඈතට යා නොදීමට වගබලා ගත් අතර, ඔහු නොදැවී පිටියේ රැඳී සිටිමින් RCB කණ්ඩායම නොකඩවා දෙවැනි වරටත් IPL ශූරතාව කරා රැගෙන ගියා.
මෙහි දී Virat Kohliගේ පිත්තෙන් ලකුණු 75ක් වාර්තා වූ අතර, පන්දු 42ක් තුළ වාර්තා වූ මෙම ඉනිමට හතරේ පහර 09ක් සහ හයේ පහර ත්‍රිත්වයක් අන්තර්ගත වුනා.
මේ අනුව Royal Challengers Bengaluru කණ්ඩායම කඩුලු 05ක් අතැතිව අදාළ ඉලක්කය හඹා යාමට සමත් වුනා.
මීට පෙර IPL ඉතිහාසය තුළ නොකඩවා දෙවරක් ශූරතාව හිමි කර ගැනීමට සමත් වී සිටියේ Chennai Super Kings සහ Mumbai Indians කණ්ඩායම් පමණක් වන අතර, මෙවර එම ලැයිස්තුවට RCB නම ද එක් වුනා.
- අවසන් තරගයේ වීරයා – Virat Kohli
- තරගාවලියේ වීරයා – Vibhavb Sooryavanshi
මෙවර තරගාවලිය තුළ RR කණ්ඩායම නියෝජනය කළ 15 හැවිරිදි Vibhavb Sooryavanshiගේ දක්ෂතා පිළිබඳ බොහෝ දෙනා කතාබහ කළා. ඔහු මෙම තරගාවලිය නිමා වන විට වැඩිම ලකුණු ලාභියා, වටිනා ම ක්‍රීඩකයා, වැඩිම හයේ පහර එල්ල කළ ක්‍රීඩකයා මෙන්ම හොඳම නැගී එන ක්‍රීඩකයා ලෙස ද සම්මාන දිනා ගැනීමට සමත් වීම විශේෂත්වයක්. මේ අතර තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා ලෙස GT ක්‍රීඩක Kagiso Rabada සම්මාන දිනා ගැනීමට සමත් වුනා.
දෙස්, විදෙස් ක්රිකට් පිටිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















