හතුරුගේ සැලැස්ම සාර්ථකයි!

Asia Cup 2023

12581

අත්දැකීම් සහිත ක්‍රීඩකයින්ගේ අහිමි වීම තම කණ්ඩායමට විශාල අභියෝගයක් වූ බව බංග්ලාදේශය ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා විසින් සඳහන් කර තිබෙනවා. 

කෙසේ වෙතත් තමන්ට ඇති සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගැනීමට හතුරුසිංහ සමත් වූ ආකාරය ඊයේ (04) ඇෆ්ගනිස්තානය සමඟ බංග්ලාදේශය ක්‍රීඩා කළ තරගයේ දී දැක ගැනීමට හැකියාව ලැබුණා. 

මෙවර ආසියානු කුසලාන තරගාවලිය ආරම්භ වීමට පෙර බංග්ලාදේශයේ ප්‍රධානතම පිතිකරණ බලාපොරොත්තු දෙකක් වන Tamim Iqbal සහ Litton Das යුගලයට මෙවර ආසියානු කුසලානය අහිමි වී යන බව වාර්තා වුනා. 

මෙහි දී Iqbal හට කොන්දේ ආබාධයක් නිසා මෙම තරගාවලිය අහිමි වූ අතර, Litton හට වෛරස් උණක් ආසාදනය වීම නිසා තරගාවලියට එක් වීමට තිබූ අවස්ථාව අහිමි ව ගියා. කෙසේ වෙතත් පසුව Litton වෙනුවට Anamul Haqueව බංග්ලාදේශ සංචිතයට ඇතුළත් කෙරුණා. 

නමුත් පසුගිය බ්‍රහස්පතින්දා (31) ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වුණු තරගයේ දී Anamul Haque හට කණ්ඩායමේ ඉඩක් වෙන් වුනේ නැහැ. ඒ වෙනුවට සිය මංගල ජාත්‍යන්තර තරගය වෙනුවෙන් Tanzid Hasan විසින් තරගය නියෝජනය කළත් එහි දී ඔහුට එකඳු ලකුණක් හෝ ලබා ගැනීමට හැකියාව ලැබුණේ නැහැ. එමෙන්ම අනෙක් බංග්ලාදේශ ආරම්භක පිතිකරු Mohammad Naim හට ලබා ගැනීමට හැකියාව ලැබුණේ ද ලකුණු 16ක් පමණයි.  

එම තරගයේ දී බංග්ලාදේශය ශ්‍රී ලංකාව හමුවේ කඩුලු 5ක පරාජයකට මුහුණ දුන් අතර, පරාජයෙන් අනතුරුව හතුරුසිංහ විසින් සඳහන් කළේ සිය හොඳම ක්‍රීඩකයින් අහිමි වීම විශාල අභියෝගයක් වූ බවයි. 

මුල් පෙළින් එතරම් අත්දැකීම් ප්‍රමාණයක් අහිමි වීම ඕනම කණ්ඩායමකට විශාල අභියෝගයක්. කෙනෙක් අසනීප වෙලා සහ අනිත් කෙනා ආබාධයකට ලක් වෙලා ඉඳිද්දී අපිට ඒ වෙනුවෙන් කිසි දෙයක් කරන්න බැහැ. නමුත් අපිට මෙහේ ඉන්න ක්‍රීඩකයින් ව අපි විශ්වාස කරනවා. ඔවුන් ඇත්තටම දක්ෂයි. ඒ නිසයි ඔවුන් ව සංචිතයට තෝරා ගත්තේ.” 

එමෙන්ම එම තරගයෙන් පසුව පැවැත්වීමට නියමිත ව තිබුණු තරගයේ දී (ඇෆ්ගනිස්තානය සමඟ) පිටියේ ස්වභාවය අනුව යම් වෙනස්කම් සිදු කිරීමට තමන් පෙලඹෙනු ඇති බවත් හතුරුසිංහ විසින් සඳහන් කර තිබුණා. 

ඔහු විසින් මෙම අදහස් ප්‍රකාශ කලේ ඊයේ (03) බංග්ලාදේශ – ඇෆ්ගනිස්තාන තරගයට පෙරයි. ඔහු එම සාකච්ඡාව තුළ දී සඳහන් කළ සේ ම ඊයේ තරගයේ දී Tanzid වෙනුවට බංග්ලාදේශ මැද පෙළ පිතිකරු Mehidy Hasan Mirazව ආරම්භක පිතිකරුවකු ලෙස* යොදා ගත්තා. 

