ඇෆ්ගන්වරුන්ගේ බර අවිවලට සිංහයන්ගේ සූදානම

Asia Cup 2023

4376

2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන දෙවැනි තරගය මේ මස 5 වැනිදා (හෙට) ඇෆ්ගනිස්තානය සමඟින් පාකිස්තානයේ Lahore, Gaddafi ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.  

මේ වෙද්දී ශ්‍රී ලංකාව මෙම තරගාවලියේ සහභාගී වූ පළමු තරගයෙන් බංග්ලාදේශය පරාජය කරමින් ප්‍රසාද ලකුණු පුවරුවේ පළමු ස්ථානයේ පසුවන අතර බංග්ලාදේශය පළමු වටයේ තරග නිමා කරමින් එහි දෙවැනි ස්ථානයේ ද සහ ඇෆ්ගනිස්තානය තෙවැනි ස්ථානයේ ද පසුවෙනවා 

ශ්‍රී ලංකාව හමුවේ පරාජයට පත් බංග්ලාදේශය, ඇෆ්ගනිස්තානයට එරෙහිව ජයග්‍රහණයක් වාර්තා කළ හෙයින් මේ වෙද්දී කණ්ඩායම් ත්‍රිත්වය ම සිටින්නේ තීරණාත්මක පසුබිමකයි. ඒ අනුව තරගාවලියේ ඉදිරියක් බලාපොරොත්තු වීමට නම් ඇෆ්ගන්වරුන්ට මෙම තරගයේ ජයග්‍රහණය අවශ්‍ය ම වෙනවා.  

ශ්‍රී ලංකාවේ සහ ඇෆ්ගනිස්තානයේ එක්දින සහ ආසියානු කුසලාන තරග තොරතුරු 

  Span  Mat  Won  Lost  Tied  NR  %W 
ශ්‍රී ලංකාව 
ODI  1975 – 2023  895  410  441  5  39  45.81 
Asia Cup  1984 – 2018  50  34  16  0  0  68.00 
ඇෆ්ගනිස්තානය 
ODI  2009 – 2023  151  73  73  1  4  48.34 
Asia Cup  2014 – 2018  10  3  6  1  0  30.00 

 

නවතම ICC එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව 8 වැනි ස්ථානයේ සිටිමින් ද සහ ඇෆ්ගනිස්තානය 9 වැනි ස්ථානයේ සිටිමින් ද මෙම තරගය සඳහා එක් වෙනවා. 

ශ්‍රී ලංකාව මෙතෙක් පැවති සෑම ආසියානු කුසලාන තරගාවලියකට ම සහභාගී වෙමින් 5 වතාවක් ශූරයන් සහ 6 වතාවක් අනුශූරයන් වී ඇති අතර ඇෆ්ගනිස්තානය මෙවර සහභාගී වෙන්නේ තෙවැනි ආසියානු කුසලාන තරගාවලියටයි. ඔවුන් ආසියානු කුසලානයේ මේ දක්වා පැමිණි ඉහළ ම ස්ථානය 2018 වසරේ දී සුපිරි 4 දෙනාගේ වටයට පිවිසීමයි.   

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අවසන් වරට හමුවෙන්නේ මෙරට දී පැවති තරග 3කින් යුත් තරගාවලියක දීයි. එහි දී පළමු තරගයේ ජයග්‍රහණය ඇෆ්ගනිස්තානය සතු වෙන අතර අවසන් තරග 2 ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාව සමත් වෙනවා.  

මේ වෙද්දී ඔවුනොවුන් එක්දින තරග 10ක දී එකිනෙකා හමුවී ඇති අතර ඉන් තරග 6ක ජයග්‍රහණ ශ්‍රී ලංකාව සතු වෙද්දී තරග 3ක ජයග්‍රහණ ඇෆ්ගනිස්තානය සතු කර ගන්නවා. අනෙක් තරගය අවසන් ව ඇත්තේ නොවිසඳුණ තරගයක් ලෙසයි. 

ඔවුනොවුන් සහභාගී වූ අවසන් එක්දින තරග 5 ප්‍රතිඵල 

ශ්‍රී ලංකාව  ජය  

(BAN) 

ජය  

(NED) 

ජය  

(WI) 

ජය  

(ZIM) 

ජය  

(NED) 

ඇෆ්ගනිස්තානය  පරාජය 

(BAN) 

පරාජය (PAK)  පරාජය (PAK)  පරාජය (PAK)  ජය  

(BAN) 

 

ශ්‍රී ලංකා කණ්ඩායමේ සූදානම 

ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගයට සහභාගී වෙන්නේ ආසියානු කුසලානයේ පළමු තරගය ජයග්‍රාහීව නිමා කරමින්. එබැවින් එම විශ්වාසය මෙම තරගයේ දී ද අප ඔවුන්ගෙන් බලාපොරොත්තු වෙනවා.  

