19න් පහළ ආසියානු කුසලානයට යන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කරයි

U19 Men’s Asia Cup 2026

1
U19 Men’s Asia Cup 2026

නොවැම්බර් මස 5 වැනිදා සිට 14 වැනිදා දක්වා ඕමානයේ පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට් තේරිම් කමිටුව විසින් නම් කළා.

15 දෙනෙක්ගෙන් යුත් මෙම සංචිතයේ නායකත්වයට මාතර සාන්ත සර්වේශස් විද්‍යාලයේ තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන විරාන් චමුදිත නම් කර තිබෙනවා. මේ වසර ආරම්භයේ දී පැවැති වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලානය ද නියෝජනය කර ඇති විරාන් චමුදිත එම තරගාවලියේ දී තරග 5කට සහභාගී වෙමින් ශතක 2ක් සමඟින් ලකුණු 310ක් ලබා ගනිමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගත් පිතිකරු බවට ද පත් වුණා.

ඔහු එම තරගාවලියේ දී ජපාන වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට එරෙහි ව පන්දු 143කට මුහුණ දෙමින් හතරේ පහර 26ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 192ක් ලබා ගත් එය තරගාවලියේ පිතිකරුවෙක් විසින් වාර්තා කරන ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාව බවට ද පත් වුණා.

කණ්ඩායමේ උප නායකත්වයට පත් කර තිබෙන්නේ කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලයේ වමත් ඉදිරි පෙළ පිතිකරු සෙනුජ වැකුණගොඩ. ඔහු ද නිමා වූ වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලිය නියෝජනය කළ අතර එහි දී ඔහු තරග 2ක දී ලකුණු 91ක් ලබා ගනිමින් දක්ෂතා දැක් වූවා.

ඔවුන් දෙදෙනාට  අමතර ව සෙත්මික සෙනෙවිරත්න සහ විග්නේශ්වරන් ආකාශ් ද නිමා වූ වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරමින් මෙම තරගාවලියට ද එක් ව සිටිනවා.

ආසියානු කුසලාන වයස අවුරුදු 19න් පහළ තරගාවලිය සඳහා කාණ්ඩ 2ක් යටතේ කණ්ඩායම් 8ක් සහභාගී වන අතර ශ්‍රී ලංකාව B කාණ්ඩයෙන් තරගාවලියට එක් වීමට නියමිතයි. ශ්‍රී ලංකාවට අමතර ව එම කාණ්ඩයෙන් ඇෆ්ගනිස්තානය, බංග්ලාදේශය සහ මැලේසියාව ද එක් වෙනවා.

තරගාවලිය ආරම්භ වෙන්නේ නොවැම්බර් මස 5 වැනිදා ශ්‍රී ලංකාව සහ මැලේසියාව කණ්ඩායම් අතර තරගයෙනුයි.

ඔවුන් ඊට පසුව නොවැම්බර් මස 7 වැනිදා බංග්ලාදේශය සමඟින් ද සහ නොවැම්බර් 9 වැනිදා ඇෆ්ගනිස්තානය සමඟ ද තරග වැදීමට නියමිතයි.

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම

  • විරාන් චමුදිත (නායක – සානත් සර්වේශස් විද්‍යාලය, මාතර)
  • සෙනුජ වැකුණගොඩ (උප නායක – ශාන්ත ජෝසප් විද්‍යාලය, කොළඹ)
  • රෙහාන් පීරිස් (රාජකීය විද්‍යාලය, කොළඹ)
  • කිත්ම විදානපතිරණ (ආනන්ද විද්‍යාලය, කොළඹ)
  • ගිම්හාන් රසාංජන  (දේවපතිරාජ විද්‍යාලය, රත්ගම)
  • සනුල් වීරරත්න (මහානාම විද්‍යාලය, කොළඹ)
  • චනිරු සේනාරත්න (ත්‍රිත්ව විද්‍යාලය, මහනුවර)
  • ලිත්ම පෙරේරා (වෙස්ලි විද්‍යාලය, කොළඹ)
  • විග්නේෂ්වරන් ආකාෂ් (ශාන්ත ජෝසප් විද්‍යාලය, කොළඹ)
  • සෙත්මික සෙනෙවිරත්න (ත්‍රිත්ව විද්‍යාලය, මහනුවර)
  • ගිම්හාන් මෙන්ඩිස් (ශාන්ත තෝමස් විද්‍යාලය, ගල්කිස්ස)
  • ලතේන්ද්‍ර ආකාශ්   (ශ්‍රී සුමංගල විද්‍යාලය, හික්කඩුව)
  • හිමරු දේශාන් (රාජකීය විද්‍යාලය, කොළඹ)
  • ස්ටෙවෝන් පීරිස්   (ශාන්ත තෝමස් විද්‍යාලය, ගල්කිස්ස)
  • කෞෂික කුමාරසිංහ (ශාන්ත අන්තෝනි විද්‍යාලය, කටුගස්තොට)

වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<