යොවුන් මතීෂට ක්‍රිකට් ලොව විශිෂ්ටයින්ගෙන් පැසසුම්!

Asia Cup 2023

5797

ශ්‍රී ලංකා යොවුන් වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ විසින් ඊයේ (31) බංග්ලාදේශයට එරෙහිව දැක්වූ විශිෂ්ට පන්දු යැවීමට විශාල වශයෙන් ඇගයුම් ලැබෙමින් පවතිනවා.

2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය ලෙස ඊයේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වුණු තරගයෙන් ශ්‍රී ලංකාව කඩුලු 5ක පහසු ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වුනා.

මෙම තරගයේ දී බංග්ලාදේශ ඉනිම සහමුලින්ම වනසා දැමීමට සමත් වූ මහීෂ් තීක්ෂණ සහ මතීෂ පතිරණ විසින් බංග්ලාදේශ ඉනිමේ කඩුලු 6ක් බිඳ දැමීමට සමත් වූ අතර ඉන් කඩුලු 4ක් ම මතීෂ සතු වූ අතර (4/32) මෙය ඔහුගේ හොඳම එක්දින පන්දු යැවීම ලෙස ද සටහන් වුනා. මෙහි අවසන් ප්‍රතිඵලය වුනේ තරගයේ වීරයා සම්මානය ද මතීෂ හට හිමි වීමයි.

නිමා වූ 2023 IPL තරගාවලියේ දී ද අතිශය සාර්ථක තරග වාරයක් නිමා කරමින් Chennai Super Kings සමඟ IPL ශූරතාව දිනා ගැනීමට මෙන්ම, ඒ වෙනුවෙන් පන්දුවෙන් උපරිම දායකත්වයක් ලබා දීම නිසා (තරග 12කින් කඩුලු 19ක්) මතීෂ හට මීට පෙර සිට ම ඉන්දියානුවන්ගෙන් ද ඉතා විශාල ප්‍රතිචාර හිමි වෙමින් තිබුණා. ඊයේ මතීෂ විසින් දැක්වූ පන්දු යැවීමේ දක්ෂතා නිසා එම ප්‍රතිචාර ද තවත් ඉහළ යමින් පවතිනවා.

මේ අතර හිටපු බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෙකු සහ වත්මන් ක්‍රිකට් විස්තර විචාරකයෙකු වන Ian Bishop විසින් මතීෂගේ පන්දු යැවීම මෙසේ අගය කර තිබුණා.

“ශ්‍රී ලංකා ක්‍රිකට්, CSK සහ MS Dhoni මෙතරම් ඉහළින් මතීෂ පතිරණව අගය කරන්නේ මන්දැයි පහසුවෙන් දැකිය හැකි. ඔහු තවමත් ශිල්ප ඉගෙන ගනිමින් සිටින්නේ. නමුත් ඔහු ඉතා ඉක්මනින් ඉගෙන ගන්නවා. ඉදිරි වසර කිහිපයේ දී ඔහු ඉතා හොඳ (පිතිකරුවන්ට ගනුදෙනු කිරීමට අපහසු ආකාරයේ) පන්දු යවන්නෙකු වේවි.”

මේ අතර මෙවර ආසියානු කුසලානය සඳහා සහභාගී වීමට වරම් නොලද සුපිරි ඉන්දීය පිට දඟපන්දු යවන්නා Ravichandran Ashwin විසින් ද X (Twitter) පණිවිඩයක් තබමින් මතීෂගේ පන්දු යැවීම අගය කර තිබුණා.

“2023 IPL තරගාවලියේ දී මතීෂගෙන් උපරිම ප්‍රයෝජන ලබා ගත් නමුත්, අද (31) ඔහුගේ දක්ෂතාව මගින් ඔහු පසුගිය මාස 12 තුළ සිය දක්ෂතා තවත් වැඩිදියුණු කර ගෙන ඇති බව අවධාරණය කරයි.”

මතීෂගේ මෙම පන්දු යැවීම මංගල ආසියානු කුසලාන තරගයක ක්‍රීඩකයෙකු විසින් දැක් වූ සිව්වැනි ඉහළම දක්ෂතාව ලෙස ද සටහන් වුනා.

මේ අතර මතීෂ සහ ඔහුගේ CSK සගයා වන මහීශ් විසින් ඊයේ දැක්වූ දස්කම් නිසා ඉන්දීය ක්‍රිකට් රසිකයින් ද මොවුන් දෙදෙනා ව විශේෂයෙන් ඇගයීමට ලක් කර තිබෙනවා.

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන Chris Silverwood විසින් ද මතීෂගේ පන්දු යැවීම සහ ඉක්මන් දියුණුව පිළිබඳ මෙසේ ප්‍රශංසා කර තිබුණා.

“ඔහු ඉතා ඉක්මනින් තොරතුරු අවශෝෂණය කර ගන්නවා. ඒ වගේම ඒවා ඉතාම ඉක්මනින් ක්‍රීඩාවට අදාළ කර ගන්නවා. ඔහු එය ඔහුගේ ම ක්‍රමයකට සිදු කරනවා.”

නිමා වූ IPL තරගාවලියේ සහ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ දී මතීෂ විසින් ලබා ගත් අත්දැකීම් සමඟින් ඔහු ඉක්මන් දියුණුවක් ලබා ඇති බවයි Silverwood විසින් සඳහන් කරන්නේ.

2023 ආසියානු කුසලානයේ මීළඟ තරගය හෙට (02) ඉන්දියාව සහ පාකිස්තානය අතර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි. ඒ පිළිබඳ මෙන්ම තරගාවලියේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Hindustan Times සහ ESPN Cricinfo ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<