  • ශ්‍රී ලංකා සංචිතය: දසුන් ශානක (නායක), පැතුම් නිස්සංක, දිමුත් කරුණාරත්න, කුසල් පෙරේරා, කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක, ධනංජය ද සිල්වා, සධීර සමරවික්‍රම, මහීෂ් පතිරණ, දුනිත් වෙල්ලාලගේ, මතීෂ පතිරණ, කසුන් රාජිත, දුශාන් හේමන්ත, බිනුර ප්‍රනාන්දු, ප්‍රමෝද් මධුශාන්. 

ඇෆ්ගනිස්තානය හා සමඟ තරගයේ දී ද, පෙර තරගයට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ම පිටියට කැඳවෙනු ඇතැයි සිතිය හැකි. කණ්ඩායම දිනවීමේ දී මැද පෙළින් දක්ෂතා දැක්වූ චරිත් අසලංක සහ සධීර සමරවික්‍රම සේ ම පන්දු යැවීමෙන් දක්ෂතා දැක්වූ මතීෂ පතිරණ සහ මහීෂ් තීක්ෂණ ද මෙම තරගයේ දී ද සුපුරුදු රිද්මයෙන් ම කටයුතු කරනු ඇතැයි විශ්වාස කළ හැකි. 

පෙර තරගයේ දී ලකුණු අතරට නොපිවිසි ආරම්භක පිතිකරුවන් වූ පැතුම් නිස්සංක සහ දිමුත් කරුණාරත්න ද ඉදිරි පෙළ පිතිකරු කුසල් මෙන්ඩිස් ද ලකුණු අතරට පිවිසිය යුතු අතර එසේ වෙන්නේ නම් අනෙකුත් පිතිකරුවන්ගෙන් ද වැඩි සේවයක් කණ්ඩායමට ලබා ගත හැකි. එසේ නොවීමෙන් සිදු වෙන්නේ කණ්ඩායමේ ලකුණු පුවරුව අඩපණ වීමයි. ඇෆ්ගනිස්තානය වැනි කණ්ඩායමකට එවැනි පහසුවක් සැලසීම සෝචනීය ඉරණමකට අත වැනීමක් බැව් වටහා ගත යුතුයි.   

එබැවින් තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වා සේ ම නායක දසුන් ශානක ද තම දක්ෂතාවන් ගැන මීට සැලකිලිමත් වීම වටිනවා. පිතිකරුවන් ලෙසින් එවැනි පිබිදීමක් ඔවුන් සතු යුතුකමක් වන අතර පන්දු යැවීමේ දී දැක්වූ දක්ෂතාවන් අගය කළ යුතුයි.  

ප්‍රධාන පන්දු යවන්නන් අතරින් වැඩි දක්ෂතා දැක්වූ මතීෂ පතිරණ සහ මහීෂ් තීක්ෂණට අමතර ව කසුන් රාජිත සේ ම දුනිත් වෙල්ලාලගේ ද තම තමන්ගේ පන්දු යැවීමට කදිම රිද්මයක් එක් කළ අතර එය තව දුරටත් පවත්වා ගෙන යන්නේ නම් ඇෆ්ගනිස්තානයට මෙම තරගය ලෙහෙසි වන්නේ නැහැ.  

ඇෆ්ගනිස්තානයට එරෙහිව ක්‍රීඩා කරතැයි අනුමාන කෙරෙන ශ්‍රී ලංකා කණ්ඩායම: දසුන් ශානක (නායක), පැතුම් නිස්සංක, දිමුත් කරුණාරත්න, කුසල් මෙන්ඩිස් (කඩුලු රකින්නා) සධීර සමරවික්‍රම, චරිත් අසලංක, ධනංජය ද සිල්වා, දුනිත් වෙල්ලාලගේ, මහීෂ් තීක්ෂණ, කසුන් රාජිත, මතීෂ පතිරණ. 

ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ සූදානම 

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් සිදු කෙරුණ නවතම ක්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීමේ දී පන්දු යවන්නන් අතර තෙවැනි ස්ථානය ලත් Mujeeb Ur Rahman, සිව්වැනි ස්ථානය ලත් Rashid Khan සහ තුන් ඉරියව් ක්‍රීඩකයන් අතරින් දෙවැනි ස්ථානය හිමි Mohammad Nabi සමඟිනුයි ඇෆ්ගනිස්තානය ශ්‍රී ලංකාව හා තරගයට සූදානම් වෙන්නේ.   

