පල්ලෙකැලේ තණතීරුව ගැන බංග්ලාදේශයෙන් මැසිවිලි

Asia Cup 2023

10872

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ඊයේ (31) පැවැත්වුණු තරගයට වඩා හොඳ තණතීරුවක් ලැබෙනු ඇතැයි තමන් බලාපොරොත්තු වූ බව බංග්ලාදේශ පිතිකරු Najmul Hossain Shanto විසින් පවසනවා.

ඊයේ පැවැත්වුණු තරගයේ දී බංග්ලාදේශ කණ්ඩායම ශ්‍රී ලංකාව හමුවේ කඩුලු 5ක පරාජයකට මුහුණ දුන්නා. ඔවුන්ගේ පරාජයේ වැඩි වගකීමක් පිතිකරුවන්ගේ උර මතට පැටවුන අතර තරගයේ පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශය පන්දුවාර 42යි පන්දු 4ක් තුළ සියල්ලන් ම දැවී ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 164ක් පමණයි.

මෙහි දී ඉනිමේ ඉහළම ලකුණු ලාභියා වූ Najmul Shanto විසින් විශිෂ්ට ඉනිමක් දියත් කරමින් පන්දු 122කින් ලකුණු 89ක් ලබා ගැනීමට සමත් වුනා. නමුත් බංග්ලාදේශ ඉනිමේ දෙවැනියට ඉහළම ලකුණු ලාභියා වූ Towhid Hridoy විසින් ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 20ක් පමණක් වීම ම බංග්ලාදේශ පිතිකරණ බිඳ වැටීමේ තරම මනාවට පිළිබිඹු කරනවා.

කෙසේ වෙතත් තරගයෙන් අනතුරුව ලැබූ පරාජය පිළිබඳ අදහස් දැක්වූ Shanto විසින් සඳහන් කර තිබුණේ තමන් මීට වඩා හොඳ කඩුල්ලක් බලාපොරොත්තු වූ බවයි.

“ඇත්තටම මෙහේ කඩුල්ල හැමවිටම හොඳයි. නමුත් අද (31) එය එහෙම වුනේ නැහැ. මේ දේවල් අපේ අතේ නෙවෙයි තියෙන්නේ. අපි අපේ තරගය හොඳින් ක්‍රීඩා කළ යුතුයි. නමුත් අපි මේ වගේ විශාල තරගාවලිවල දී ක්‍රීඩාශීලී කඩුලු (තණතීරු) බලාපොරොත්තු වුනා.”

තණතිල්ලේ ස්වභාවය කෙසේ වුවත් තම පිතිකරණ අංශයෙන් නිසි අයුරින් වගකීම් ඉටු නොවුණු බවත් Shanto විසින් මෙහි දී පිළිගෙන තිබුණා.

“මම හිතන්නේ අපි ලකුණු 250/260ක් විතර බලාපොරොත්තු වුනා. නව පන්දුවෙන් පිතිකරණයේ යෙදීම තරමක් පහසුයි, නමුත් පන්දුව පරණ වෙද්දී එය තරමක් අසීරු වුනා. එය එතරම් පහසු කඩුල්ලක් නෙවෙයි.

කඩුල්ල දැකීමෙන් පසුව අපි පළමුව පන්දුවට පහර දිය යුතුයි කියලා නායකයා සහ පුහුණුකරු විසින් ගත්තු තීරණයට අපි හැමෝම එකඟ වුනා.

අපි හොඳින් පන්දුවට පහර දුන්නේ නැහැ. මම කියන්නේ නැහැ කඩුල්ල පහසු එකක් කියලා. නමුත් අපි මීට වඩා හොඳින් පිතිකරණයේ යෙදිය යුතුව තිබුණු බව මට දැනෙනවා.”

එමෙන්ම ලකුණු 89ක් ලබා සිටිය දී මහීෂ් තීක්ෂණ හමුවේ සිය ඉනිම නිමා කිරීමට සිදුවීම පිළිබඳව සහ ශතකය මග හැරීම පිළිබඳ තමන්ට කිසිඳු කනගාටුවක් නොමැති බවත් ඔහු විශේෂයෙන්ම සඳහන් කළා.

“මට කිසිම පසුතැවීමක් නැහැ (ශතකය අහිමි වීම ගැන). මට තියෙන එකම පසුතැවීම තමයි පන්දුවාර 50 නිමා වන තෙක් පන්දුවට පහර දීමට හැකි වුනා නම් හොඳයි කියන එක.”

එමෙන්ම බංග්ලාදේශය විසින් ඊයේ ලද පරාජයත් සමඟින් ඔවුන්ට තරගාවලියේ ඉදිරි වටයට වෙත පිවිසීමට ඇති අවස්ථාව පිළිබඳ යම් අවදානමක් මතු වී තිබෙනවා. ඔවුන් ඉදිරි වටය වෙත පිවිසීමට නම් එළඹෙන ඉරිදා (03) ඇෆ්ගනිස්තානය සමඟ පැවැත්වීමට නියමිත තරගය අනිවාර්යයෙන් ම ජයග්‍රහණය කළ යුතුයි.

මීට පෙර ඇෆ්ගනිස්තානය සමඟ පැවැත්වුණු එක්දින ක්‍රිකට් තරගාවලිය බංග්ලාදේශය පරාජය වූ අතර එය ඉදිරි තරගය වෙනුවෙන් බාධාවක් කර නොගන්නා බව Shanto විසින් ඊයේ තරගයෙන් අනතුරුව අවධාරණය කළා.

එමෙන්ම ඔවුන් දැන් සිය උපරිම අවධානය ඇෆ්ගනිස්තානය වෙතට යොමු කරන බවත්, ඉන්දියාව සහ පාකිස්තානය පිළිබඳ මේ මොහොතේ අවධානයක් ලබා නොදෙන බවත් Shanto විසින් තවදුරටත් සඳහන් කර තිබුණා.

2023 ආසියානු කුසලානයේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Cricbuzz ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<