Warnerට කී දෙයක් ගැන Johnson පසුතැවෙයි

Pakistan tour of Australia 2023/24

3395
Johnson reveals how the foundation built

ඕස්ට්‍රේලියානු හිටපු වේගපන්දු යවන ක්‍රීඩක Mitchell Johnson විසින් ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු David Warner ඉලක්ක කර ගනිමින් සිදු කළ ප්‍රකාශයක් නිසා මේ වන විට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් තරමක කැලඹීමකට පත් වී තිබෙනවා.

එළඹෙන ඕස්ට්‍රේලියා – පාකිස්තාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියෙන් පසුව ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට සමුදීමේ බලාපොරොත්තුවෙන් තමන් පසුවන බව ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු David Warner විසින් මීට කලකට පෙර ඉඟි කළා. නමුත් ගෙවුණු වසර දෙකක පමණ කාලයක් තුළ 26.74ක් වැනි දුර්වල ටෙස්ට් පිතිකරණ සාමාන්‍යයක් සහිතව ක්‍රීඩා කරන Warner හට පාකිස්තානය සමඟ තරගාවලිය ක්‍රීඩා කරමින් ගෞරවාන්විත ව ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට සමුදීමට අවස්ථාවක් හිමි වේද යන ගැටලුව බොහෝ දෙනෙකු අතර කතාබහට ලක් වුනා.

පසුගිය සති අන්තයේ දී The West Australian පුවත්පතට ලිපියක් සපයමින් හිටපු ඕස්ට්‍රේලියානු වේගපන්දු යවන ක්‍රීඩක Mitchell Johnson විසින් Warner වැන්නෙකුට සමුගැනීමේ තරගාවලියක් ලබා දෙන්නේ ඇයි ද යන්න ප්‍රශ්න කළා.

” දැන් වසර පහක් ගත වෙලා ගිහින්, නමුත් තවමත් David Warner පන්දුව පළුදු කිරීමේ අපකීර්තිය* භුක්ති විඳලා නැහැ.

අපි David Warnerගේ සමුගැනීමේ තරගාවලියක් සඳහා සූදානම් වෙන්නේ ඇයි කියලා කාටහරි මට පැහැදිලි කරන්න පුළුවන් ද?

අමාරුවෙන් ක්‍රීඩා කරන ටෙස්ට් ආරම්භක පිතිකරුවෙකුට තමන්ගේ විශ්‍රාම දිනයක් නම් කරන්න ඉඩ ලබා දෙන්නේ ඇයි?

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ඉතිහාසයේ විශාලතම අපකීර්තියේ* කේන්ද්‍රස්ථානයේ සිටින ක්‍රීඩකයකුට වීරයකුගේ සමුගැනීමක් ලබා දෙන්නේ ඇයි?”

(*.2018 වසරේ දී දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වුණු ටෙස්ට් තරගාවලියක් අතරතුර වැලි කඩදාසියක් භාවිතයෙන් පන්දුව පළුදු කිරීමේ සිදුවීම.)

Warner කෙතරම් හොඳ වාර්තා සහිත පිතිකරුවකු වුව ද මෑත කාලීන ව ඔහු කණ්ඩායමක පසු පෙළ පිතිකරුවකු සේ ක්‍රීඩා කළ බවත්, දකුණු අප්‍රිකාවේ දූ සිදු වූ පන්දුව පළුදු කිරීමේ සිදුවීමේ දී ද Warnerගෙන් විශාල බලපෑමක් එල්ල වූ බවත් පවසන Johnson එවැන්නෙකුට මෙවන් පිළිගැනීමක් ලබා දෙන්නේ ඇයි දැයි ප්‍රශ්න කළා.

එමෙන්ම Johnson විසින් මෙම ලිපියේ දී වත්මන් ඕස්ට්‍රේලියානු තේරීම් කමිටු සභාපති George Bailey පිළිබඳ ව ද විවේචනාත්මක අදහස් පළ කළා. Johnson අවධාරණය කළේ Bailey කණ්ඩායමේ ක්‍රීඩකයින්ට අනවශ්‍ය ලෙස සමීප වී ඇති බවයි.

