සදීර, අසලංක සහ මතීෂ ශ්‍රී ලංකාව දිනවයි

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය 2023

1439

2023 ආසියානු කුසලානයේ බංග්ලාදේශය සමඟ අද (31) B පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති තරගයෙන් කඩුලු 5ක ජයග්‍රහණයක් සමඟින් තරගාවලියට සාර්ථක ආරම්භයක් ලබා ගන්නට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමත් වුනා.

අද තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම්,

ශ්‍රී ලංකාව – දිමුත් කරුණාරත්න (නායක), පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස් (WK), සදීර සමරවික්‍රම, චරිත් අසලංක, ධනංජය ද සිල්වා, දසුන් ශානක, දුනිත් වෙල්ලාගේ, මහීෂ් තීක්ෂණ, කසුන් රාජිත, මතීෂ පතිරණ

බංග්ලාදේශය – Mohammed Naim, Tanzid Tamim, Najmul Hossain Shanto, Towhid Hridoy, Shakib Al Hasan (capt.), Mushfiqur Rahim (wk), Mehedi Hasan, Mahedi Hasan, Taskin Ahmed, Shoriful Islam, Mustafizur Rahman

B කාණ්ඩයේ තරගයක් වූ මේ තරගයේ කාසියේ වාසිය දිනා ගත් බංග්ලාදේශය පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා. එහි දී ඔවුන් පන්දුවාර 42කුත් පන්දු 4ක් තුල ලකුණු 164කට සීමා කරන්නට මතීෂ පතිරණ ඇතුළු ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුනා.

ආරම්භක පිතිකරුවන් ලෙස Tanzid Hasan සමඟ Mohammad Naim පිතිකරණයට පැමිණි අතර සිය මංගල එක්දින තරගයට ක්‍රීඩා කළ Tanzid Hasan ලකුණු නොලබාම ක්‍රීඩාගාරයට හරවා යවන්නට මහීෂ් තීක්ෂණ සමත් වුනා.

රාජිත නව පන්දුව ද අතැතිව පළමු පන්දුවාරය ක්‍රියාත්මක කළ අතර වමත් පිතිකරුවන් දෙදෙනෙක් සිටි නිසාවෙන් මහීෂ්ව දෙවැනි පන්දුවාරයේ සිටම පිටියට කැඳවීමට නායක දසුන් ශානක තීරණය කළා.

පළමු powerplay අවස්ථාව තුල බංග්ලාදේශ ආරම්භක පිතිකරුවන් යුගලය ක්‍රීඩාගාරයට හරවා යවමින් පළමු පන්දුවාර 10ක් තුල කඩුලු 2ක් දවාගෙන ප්‍රතිවාදීන් ලකුණු 34කට සීමා කිරීමට ශ්‍රී ලංකාවට හැකි වුනා.

බංග්ලාදේශ පිතිකරණ ලැයිස්තුවේ පළමු පිතිකරුවන් පස්දෙනාගෙන් සිව්දෙනෙක්ම වමත් පිතිකරුවන් වීම ශ්‍රී ලංකා පිට දඟපන්දු යවන්නන් දෙදෙනාට තරමක වාසියක් වූ අතර මහීෂ් සහ ධනංජය දැවී ගිය බංග්ලාදේශ වමත් පිතිකරුවන්ගේ පළමු කඩුලු 4න් කඩුලු 3කට ම හිමිකම් කීවා.

බංග්ලාදේශය කඩුලු 3ක් දැවී ලකුණු 36ක් ලබාගෙන අසීරු අවස්ථාවක සිටි මොහොතේ Najmul Hossain Shanto සමඟ එක්වුණු Towhid Hridoy සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 59ක සබඳතාවයක් ගොඩනැංවූවා. එය බංග්ලාදේශ ඉනිම තුල වාර්තා වුනු හොඳම සබඳතාවයයි.

එම සබඳතාවය බිඳ දමමින් ලකුණු 20ක් ලබාගෙන සිටි Hridoyගේ කඩුල්ල දවා ගන්නට ශානක සමත් වුනේ විනිසුරු තීරණ නැවත පරීක්ෂා කිරීමේ අවස්ථාවක් (DRS) සාර්ථකව භාවිතා කරමිනුයි.