  • ඇෆ්ගනිස්තාන සංචිතය: Hashmatullah Shahidi (නායක), Ibrahim Zadran, Ikram Alikhil (කඩුලු රකින්නා), Najibullah Zadran, Rahmanullah Gurbaz (කඩුලු රකින්නා), Riaz Hassan, Gulbadin Naib, Karim Janat, Mohammad Nabi, Rahmat Shah, Rashid Khan, Sharafuddin Ashraf, Abdul Rahman, Fazalhaq Farooqi, Mohammad Saleem, Mujeeb Ur Rahman, Noor Ahmad. 

එමෙන් ම ඔවුන් මෙම තරගාවලිය නිසා ම මෙරට දී පාකිස්තානය සමඟින් තරග 3කින් සමන්විත එක්දින තරගාවලියකට ද සහභාගී වෙමින් තරගාවලියට හොඳ සූදානමක් ලබා ගත්තා. එම තරගාවලිය ඔවුන් 3-0ක් ලෙසින් පරාජය වූව ද ප්‍රතිවාදීන් හා උරෙනුර ගැටීමට තරම් තරගකාරීත්වයක් ලබා දීමට ඔවුන් සමත් වීම කැපී පෙනුණා. 

ඔවුන්ගේ යම් පසු බැසීමක් වූවා නම් ඒ ආසියානු කුසලානයේ පළමු තරගයෙන් ඔවුන් බංගලියන් වෙතින් ලත් පරාජයයි. එහෙත් එවැන්නක් වූ පමණින් ම එලෙස ම ශ්‍රී ලංකාව හා සමඟ පැවැත්වෙන මෙම තරගය ද නිමා වේ යැයි සිතිය නොහැකි 

  • ශ්‍රී ලංකාව එරෙහිව ක්‍රීඩා කරතැයි අනුමාන කෙරෙන ඇෆ්ගනිස්තාන කණ්ඩායම: Hashmatullah Shahidi (නායක), Rahmanullah Gurbaz (කඩුලු රකින්නා), Ibrahim Zadran, Rahmat Shah, Najibullah Zadran, Mohammad Nabi, Karim Janat, Gulbadin Naib, Rashid Khan, Mujeeb Ur Rahman, Fazalhaq Farooqi 

අවධානය යොමු කළ යුතු ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයෝ 

Hashmatullah Shahidi  

ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ ඉදිරිපෙළ පිතිකරුවෙක් ලෙසින් දක්ෂතා දක්වන Hashmatullah Shahidi කණ්ඩායමේ නායකයා ද වෙනවා. මේ දක්වා එක්දින තරග 63කට සහභාගී වී ඇති ඔහු ලබා ඇති ලකුණු සංඛ්‍යාව 1716ක්. ඊට අර්ධ ශතක 15ක් එක් කිරීමට ඔහු සමත් වෙනවා.  

නිමා වූ බංග්ලාදේශ තරගය සමඟින් ආසියානු කුසලාන තරග 7කට ක්‍රීඩා කර ඇති Hashmatullah අර්ධ ශතක 4ක් සමඟින් ලකුණු 319ක් ලබා ගන්නවා. ඒ අතර නිමා වූ ආසන්නත ම ආසියානු කුසලාන තරගාවලියේ දී පාකිස්තානයට එරෙහිව පන්දු 118කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් නොදැවී ලබා ගන්නා ලද ලකුණු 97ක් ද ඇතුළත්. එය ඔහුගේ එක්දින තරග දිවියේ ඉහළ ම ලකුණු සංඛ්‍යාව ද වෙනවා.  

ශ්‍රී ලංකාව සමඟ තරග 7කට සහභාගී වී ඇති ඔහු ලබා ඇති ලකුණු සංඛ්‍යාව අර්ධ ශතකයක් සමඟින් 174ක්.  

Najibullah Zadran 

30 හැවිරිදි වියේ පසුවන ඇෆ්ගනිස්තානයේ Najibullah Zadran ද මෙවර ආසියානු කුසලානයේ දී ප්‍රතිවාදීන්ට තරමක හිසරදයක් වන ක්‍රීඩකයෙක් ලෙසින් හැඳින්විය හැකි. එක්දින පිටියේ තරග 88කට සහභාගී වී ඇති ඔහු මේ දක්වා ඉනිම් 80ක දී ශතකයක් සහ අර්ධ ශතක 15ක් සමඟින් ලකුණු 2013ක් ලබා සිටිනවා.  

මේ අතරින් ආසියානු කුසලාන තරග 7ක ඔහුගේ දක්ෂතාව ලෙසින් සඳහන් වෙන්නේ ලකුණු 92ක් පමණයි.  