මෙම පුවත්පත පසුගිය ඉරිදා (03) ප්‍රකාශයට පත් වූ අතර එදින ම පාකිස්තානය සමඟ පළමු ටෙස්ට් තරගය සඳහා ඕස්ට්‍රේලියානු සංචිතය ප්‍රකාශයට පත් කළා. ඒ සඳහා Warnerගේ නම ද ඇතුළත් වූ අතර එදින පැවැත්වුණු මාධ්‍ය සාකච්ඡාවක දී Baileyගෙන් Johnsonගේ මෙම ප්‍රකාශය පිළිබඳ මාධ්‍යවේදීන් විසින් විමසා සිටියා.

” මට එහි කුඩා කොටස් කිහිපයක් ලැබුණා, ඔහු හොඳින් ඇති කියලා මම බලාපොරොත්තු වෙනවා.”

Johnson පිළිබඳ එසේ පිළිතුරු දුන් Bailey පසුව Warnerගේ නම සංචිතයට ඇතුළත් කිරීමට හේතුව සඳහන් කරමින් පැවසුවේ ඔහු තවමත් (Warner) ඔවුන්ගේ හොඳම ක්‍රීඩකයින් එකොළොස් දෙනා අතර සිටින බවයි.

Johnson, Warner සහ Bailey යන තිදෙනා ම 2014 – 15 කාල සීමාවේ දී ඕස්ට්‍රේලියානු ජාතික කණ්ඩායම නියෝජනය කිරීම ද විශේෂත්වයක්.

මේ අතර Johnsonගේ මෙම ප්‍රකාශයෙන් අනතුරුව එයට විවිධ අන්දමේ ප්‍රතිචාර හිමි වුනා. නමුත් ඒ අතුරින් බහුතරයක් Warner වෙනුවෙන් ඉදිරිපත් වූ ඒවා බවයි පෙනෙන්නට තිබුණේ. ඕස්ට්‍රේලියානු ටෙස්ට් කණ්ඩායමේ Warnerගේ ආරම්භක පිතිකරණ සගයා වන Usman Khawaja විසින් මේ පිළිබඳ අදහස් දක්වමින් පවසා සිටියේ Warner තමන්ගේ වීරයකු බවයි.

” David Warner සහ Steven Smith කියන්නේ මගේ හිතේ ඉන්න වීරයින්. ඕස්ට්‍රේලියානු ක්‍රිකට්වල අඳුරු සමයේ දී ඔවුන්ට වසරක් පමණ ක්‍රිකට් අහිමි වුනා. නමුත් ඔවුන් ඒ වෙනුවෙන් ගෙවිය යුතු ණය ගෙවා දැමුවා.

කවුරුත් පරිපූර්ණ නැහැ. Mitchell Johnson, මම, Steve Smith, David Warner අපි කවුරුත් පරිපූර්ණ නැහැ.”

Khawaja පවසන්නේ Johnsonගේ මෙම විවේචනය තරමක් දරුණු වැඩි බවයි.

මේ අතර අද (05) උදෑසන Podcast වැඩසටහනකට සහභාගී වූ Mitchell Johnson විසින් නැවතත් තමන් විසින් Warner අරබයා එල්ල කල විවේචන පිළිබඳ සිය අදහස් ප්‍රකාශ කළා. මෙහි දී ඔහු විසින් හෙළිදරව් කළේ පසුගිය අප්‍රේල් මාසයේ දී තමන් ලියූ ලිපියකින් පසුව Warner විසින් එයට ප්‍රතිචාර දක්වමින් එවූ කෙටි පණිවුඩයක් මෙම නව ලිපියට පදනම නිර්මාණය කළ බවයි.

” මට Daveගෙන් කෙටි පණිවිඩයක් ලැබුණා, ඒක සම්පූර්ණයෙන්ම පෞද්ගලික එකක්. මම නිතරම විවෘතව හිටියා, මම ඔහුව දුරකතනයෙන් සම්බන්ධ කර ගෙන මේ ගැන කතා කරන්න උත්සාහ කළා.”