බංග්ලාදේශ පිතිකරුවන්ට එරෙහිව ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉතාමත් හොඳ සැලසුමක්, හොඳ ඉලක්කයක් සහිතව කටයුතු කළ නිසාවෙන් ඔවුන්ට හොඳ දල ලකුණු ලබා ගැනීමේ වේගයක් රඳවා ගෙන පන්දුවට පහර දීමට නොහැකි වුනා.

අවසානයේ දී ඔවුන්ගේ අවසන් කඩුලු 6 ලකුණු 69ක් තුල දවා ගන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුනු අතර පතිරණගේ වේගය හමුවේ (පැයට කිලෝමීටර 140+ට වැඩි) බංග්ලාදේශ පිතිකරුවන්ට වැඩි පීඩනයක් එල්ල වීම කැපී පෙනුණා.

එක් අන්තයක බංග්ලාදේශ පිතිකරුවන් අසාර්ථක වන විට, අංක 3 පිතිකරු ලෙස පැමිණි Shanto 4 පහර 7ක් එල්ල කරමින් ලකුණු 89ක් ලබා ගත් අතර ඔහු සිය එක්දින ක්‍රිකට් දිවියේ සිව්වැනි අර්ධ ශතකය සඳහා අද හිමිකම් කීවා.

පන්දු 122ක් තුල වාර්තා වුනු ඔහුගේ ලකුණු 89 නොවන්නට බංග්ලාදේශයට මේ ලකුණු 165 ලබා ගැනීම සිහිනයක් වන්නට තිබුණා. එසේම Shanto ලකුණු 2ක් ලබාගෙන සිටිය දී මිඩ් ඕන් කලාපයේ සිටි ශානක වෙත උඩපන්දුවක් ලබා දුන් නමුත් එම උඩපන්දුව රැකගන්නට ශානක උත්සහ කළ නමුත් එය සාර්ථක වුනේ නැහැ.

පන්දු යැවීමේ දී මතීෂ පතිරණ සිය එක්දින ක්‍රිකට් දිවියේ හොඳම පන්දු යැවීම වාර්තා කරමින් ලකුණු 32කට කඩුලු 4ක් දවා ගත්තේ Mushfiqur Rahim සහ නායක Shakib Al Hasan යන බංග්ලාදේශ ප්‍රබල කඩුලු දෙක ද දවාගෙනයි. ඊට අමතරව මහීෂ් තීක්ෂණ කඩුලු 2ක් දවා ගන්නා විට, ධනංජය ද සිල්වා සහ දසුන් ශානක අතරේ කඩුල්ල බැගින් බෙදී ගියා.

ලකුණු 165ක පහසු ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 39ක් අවසානයේ කඩුලු 5ක් දැවී සිය ඉලක්කය සපුරා ගත්තා.

තරමක් මන්දගාමී තණතීරුව මත ශ්‍රී ලංකා පළමු කඩුලු 3 ලකුණු 43ක් තුල දවා ගන්නට බංග්ලාදේශ පන්දු යවන්නන් සමත් වුනා. කෙසේ නමුත් සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පිටියේ ස්ථාවර වුනු චරිත් අසලංක සහ සදීර සමරවික්‍රම ලකුණු 78ක අගනා සබඳතාවයක් ගොඩනංවමින් ශ්‍රී ලංකා ජයග්‍රහණය සඳහා අවශ්‍ය වුනු මූලික අඩිතාලම සකස් කළා.

සදීර සිය 4 වැනි එක්දින අර්ධ ශතකය ද, අසලංක සිය 10 වැනි එක්දින අර්ධ ශතකය ද ලබාගෙන දස්කම් දක්වමින් ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභීන් දෙදෙනා බවට පත්වුණු අතර අසලංක නොදැවී ලකුණු 62*ක් ලබා ගත්තේ 4 පහර 5ක් සහ 6 පහරක් එල්ල කරමින්. සදීර ලකුණු 54යි. නායක දසුන් ශානක නොදැවී ලකුණු 14*ක් ලබා ගත්තා. පන්දු යැවීමේ දී Shakib Al Hasan කඩුලු 2ක් දවා ගත්තා.

තරගයේ වීරයා – මතීෂ පතිරණ

2023 ආසියානු කුසලානයේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<