*. Mehidy හට මෙම ආරම්භක පිතිකරු භූමිකාවට පණ පෙවීමේ අවස්ථාව හිමි වුනේ 2018 වසරෙන් පසුවයි.ල්ල් 

හතුරුසිංහ විසින් සිදු කළ එම වෙනස අතිශය සාර්ථක එකක් බවට තහවුරු කළ Mehidy විසින් ඊයේ ඇෆ්ගනිස්තානයට එරෙහිව විශිෂ්ට ශතකයක් (112) වාර්තා කිරීමට සමත් වූ අතර, ඔහුගේ සහයට අංක හතර පිතිකරු ලෙස පිටියට පිවිසුණු Najmul Shanto විසින් ද තවත් ශතකයක් (104) වාර්තා කිරීමට සමත් වුනා. 

ඔවුන් දෙදෙනා විසින් ඇෆ්ගනිස්තානයට එරෙහිව සිය ඉනිමේ තෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 193ක සබඳතාවක් ද පිහිටුවීමට සමත් වුනා. 

ශ්‍රී ලංකාව සමඟ තරගයේ දී සිදු වුනු දේ නිසා මේ තරගය (ඇෆ්ගනිස්තානය සමඟ) ගොඩක් වැදගත් එකක්. අපි දන්නවා මේක අනිවාර්යයෙන් ම ජයග්‍රහණය කළ යුතු තරගයක්. 

ශ්‍රී ලංකාවට එරෙහිව සිය උපරිමය ලබා දීමට නොහැකි වුනත් ඇෆ්ගනිස්තානයට එරෙහිව එම වරද සිදු නොකර සිය උපරිමයෙන් කණ්ඩායම ක්‍රීඩා කරනු ඇති බවත් හතුරුසිංහ පෙර දින සඳහන් කළා. එමෙන්ම එහි දී සීමිත පන්දුවාර තරග වල ඇෆ්ගනිස්තානය සතු විශිෂ්ට පන්දු යැවීමේ බළඇණිය පිළිබඳ ව ද විශේෂ ඇගයීමක් සිදු කරමින් ඔවුන්ට උපරිම ගෞරවය ලබා දෙමින් අදහස් පළ කිරීමට හතුරුසිංහ අමතක කළේ නැහැ. 

කෙසේ වෙතත් ඊයේ තරගයේ දී බංග්ලාදේශය පිතිකරුවන්ගෙන් නම් ඇෆ්ගනිස්තාන පන්දු යවන්නන් හට කිසිඳු ගෞරවයක් හිමි වුනේ නැහැ. බංග්ලාදේශය විසින් ඊයේ නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 334ක් ලබා ගැනීමට සමත් වූ අතර එම දැවැන්ත ලකුණු සංඛ්‍යාව ඔවුන් ව ලකුණු 89ක ජයග්‍රහණයක් කරා ද රැගෙන යාමට සමත් වුනේ 2023 ආසියානු කුසලානයේ ඉදිරි වටයට පිවිසීමේ අවස්ථාව ද බොහෝ දුරට බංග්ලාදේශයට හිමි කර දෙමිනුයි. 

මේ අනුව හෙට (05) ඇෆ්ගනිස්තානය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වීමට නියමිත තරගය දෙපිළට ම අතිශය වැදගත් එකක් බවට වී තිබෙනවා. දැනට ආසියානු කුසලානයේ B කාණ්ඩයේ ඉහළින් ම රැඳෙන කණ්ඩායම ශ්‍රී ලංකාව වුවත් හෙට තරගයේ දී ඇෆ්ගනිස්තානය හමුවේ දැවැන්ත පරාජයක් ලද හොත් (ලකුණු අතින් හෝ පන්දුවාර අතින්) ශ්‍රී ලංකාවට ඉදිරි වටයට පිවිසීමට ඇති ඉඩ අහිමි ව යා හැකියි. කෙසේ වෙතත් මේ මොහොත වන විට B කාණ්ඩයේ වැඩිම අවදානම් තත්වයකට පත් ව ඇත්තේ ඇෆ්ගනිස්තානයයි.  

තරගාවලියේ තවත් තීරණාත්මක තරගයක් අද (04) ඉන්දියාව සහ නේපාලය අතර පැවැත්වීමට නියමිතයි. මෙම තරගය ජයග්‍රහණය කරන කණ්ඩායමට ද තරගාවලියේ ඉදිරි වටයට පිවිසීමේ අවස්ථාව ඉතිරිව තිබෙනවා. 

තරගාවලියේ මූලික වටයේ අවසන් තරග දෙක ලෙස මෙම ශ්‍රී ලංකා – ඇෆ්ගනිස්තාන සහ ඉන්දියා – නේපාල තරග දෙක පැවැත්වීමට නියමිතයි. 

එම තරග ද ඇතුළුව 2023 ආසියානු කුසලානයේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

Cricbuzz ඇසුරිනි. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<