“ඇවිදගන්න බැරි වෙනකම් මම IPL යනවා” – Maxwell

BBL 2023

713

තමන්ට ඇවිදීමට නොහැකි වන තෙක් ම IPL ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වන බව ඕස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රීඩක Glenn Maxwell පවසනවා. 

නිමාවූ එක්දින ක්‍රිකට් ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට සමත් වූ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ප්‍රධානතම තුරුම්පුවක් වූ Glenn Maxwell, පසුව පැවැත්වුණු ඉන්දු – ඕස්ට්‍රේලියා විස්සයි විස්ස තරගාවලියේ ද කැපී පෙනෙන ඉනිමක් දියත් කිරීමට සමත් වුනා.  

එම තරගාවලිය අතර මැද නැවත ඕස්ට්‍රේලියාව බලා පැමිණි Maxwell සතියක පමණ විවේකයකින් පසුව නැවතත් හෙට (07) දිනයේ දී ක්‍රිකට් පිටියට පිවිසීමට නියමිතයි. 

හෙට ඕස්ට්‍රේලියාවේ දී ආරම්භ වීමට නියමිත 13 වැනි Big Bash ක්‍රිකට් ලීගයේ පළමු තරගය වන Melbourne Stars සහ Brisbane Heat කණ්ඩායම් අතර තරගයේ දී Stars කණ්ඩායමට නායකත්වය ලබා දීමට Maxwell සූදානමින් සිටිනවා. 

මේ වන විට 35 හැවිරිදි වියේ පසුවන Maxwell මෙවර BBL තරගාවලිය මෙන්ම, 2024 IPL තරගාවලිය සිය ඉලක්ක අතර රඳවා ගෙන සිටින නමුත් ලබන වසරේ පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලානය ජයග්‍රහණය කිරීම දැනට ඔහුට ඇති ඉහළතම බලාපොරොත්තුව බව අනුමාන කළ හැකි. 

කෙසේ වෙතත් ඉන් පසුව ඔහුගේ වයස සමඟ සංසන්දනය කිරීමේ දී බොහෝ දුරට Maxwell ඕස්ට්‍රේලියාව සමඟින් යන ලෝක කුසලාන ගමන නිමා වනු ඇති. නමුත් ඔහු තම IPL ක්‍රීඩා දිවිය නම් හැකි උපරිම කාලයක් ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වන බවයි පවසන්නේ. 

” මම ක්‍රීඩා කරන අවසාන තරගාවලිය IPL වේවී. මට තවදුරටත් ඇවිද ගන්න බැරි වන තෙක් ම මම IPL ක්‍රීඩා කරාවී.” 

අද (06) උදෑසන ඕස්ට්‍රේලියාවේ Melbourne ගුවන් තොටුපලේ දී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් Maxwell මෙසේ පවසනවා. තමන් IPL තරගාවලියට අතිශය ඇලුම් කරන බවත්, එම තරගාවලිය තම ක්‍රීඩා දිවියට විශේෂ බලපෑමක් එල්ල කළ බවත් Maxwell මෙහි දී සඳහන් කළා. 

” IPL මගේ ක්‍රීඩා ජීවිතයට කොතරම් උදව් කළා ද. මට මුණගැසුණු මිනිසුන්, මම ක්‍රීඩා කළ පුහුණුකරුවන්, ගැටීමට සිදු වන ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයින්. මේ තරගාවලිය මගේ ක්‍රීඩා ජීවිතයට කෙතරම් ප්‍රයෝජනවත් වුනා ද. 

ඔබට මාස දෙකක් තිස්සේ AB De Villiers සහ Virat Kohli සමඟ උරෙන් උර ගැටෙමින්, ඔවුන් සමඟ කතාබහ කරමින් අනෙක් තරග නරඹන්න ලැබෙනවා. එය ඕනෑම ක්‍රීඩකයෙක් අත්විඳීමට බලාපොරොත්තු වෙන අන්දමේ විශිෂ්ට අත්දැකීමක්.” 

ලබන වසරේ විස්සයි විස්ස ලෝක කුසලානය පැවැත්වීමට නියමිත කොදෙව් තණතීරුවලට තරමක් සමාන තණතීරු ඇති ඉන්දියාවේ IPL තරගාවලිය ක්‍රීඩා කිරීමට තම අනෙක් ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින්ට ද අවස්ථාව ලැබෙනු ඇති බවත් Maxwell විශ්වාස කරනවා. 

” අපි මේ ලෝක කුසලානය (2023 එක්දින ලෝක කුසලානය) දිනපු ගමන් ම කතා කළේ මීළඟ ලෝක කුසලානයට අවධානය යොමු කිරීම ගැන. මම බලාපොරොත්තු වෙනවා BBL සමඟ එළඹෙන ගිම්හානය ගොඩක් උද්වේගකර එකක් වේවී කියලා.” 

2023/24 BBL තරගාවලිය, 2024 IPL තරගාවලිය වැනි ලීග් තරගාවලි සමඟ තවත් මුවහත් වෙමින් මීළඟ ලෝක කුසලානය ද තමන් සන්තකයට ගැනීම ඕස්ට්‍රේලියාවේ මීළඟ විශාලතම බලාපොරොත්තුව බව Maxwellගේ මෙම ප්‍රකාශයත් සමඟින් වටහා ගත හැකි 

ඔවුන්ට එවැනි දස්කමක් දැක්විය හැකි වුව හොත් විස්සයි විස්ස, එක්දින සහ ටෙස්ට් යන අංශ තුනේ ම එකවර ලෝක ශූරයින් වීමට සමත් වූ ලොව එකම කණ්ඩායම ලෙස ද ඕස්ට්‍රේලියාව වාර්තා පොත් අතරට එක් වනු ඇති. 

දිනෙන් දින උණුසුම් වන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

ESPN Cricinfo ඇසුරිනි. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<