Warnerගෙන් ලද එම පණිවුඩයේ සඳහන් සමහර දෑ තමන් ව අතිශය කලකිරීමට පත් කරවන අන්දමේ ඒවා බවත්, Warnerගේ සමුගැනීම සම්බන්ධ ලිපියට එම කෙටි පණිවුඩය ද හේතුවක් වූ බවත් Johnson විසින් මෙහි දී අණාවරණය කර තිබුණා.

මේ පිළිබඳ David Warner තවමත් කිසිඳු සඳහනක් සිදු කර නොමැති නමුත් ඔහුගේ කළමනාකරු විසින් පවසා තිබුණේ හිටපු ක්‍රීඩකයින් විසින් වර්තමාන ක්‍රීඩකයින් මෙසේ විවේචනය කිරීම ඉතා කණගාටුදායක බවයි.

එමෙන්ම George Bailey ද තමන්ගේ පෙර ලිපියකට Warner ලෙසින් ම කෙටි පණිවිඩයක් එවූ බව පවසන Johnson මෙවර ලිපියෙන් පසු Baileyගේ ප්‍රතිචාරය පිළිබඳ ව ද අතිශය කලකිරීමට පත් වී තිබෙනවා.

” මට මානසික ගැටලු ඇති නිසා මම හොඳින් දැයි අසමින් මගේ ලිපිය අවතක්සේරු කරමින් එය මානසික සෞඛ්‍ය මත තැබීම නම් පිළිකුල් සහගතයි.”

තමන්ට එවැනි කිසිදු ගැටලුවක් නොමැති බවත් ඉතා හොඳ නිදහස් මනසකින් යුතුව තමන් මේ සියල්ල ලියූ බවත් Johnson මෙහි දී අවධාරණය කළා.

” මට තරහක් නෑ, ඊර්ෂ්‍යාවක් නෑ, ලියන්න ඕන කියලා හිතුණු දෙයක් විතරයි මම ලියන්නේ.

මම කියන්නේ නැහැ ඒ කෙටි පණිවුඩ නිසා මට රිදුණා කියලා. ඒක අනපේක්ෂිත දෙයක් නිසා මගේ බලාපොරොත්තු සුන් වුනා.”

තමන් ඕනෑම අයකු සමඟ මුහුණට මුහුණ හෝ දුරකතනයෙන් සංවාද කිරීමට කැමති නමුත් මෙවැනි කෙටි පණිවුඩවලට තමන් අකමැති බවයි ඔහු පවසන්නේ.

එමෙන්ම එම ලිපියේ අඩංගු සියලු කරුණු ගෙවුණු සතියක පමණ කාලයේ තමන් තුළ ඇති වූ අදහස් බවත් කිසිම විටෙක තමන් අවධානය බලාපොරොත්තුවෙන් මෙය නොලියූ බවත් Johnson පවසනවා. නමුත් එහි අඩංගු වූ එක් වැකියක් පිළිබඳ පමණක් තමන් පසුතැවෙන බවත් Johnson මෙහි දී සඳහන් කරනවා.

Warnerගේ සමුගැනීම වෙනුවෙන් ප්‍රේක්ෂකයින්ට යමක් රැගෙන යාමට අවස්ථාව ලැබේ නම් ඒ නිසා Bunningsහි (ඕස්ට්‍රේලියානු වෙළඳසැල් සංකීර්ණයක්) වැලි කඩදාසි විකිණී අවසන් වනු ඇති බව Johnson සිය ලිපියේ සඳහන් කර තිබුණා. නමුත් එය තමන් නොකිය යුතු දෙයක් බවයි Johnson පවසන්නේ.

“ඒක අමිහිරි දෙයක්, මම හිතන විදිහට ඒක කිව යුතු නැහැ. ඒ හැරෙන්න මම එය නැවත කියවා බලා ඇති අතර, මම එය තහවුරු කරනවා.”

දිනෙන් දින උණුසුම් වන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ නැවුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

ESPN Cricinfo ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<