ශ්‍රී ලංකාව සමඟ පැවති තරග 10ට ම එක් වී ඇති Zadran අර්ධ ශතකයක් සමඟින් ලකුණු 220ක් ලබා සිටිනවා.  

Rahmanullah Gurbaz  

21 හැවිරිදි වියේ පසුවන ඇෆ්ගනිස්තානයේ Rahmanullah Gurbaz ගේ මංගල ආසියානු කුසලාන තරගාවලිය මෙයයි 

මේ දක්වා එක්දින ජාත්‍යන්තර තරග 25කට සහභාගී වී ඇති  Gurbaz ශතක 5ක් සහ අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 954ක් ලබා සිටිනවා. එම ඉනිම් අතර ඉහළ ම ලකුණු සංඛ්‍යාව බවට පත් වූයේ පසුගිය දිනවල හම්බන්තොට දී පැවති පාකිස්තානය සමඟ තරගාවලියේ දෙවැනි තරගයේ දී පන්දු 151ක් වැය කරමින් හතරේ පහර 14ක් සහ හයේ පහර 3ක් සමඟින් වාර්තා කරන ලද ලකුණු 151යි. 

ශ්‍රී ලංකාවට එරෙහිව එක්දින ජාත්‍යන්තර තරග 6ක ඉනිම් 6ක දී අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 150ක් ලබා ගැනීමට ඔහු සමත් ව සිටිනවා.   

Mohammad Nabi 

දකුණත් පිතිකරුවෙක් ලෙසත් සහ දකුණතින් පිට දඟපන්දු යවන්නෙක් ලෙසත් දක්ෂතා දක්වන Mohammad Nabi ඇෆ්ගනිස්තාන කණ්ඩායම සතුව සිටින වඩාත් විශ්වාසවන්ත ක්‍රීඩකයෙක්. 

මේ දක්වා ඔහු එක්දින ජාත්‍යන්තර තරග 147කට ක්‍රීඩා කරමින් ශතකයක් සහ අර්ධ ශතක 15ක් සමඟින් ලකුණු 3088ක් ද සහ කඩුලු 154ක් ද ලබා සිටිනවා.  

ආසියානු කුසලාන තරග 11ක දී අර්ධ ශතකයක් සමඟින් ලකුණු 202ක් සහ කඩුලු 9ක් ලබා සිටිනවා.  

ශ්‍රී ලංකාව හා සමඟ ක්‍රීඩා කරන ලද තරග 10ට ම ක්‍රීඩා කර ඇති Nabi ලකුණු 191ක් සහ කඩුලු 11ක් ලබාගෙන තිබෙනවා.  

Gaddafi ක්‍රීඩාංගණය 

ශ්‍රී ලංකාව මේ වෙද්දී Gaddafi ක්‍රීඩාංගණයේ දී තරග 13කට ක්‍රීඩා කර ඇති අතර ඉන් තරග 9ක් ජයග්‍රහණය කිරීමට සමත් වෙනවා. ශ්‍රී ලංකාව මෙම ක්‍රීඩාංගණයේ ලබා ඇති ඉහළ ම ලකුණු සංඛ්‍යාව කඩුලු 9ක් දැවී ලකුණු 357ක් වන අතර පාකිස්තානය ලකුණු 75කට දවාලමින් එම ක්‍රීඩාංගණයේ කණ්ඩායමක් අඩුවෙන් ම දවා ගත් කණ්ඩායම ලෙසින් ශ්‍රී ලංකාව වාර්තා පොත් අතරට එක් වීමට සමත් වෙනවා.  

ඇෆ්ගනිස්තානය Gaddafi ක්‍රීඩාංගණයේ දී සහභාගී වීමට නියමිතව ඇත්තේ දෙවැනි තරගයටයි. 

පළමු තරගයේ දී බංග්ලාදේශය වෙතින් පරාජයට පත් වූ ඔවුන් මෙම තරගයේ දී පෙර වැරදි නිවැරදි කර ගනිමින් පිටියට පිවිසෙනු ඇතැයි විශ්වාස කළ හැකි.  

කාලගුණ තත්ත්වය 

මේ දිනවල මෙරට අයහපත් කාලගුණ තත්ත්වයක් පැවතිය ද, Gaddafi ක්‍රීඩාංගණය අවට ඉදිරි සතියේ ම වඩාත් යහපත් කාලගුණ තත්ත්වයක් පවතින බවයි එරට කාලගුණ වාර්තාවන් දැක්වෙන්නේ. 

2023 ආසියානු කුසලානය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<