ශ්‍රී ලංකාව යලිත් ශූරතාවට පියවරක් පසුපසින් නවතියි

296
10th asia netball championship 2016

ආසියානු ශූරතා දැල් පන්දු තරගාවලියේ අවසන් මහා තරගයට එක්වූ  ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමට නොකඩවා 3 වන වරටත් අනුශූරතාවයෙන් සෑහීමකට පත් වන්නට සිදුවිය. සෑම අතින්ම ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා ඉදිරියෙන් සිටි මැලේසියානු ක්‍රීඩිකාවන් අවසන් තරගය ජය ගත්තේ ලකුණු 41 – 31ක් ලෙසිනුයි.

පසුගිය ලිපි: දැල්පන්දු ක්‍රීඩිකාවෝ අර්ධ අවසන් වටයට

තරගාවලියේ පළමු වටයේදීත් ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ පහසු ජයක් ලද මැලේසියානු කණ්ඩායම තරගයට පිවිසියේ ශූරතාව සඳහා වඩාත් බලාපොරොත්තු සහගත කණ්ඩායමක් ලෙසිනි. කෙසේ වෙතත් අවසන් පූර්ව තරගයේදී ආසියානු ශ්‍රේණිගත කිරීමේ ප්‍රමුඛයන් වන සිංගප්පූරුව පරාජය කිරීම, ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට ඉහල මානසික ශක්තියක් ලබා ගැනීමට හේතුවක් විය.

ඊයේ (06) පැවති එම තරගය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ජය ගත්තේ ලකුණු 36 -30ක් ලෙසිනි. අවසන් වරට පැවති ආසියානු දැල්පන්දු තරගාවලි දෙකේම (2012  සහ 2014) ශූරියන් වූ සිංගප්පුරුවට ප්‍රභල අභියෝගයක් එල්ල කල ශ්‍රී ලංකාව අවසන් පූර්ව තරගයේ පළමු අර්ධය අවසන් කළේ ලකුණු 21 – 14ක් ලෙස පෙරමුණ ගනිමිනුයි.

එම අවසන් පූර්ව තරගයේ දක්නට ලැබුණු සටන්කාමීත්වය ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ගිලිහී යද්දී, අවසන් තරගයේ මුල සිටම ආක්‍රමණශීලී මෙන්ම ආරක්ෂකාරී ක්‍රීඩා විලාශයෙන්ද වැඩි ගෞරවය දිනා ගත්තේ මැලේසියානු කණ්ඩායමයි. ඔවුන් තරගයේ පළමු කාර්තු දෙක අවසන් වන විට ලකුණු 17 -13 ක් ලෙස ලකුණු 4 ක වාසියක් හිමි කර ගන්නට සමත් විය.

අවසන් පූර්ව තරගයේදී හොංකොං කණ්ඩායම පරාජය කරන්නට මැලේසියාවට දැඩි වෙහෙසක් දරන්නට සිදුවූවත්, මේ තරගයේදී එවන් ප්‍රතිරෝධයක් එල්ල කරන්නට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට නොහැකි විය. තුන් වන කාර්තුව අවසන් වන විට සිය ලකුණු වාසිය 6දක්වා ඉහිල දමා ගන්නට ඔවුන් සමත් විය.

අවසන් මිනිත්තු 15 ත් නතු වූයේ මැලේසියානු ක්‍රීඩිකාවන්ගේ ග්‍රහණයටමයි. එම කාර්තුවේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් වාර්තා කල ලකුණු 8ට පිළිතුරු ලෙස මැලේසියානු ක්‍රීඩිකාවන් ලකුණු 12ක් ලබා ගන්නට සමත් විය. මේ අනුව අවසන් ලකුණු තත්ත්වය දැක්වූයේ ශ්‍රී ලංකාව මැලේසියාවට වඩා ලකුණු 10ක් පසුපසින් තබමිනි.

1985 වසරේ පැවති මංගල ආසියානු ශූරතා දැල් පන්දු තරගාවලිය ජය ගැනීමෙන් පසු, මැලේසියානු කණ්ඩායමක් ආසියානු දැල්පන්දු ශූරියන් ලෙස අභිෂේක ලැබූ පළමු අවස්ථාව මෙයයි.

1985 සිට 2009 වසර දක්වා පැවති ආසියානු ශූරතා දැල් පන්දු තරගාවලි 7න් 4කම ජයග්‍රාහිකාවන් වූ ශ්‍රී ලංකාවට, ඉන් අනතුරුව පැවති තරගාවලි දෙකේදීම අනු ශූරතාවයෙන් සැහීමකට පත් වන්නට සිදුවුණේ සිංගප්පූරුවට පමණක් දෙවැනි වෙමිනුයි. කෙසේ වෙතත් මැලේසියාව හමුවේ ලද මේ පරාජයත් සමග ශ්‍රී ලංකාවේ අනු ශූර තත්ත්වය 3වන වරටත් දීර්ඝ විය.

ජගත් දැල් පන්දු කණ්ඩායම් ශ්‍රේණි ගත කිරීම් ලයිස්තුවේ තමන්ට වඩා ස්ථාන 10ක් ඉදිරියෙන් සිටින සිංගප්පූරුව පරාජය කිරීම ශ්‍රී ලංකා කණ්ඩායම මේ තරගාවලිය තුල දැක්වූ එකම සැලකිය යුතු මට්ටමේ දක්ෂතාවයි.

ලෝකඩ පදක්කම සඳහා පැවති තරගයේදී හොංකොං කණ්ඩායම පහසුවෙන් පරදවන්නට සිංගප්පූරුවට හැකිවිය.

තරගාවලියේ කණ්ඩායම් ස්ථානගතවීම් මෙසේය.

  • ශූරතාව – මැලේසියාව
  • අනුශූරතාව – ශ්‍රී ලංකාව
  • 3 වන ස්ථානය – සිංගප්පූරුව
  • 4 වන ස්ථානය – හොංකොං
  • 5 වන ස්ථානය – තායිලන්තය
  • 6 වන ස්ථානය – බෲනායි
  • 7 වන ස්ථානය – චීන තායිපේ
  • 8 වන ස්ථානය – ජපානය

ඇෆ්ගනිස්තානය අවසන් මොහොතේ තරගාවලියට සහභාගී නොවීය.

තවත් පුවත් දහා පිවිසෙන්න – මුල්පිටුවට